Home විශේෂාංග පැලවත්තට චෝදනා!

පැලවත්තට චෝදනා!

0
4

උපාලි කොළඹගේ

කොළඹ LNW:පැලවත්ත යන නම ශ්‍රී ලංකාවේ අගනුවර යැයි හිතෙන තරමට දැන් ප්‍රසිද්ධිය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන නිසාය. ජනතා විමුක්ති පෙරමුණ යනු වර්තමාන ආණ්ඩු බලය උසුලන මාලිමා පක්ෂය මෙලොවට බිහිකළ ගර්භාෂයයි. දැන් ඇඟට මස්දමා උස්මහත්වී සිටියද මාලිමා ආණ්ඩු වේ හැබෑ උරුමක්කරු ජවිපෙයයි.

කෙසේ වුවත් පැලවත්ත (ජවිපෙ ) හා ආණ්ඩුව අතර පවත්නා ලේ ඥාතිත්වය වර්තමානයේ දැඩි ලෙස විවේචනයට පාත්‍රවී තිබේ. බොහෝ විචාරකයන්ගේ මතය වී ඇත්තේ ආණ්ඩුවේ සියලු තීරණ පැලවත්තේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවයි. මෙය සත්‍යයක් ද? අර්ධ සත්‍යයක්ද? නැත්නම් අටවාගත් ප්‍රලාපයක්ද යන්න විවාදාපන්නය. එමෙන්ම ඊට ඔව් හෝ නෑ යනුවෙන් කෙටි පිළිතුරක් දීමද අසීරුය.

මෙහිදී වඩාත්ම විවේචනයට බඳුන් වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේඛම් ටිල්වින් සිල්වා ය. ඔහු මහතා, සහෝදරයා හෝ ජවිපෙ ලොකු අයියා ලෙසද හැඳින්විය හැක. ටිල්වින් හා ජවිපෙ ගසට පොත්ත මෙනි. දන්නා කාලයක පටන් ඔහු ජවිපෙ ප්‍රධාන ලේකම් ය. මන්ත්‍රීකම් ඇමතිකම් ටිල්වින්ට අදාළ නැත.

මේ පැලවත්ත හා මාලිමා ආණ්ඩු සුසංයෝගය පිළිබඳව විවිධ මානයන්ගෙන් බැලිය හැක. ඇතමකුට අනුව මේ සම්බන්ධය ජනවරමට එරෙහි වූවකි.

මා නම් මේ දෙස බලනුයේ තරමක් සුබවාදීව ය. තරමක් යැයි කියනුයේ ආණ්ඩුව ගැනවත් පූර්ණ විශ්වාසයක් නැති නිසාය. බොහෝ දෙනකුට මෙම තත්ත්වය නොදිරවනුයේ පක්ෂය හා ආණ්ඩුව අතර මෙවැනි ඇඟෑලුම්කමක් පවත්වා ගෙන යෑම අපට කිසියම් ආකාරයකින් ආගන්තුක නිසාය. සමාන්‍යයෙන් සිදුවනුයේ පක්ෂ යාන්ත්‍රණය විසින් සිය පූර්ණ ශක්තිය යොදා ජනාධිපති,අගමැති හෝ මන්ත්‍රීන් පත් කළ පසු පක්ෂය නොතකා හැරීමය. පක්ෂයේ සංවත්සරය වැනි අවස්ථාවකට පමණක් ජනාධිපති හෝ අගමැති ගෙන්වා මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය.

එමෙන්ම පැලවත්ත හා ආණ්ඩුව අතර සම්බන්ධතාව කුමන ආකාරයෙන් සිදුවන්නේ ද යන්න පිළිබඳව නිශ්චිතවම කාටවත් කිව නොහැක. පැලවත්ත රාජ්‍ය පාලනයට අනිසි ලෙස සම්බන්ධ වන්නේ නම් පමණක් එය ආචාරධර්ම බිඳීමක් ලෙස හැඳින්විය හැක. දැනට නම් වල්ගය විසින් සුනඛයා නටවන තත්ත්වයක් බාහිරව දක්නට නොමැත. එමෙන්ම මෙහිදී තවත් අවධානයට ගතයුතු විශේෂිත කරුණ නම් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ද පක්ෂයට ප්‍රමුඛ ස්ථානය ලැබෙන බවය.

ජවිපෙ හා ආණ්ඩුව අතර මෙවැනි ඇඟෑලුම් සබඳතාවක් පවත්වා ගෙන යනුයේ සමාජවාදී රටවල පවත්නා ක්‍රම අනුකරණය කිරීමේ අදහසින්ද විය හැකි. අපේ රටේ වාමාංශික ආණ්ඩුවක් නැති වුණත් මෙම ක්‍රමය හරයාත්මකව නිවැරදි යැයි සිතමි. එමෙන්ම ඕනෑම පක්ෂයක් ජනතාවගෙන් බලය ඉල්ලා සිටිනුයේ පක්ෂ ප්‍රතිපත්ති ඉදිරියට දමා මිස පුද්ගල සාධක මත නොවේ. ජනාධිපතිවරණයේදී මෙහි කිසියම් වෙනසක් දක්නට ලැබෙතත් ඊට කර උර දෙනුයේ පක්ෂ යාන්ත්‍රණය ය.

මෙහිදී සලකා බැලිය යුතු අනෙක් වැදගත්ම කරුණ නම් පැවැති අනෙක් ආණ්ඩු ක්‍රියාත්මක වූ ආකාරය හා සසඳා බැලීමයි. වඩාත්ම විවේචනයට බඳුන් වන මහින්ද රාජපක්ෂ පාලන සමයේ පැවතියේ පූර්ණ පවුල් පාලනයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඊට අමතරව ඔහු වටා ව්‍යාපාරික වළල්ලක්ද විය. එය කළු පහැති බවටද චෝදනා නැඟින. ගෝඨාගේ කාලයද ඒ හා සමාන විය. ජේ ආර් හා රනිල්ගේ කාලවලදී රාජකීය රැස්වළලු ක්‍රියාත්මක විය.
මොවුන් පක්ෂය තඹ දොයිතුවකට මායිම් කළේ නැත. මෙවුන්ගේ කාලවල පක්ෂවල ප්‍රධාන කාර්යාල පවා පින් බෙහෙත් ශාලා මෙන් පාළුවට දිස්විණ.

මේ ක්‍රම දෙක සංසන්දනය කිරීමෙන් වුවද වර්තමානයේ ක්‍රියාත්මක වන පක්ෂ යාන්ත්‍රණය හා සහසම්බන්ධ වීම වඩා හොඳය යන්න අපේ අදහසයි.