කරන තරමක් පව් කියලා දන්න උන් අරගලයෙන් පස්සෙ හිටියෙ ටිකක් හෝන්දු මාන්දු වෙලා.ඒ පව් මකාගෙන ඊ ළඟ ආත්මෙ ඉපදෙන කොටම හොඳට ඉපදිලා සතුටෙන් ඉන්න පුළුවන් තැන් වෙනුවෙන් කරන්න තියෙන පිංකම් හොයාගන්න බැරුව.එහෙම පූජ්‍ය පක්ෂයත් අඩු වුණා පූජ්‍ය පක්ෂය පස්සෙ යන එකත් අඬුවුණා. වෙන ආත්මෙක නෙමෙයි මේ ආත්මෙම ආතල් එකේ ඉන්න පුළුවන් එක කාලා දාලා තියෙන්නෙ රට කරවන දේශපාලුවො කියලා එකක් ඔළුවල රෙජිස්ටර් වුණාට පස්සෙ තමයි මේ අවුල ආවෙ.

හැබැයි මිනිස්සු ස්වෙච්ඡාවෙන් මේක තේරුම් අරං පාරට බැස්සම ඒකට අයිතිය කියන්න ආපු එක එක කාලෙට අපේ ආතල් එක කාපු උන්ගෙ අමුඩවල එල්ලිලා අපිව දිව්‍ය ලෝකෙ අරං යන්න ආපු එව්වො අත්වල කුණු හෝදගෙන අරගලේ නැට්ටෙ එල්ලුණා.දැන් ඉන්නෙ ඒ නැට්ටෙන් දිව්‍ය ලෝකෙ යන්න පිටත්වෙලා.ඒ යන පාර ඉන්දියාව හම්බ වුණාම ඉන්දියාව ගැන කියලා තියෙන දේවල්වල හැටියට මාරයි කියලා කියන්න බැරි හින්ද ඒ ගැන වෙනම කතා හදන්නත් වෙලා.කොටින්ම දැන් තියෙන්නෙ වෙනම ආතල් එකක්.අරගලේට පාරට වැටිලා ඇත්තටම වැටිලා හිටිය පාරෙන් ගොඩ යන්න හිතපු මිනිස්සු දැන් ආයෙමත් පාරට වැටිලා දිව්‍ය ලෝකෙ යන්න හදන අයගෙ නැට්ට අල්ලගෙන.ආපහු දෙව්ලෝ සිහින එක්ක.
දැන් ඇහෙන්නෙ ඒ නැට්ට අනිත් එවා වගෙයි නෙමෙයි කියන්න කියන කතන්දර.තිරුපති ගියානම් බැරි වෙලාවත් මොනවද කියන්නෙ කියලා යයිදෝ නොයයිදෝ කියන සැකෙන් හිටපු අය ගියානම් කියන්න හදාගෙන ඉන්න ඇතියි කියලා හිතෙන කතා මොනව වෙන්න පුළුවන් ද?
ඔංචිල්ලාවෙ බර කිරනවා හරිද?ඒකෙ කිලෝ එකක විතර වාසියක් දේවාලෙට තියෙන්න හදලා තියෙන නිසා ඇඟෙ බරට රත්තරන් දුන්න අය මේ රටේ රත්තරන් වැඩිපුර කිලෝ එක ගාණෙ දීලා තියෙනවා.අපි ආපු දවසක ඒ කිලෝ එක ආපහු ඉල්ල ගන්න කතා කරලයි ආවෙ.
කෙනෙක් තමන් අදහන විශ්වාස කරන දෙයක් වෙනුවෙන් පෙනී හිටියට රත්තරන් ටිකක් දුන්නට කමක් නැහැ.ඒත් ඒක හරියට තරාදිය වැඩ කරනවද කියලා බලලා දෙන්න ඕනි.
