සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 17 කොළඹ (LNW): ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී, වැඩිම ඡන්ද ගන්න අයෙකුට සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% ට අඩු වුවහොත් සිදුවන්නේ කුමක්දැයි මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එහිදී ඒ මහතා ඒ පිළිබඳ පහත අයුරින් අදහස් දක්වා ඇත.
ප්‍රශ්නය:-
ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද?
පිළිතුර:-
එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ.
අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ එයට වැඩි පිරිසක් තරඟ කළහොත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක් එනම් 50% වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වේ.
මේ පිළිබඳව උදාහණ සහිතව මහින්ද දේශප්‍රිය මතු සඳහන් පරිදි පැහැදිලි කරන ඇත,
” ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය.
කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.
A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.
A= 40, B = 35, C= 15, D= 6, E= 4
මේ අනුව තරඟය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ.
සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.
පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.
අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ.
C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ.
එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි.
එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියටද දමනු ලැබේ.( මෙවැනි ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය හෙවත් 3 ඉලක්කම ගැන සලකා බැලීම අවශ්‍ය නොවේ.)
C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද පසෙකින් තබනු ලැබේ.
2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ.
ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.
එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක් ද B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද ( A= 40+3 = 43) ද B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත.
දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි.
A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.
මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.
• මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.
• Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.
• A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත.
මහින්ද දේශප්‍රිය මහතා එසේ පැහැදිළි කර ඇත.