මොනරාගල රෝහලේ මුල්ගල් තැබීමකට මාලිමා නියෝජ්‍ය ඇමති බලෙන් පනී !

Date:

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මොනරාගල දිස්ත්‍රික් රෝහලේ නව තෙමහල් හෘද රෝග ඒකකයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (16) පෙරවරුවේ සිදුකෙරිණි.

මෙම මුල්ගත් තැබීමේ උත්සවය මොනරාගල දිස්ත්‍රික් රෝහල විසින් සංවිධානය කර තිබුණු අතර ඔවුන් තීරණය කර තිබුණේ ඊට කිසිදු දේශපාලනඥයකුට ආරාධනා නොකිරීමට ය. ඒ අනුව කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා, මෙම ඉදිකිරීම් කටයුත්තට ශ්‍රම දායකත්වය සපයන යුධ හමුදාව වෙනුවෙන් බ්‍රිගේඩියර්වරයකු ඇතුළු පිරිසක් සහ රෝහලේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

කිසිදු දේශපාලනඥයකුට ආරාධනා නොකිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබුණත් ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් නායකයා වන වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා අනාරාධිතවම බලෙන්ම එම ස්ථානයට පැමිණ මුල්ගල් තැබීමේ අවස්ථාවට මැදිහත් වන ආකාරය ඒ අවස්ථාවේදී දක්නට ලැබිණි.

රෝහල් පාලනාධිකාරිය විසින් උත්සවය සැලසුම් කළ ආකාරය අනුව සුබ නැකතින් තැන්පත් කිරීම සඳහා එහි සූදානම් කර තිබුණේ මුල්ගල් තුනක් පමණි. ඒ, මූල්‍ය දායකත්වය සපයන කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාත්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, ශ්‍රම දායකත්වය සපයන යුධ හමුදාව වෙනුවෙන් එහි පැමිණි බ්‍රිගේඩියර්වරයාත් අතින් මුල්ගල් තැබීම සඳහා ය. එහෙත් නියෝජ්‍ය ඇමතිවරයා බලෙන්ම එතැනට කඩාවැදීම හේතුවෙන් ඔහුට තැන්පත් කිරීමට මුල්ගලක් නොමැති වීම නිසා අවසානයේ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තමන් අතට ලැබුණු මුල්ගල නියෝජ්‍ය ඇමතිවරයාට දී පසෙකට වනු ද දැකගත හැකිවිය.

මුල්ගල් තැබීමේ අවස්ථාවේ කතාවක් පැවැත්වීමට නියමිතව තිබුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පමණක් වුවත් නියෝජ්‍ය ඇමති ආර්. එම්. ජයවර්ධන බලෙන්ම එහිදී කතාවක් ද පැවැත්වුයේය. එම කතාවෙන් පවා ඔහු මෙම සද්කාර්යය අවතක්සේරු කරන ආකාරය දැකගැනීමට ද ලැබිණි. නියෝජ්‍ය ඇමතිවරයා සිය කතාවෙන් පැවසුවේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් ඒ අනුව එම අනුමැතිය ලබාගෙන ඉදිකිරීම් කටයුතු කරන ලෙසත් ය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවරුන් විසින් සැලසුම් කරන ලද මෙම ගොඩනැගිල්ලට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නොමැති නම් රෝහල් පාලනාධිකාරිය දැනුවත් කර අදාළ පියවර ගනු විනා මෙවැනි උත්සව අවස්ථාවක එය ඉස්මතු කිරීම අනවශ්‍ය දෙයක් බව ඇමති මණ්ඩලයේ සාමාජිකයකු නොවන ඕනෑම සාමාන්‍ය මිනිසෙකුට වුවත් තේරෙන දෙයකි.

පසුගිය කාලයේදී නම් රෝහල් ගොඩනැගිල්ලකට තබා පොදු වැසිකිලියකට මුල්ගල් තැබීමට ගියත් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයකු වඩම්මා ගැනීම අනිවාර්යය වී තිබුණු බව ඇත්ත ය. ඒ යුගය වෙනස් කරමින් පුනරුදය උදාකිරීමට පැමිණි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් හිටපු දේශපාලනඥයින්ගේ අසනීපම වැළඳෙමින් පවතින බවක් මෙවැනි සිදුවීම්වලින් පෙන්නුම් කෙරේ. ජාතික ජන බලවේගය බලයට පැමිණියේ මීට පෙර දේශපාලනඥයින් කටයුතු කළ ආකාරයට වඩා වෙනස්ම ආකාරයකින් කටයුතු කරන බවට පොරොන්දු රාශියක් ලබාදෙමිනි. ඒ පොරොන්දු ආණ්ඩු බලය හමුවේ ඔවුන්ටම අමතක වෙමින් යන සෙයකි.

තමන්ගේ වැයික්කියේ කොයි දේටත් බලෙන් පැන, අනුන් කරන වැඩ සඳහා තමන්ගේ නමට බලෙන් ලකුණු දමාගත් ගත් ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සිටි සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදෙන බව කියමින් බලය ලබාගත් පක්ෂයක නියෝජ්‍ය ඇමතිවරයකු මෙම සිද්ධියේදී හැසිරුණු අවලස්සන ආකාරය එම අවස්ථාවට සහභාගී වී සිටි අයගේ ද විවේචනයට ලක්වෙනු ද එතැනදීම දැකගත හැකිවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...