දෙයියො නරක නැහැ.ගිය අය රට ගැන කතා කරලම තිබුණෙ නැහැ.අපි කතා කළේ රට ගැන.ඉන්දියාවට හොරු එක්ක එකතු වෙලා හොරකම් කරන විදිහට වැඩ කරන්න දෙන්න එපා කියලා අපි දෙවියන්ට කිව්වා.ඉන්දියාවෙ පාලකයො ඇත්තටම දෙවියො විශ්වාස කරන අය.දෙවියන්ගෙ කැමත්තට ඊට පස්සෙ ඒ අය එකඟ වුණා ටෙණ්ඩර් දාලා වැඩිම මිල ලංකාවට දෙන්න පොරොන්දු වෙන්න තිස්තුන් කෝටියම දෙවිවරු ඉන්දියාවෙ පාලකයන්ට අණ කළා.
ඊට පස්සෙ මේ කතා ටිකත් එක්ක දෙවියොත් නමට වදී වගෙ යූටියුබ් සීරියස් එකක් කරන්න කතා වෙච්චි කට්ටියකුත් හිටියා.
මේ වෙන කොටත් දාහක් හේතු කාරණාවලින් ඉන්දියාව එපා කිව්ව එක නෙමෙයි කළේ ඉන්දියාව එක්ක වැඩ කරපු හැටි එපා කිව්ව එක කියන්න සාධාරණ හේතු ගණනාවක් කියලා ඉවරයි.දැන් ඉතිං අපෙ අම්මලා තාත්තලා මුතුන් මිත්තො ආරක්ෂා කරපු බෞද්ධ සංස්කෘතිය වගේම බුදුහාමුදුරුවෝ ඉපදුණ බිමේ මේ රටේ වැඩිහිටියෝ අඩු මිලට වන්දනාවෙ අරින්න පාලම හදන වැඩේ කරන හැටි ගැන කරපු කතා කියන්න මහානායක හාමුදුරුවරු හම්බ වෙන්න විතරයි තියෙන්නෙ.ඒකට නැකතක් එනකම් පරක්කු කරන්න පරක්කු කරන්න ඉන්දියාවට ඉවසගෙන ඉන්න බැහැ.ඒ අය එක එක එවා එළියට දාන්න, රනිල්ව හම්බවෙන්න පටන්ගත්තම සුරංගනා කතා ටිකක් බෝරින් වීගෙන ආවම,වෙන ජාතියෙ සුරංගනා කතාවක් කියන්න ඕනි වුණා.
ඒක කියන්න මෙච්චරකල් කතා කියපු රහ මදි වගේ දැණුන නිසා රඟපාලා ඒක කියන්න පුළුවන් කෙනෙක් හොයාගත්තා.එයා ඇත්තටම ඒක හරියටම කළා. වෙන සුරංගනා ලෝකයක් හදලා වේදිකාවෙන් බැස්සා.එතන ඉදලා තිබුණ සුරංගනා කතාවල වගෙ නිදි කුමාරිව ඇහැරවන්න කුමාරයෙක් එන්නෙ නැහැ.ගෙදර වැඩ ටික අතලසු කරලා තනියෙන්ම ඇවිත් හරි වැඩ කරන්න හිතෙන මට්ටමේ හීනයක් අස්සෙ කාන්තා ඔළු ටික තැන්පත් කළා.
හැබැයි දැන් වැඩේ නතරවෙලා තියෙන්නෙ මේ කොතනවත් නෙමෙයි.පාරට බැස්ස මිනිස්සු ආයෙ ගෙවල් ඇතුළට ඇවිත් ඉන්නෙ.ගෙවල් අස්සෙ තිබුණ බය සැක, ඊළග ආත්මෙ මීට වඩා හොඳට ඉන්න වගෙ කතා තමයි දැන් ආයෙ ඔළුවෙ වැඩ කරන්නෙ.මේ ආත්මෙ නරක් වෙලා තියෙන්නෙ පවක් හින්ද කියලා සඟරතන කණ්ඩායම් ඔළුවට දාපු එක නිසා නිවන් යන්න හරි,අර ලැබෙනවා කියන ඊළඟ ආත්මෙ සැපවත් වෙන්න හරි ඒවා දේශනා කරන උන්නාසෙලාට පූජා කරලා මරණෙන් පස්සෙ ඊ ළඟ ආත්මෙ ආතල් එකේ ඉන්න මහන්සි වෙන එක තමයි දැන් ආයෙමත් ඉලක්කය වෙලා තියෙන්නෙ.
මේ නිසා පිළිකා රෝගයට ගොදුරු වෙන කෙනෙක් හරි කරන්න ඕනි බෙහෙත් බොනවට වැඩිය අතේ තියෙන තුට්ටු දෙකෙන් මරණෙන් පස්සෙ එහෙම දුකක් ඇති නොවන තැනක උපදින්න පිං කරගන්න කියන තැනට ආවම එන්ජියෝග්‍රෑම් යන්ත්‍රවලට දෙන්න හිත නැමෙන්නෙ නැහැ.ඒ නිසා මේ දවස්වල ඒවගෙ දේකට සල්ලි හොයාගන්න බැරි වුණාට සඳගිරිසෑයෙන් ඊළඟට උපදින තැන සැපට ඉන්න පාරක් හොයාගන්න පුදුම උනන්දුවක් ඇති වෙලා.
ඡන්දෙ ඉල්ලන කට්ටියත් ඒ පරිසර විනාසෙට පිං පතාගෙන අතගහන හැටියට තව ඉතුරුවෙලා තියෙන්නෙ සල්ලිවලින් නෙමෙයි අපෙ හාමුදුරුවනේ අපේ ශ්‍රම බලකාය දෙන්නම් කියලා අනුර කුමාරත් කියන එක විතරයි.හැදෙන්නෙ දාගැබක්, සම්බන්ධ ආගමක් නිසා ඒවට විරුද්ධ වෙන්න බැහැ.පරිසර විනාසෙට ගහක් කැපුවම පාරට බැස්සට කැලේම කන්දම කපලා දාගැබක් හදනවට විරුද්ධ වෙලා ඡන්ද ටික කඩාගන්න බැහැ.මොකද මේ පෝලිමේ යන අයම තමයි ඡන්ද පෝලිමට එන්නෙ.ඒ නිසා ඡන්දෙ දෙන බොහෝ අය එන්ජියෝග්‍රෑම් යන්තරයට නෙමෙයි සල්ලි දීලා තියෙන්න සඳගිරි සෑයට.
ඇත්ත කතාව තමයි කාටවත් කියන්න බැහැ සඳගිරි සෑයට සල්ලි දෙන එක හරියි කියලා හිතන මිනිස්සු මට එපා කියලා.ඒ අපේ ඡන්ද දායකයා එහෙම කෙනෙක් නිසා.ඒ ක්‍රමයෙන් ඡන්දය ගන්නවා මිසක් ඡන්දෙ දෙන්න ඉන්න මිනිහා වෙනස් කරන්න ගිහිං ඡන්දෙ නැති කරගන්න බැහැ.
ඒ නිසා අර නිවන් යන්න හරි ඊළඟ උපදින ආත්මෙ සැපට ඉන්න ඕනි කියලා හිතන අය තමයි ඡන්ද පෝලිමේ ඉන්නෙ කියලා දැනගෙන තමයි කවුරුත් දේශපාලනය කරන්නෙ.ඔය පෝලිමේ ගඩොල් උස්සන් යන ආධාර දෙන අය අතර අපේ දේශපාලන සංවිධානයෙ,ව්‍යාපාරයෙ කවුරුත් නැහැ කියන්න පුළුවන් දේශපාලන නායකයෙක් ඉන්නවද මේ රටේ…
“නැහැ”
හැබැයි කාට හරි කියන්න පුළුවන් හිටියට අපේ අය හරි වෙනස් කියලා.
ද ක්ලීනර්
