ජාතිකත්වයට අලුත් ආමන්ත්‍රණයක් සමඟ සැබෑ අවසන් තරග කළඹක්

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 18, කොළඹ LNW

සුගතදාස ක්‍රීඩාංගණය සටන්කාමීත්වයෙන් පිරී ගිය මන්චි ජාතික වොලිබෝල් සූරතාවලියේ ආධුනික කාන්තා අවසාන තරගය හැරෙන්නට අන් සැම තරගයක්ම ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් උද්වේගකර බවින් පිරුණු තරග බවට පත් වුණා.අවසාන තරගයට අදාළ නොවන ගැටළුකාරී තත්ත්වයක් නිසා ආධුනික පිරිමි අවසාන තරගයේ ජය සංඛේත ප්‍රදානය සිඳු නොවුණ අතර එම තරගය වට 5ක් දක්වා ඇදුණු අතර අවසානයේ තියුණු සටනකින් පසුව හලාවත ෆාහීම් ජෙම්ස් කණ්ඩායම අනු සූරයන් කරමින් රුවන්වැල්ල රාජසිංහය සූරතාවය දිනා ගත්තා.


ජාතිත සූරතා කාන්තා කිරුළ පළපුරුදු ගුවන් හමුදා කණ්ඩායමෙන් වට 3-1 ක් ලෙස ඩැහැගන්නට හයිඩ්‍රාමනී කණ්ඩායම සමත් වූ අතර වරාය අධිකාරියට ද එවැනිම ඉරණමක් අත් කර දුන් යුද හමුදා කණ්ඩායම වට 3-1 ක් ලෙස අවසාන තරගයේ ජයග්‍රාහකයන් බවට පත් වුණා.
එම අංශයේ කාන්තා තරගය වැඩි අපහසුවකින් තොරව වට 3-0 ක් ලෙස ජය ගන්නට සංඝමිත්තා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වූ අතර මාහෝ විජයබා කණ්ඩායම අනූ සූරියෝ වූහ.ලකුණු 27 – 25 ක් ලෙස පළමු වටයත්,25 – 23 ක් ලෙස දෙවන වටයත් තරගකාරිත්වයෙන් යුතුව පෙරට ඇඳුණත් කිසිඳු අවස්ථාවක සංඝමිත්තා ක්‍රීඩිකාවන් විජයබා ක්‍රීඩිකාවන්ට තරග වටයක ජය ලබා දුන්නේ නැහැ.තරගයේ තෙවන වටය ඔවුන් ජය ගත්තේ ලකුණු 25 – 20 ක් ලෙසයි.
තරගයේ හොඳම පන්දු සකසන්නිය ලෙස තරුෂි නිමන්සා ඇගයීමට ලක් වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණේ අංජලිකා ශියන්තියි.ඔවුන් දෙදෙනාම සංඝමිත්තා ක්‍රීඩිකාවන් වූ අතර විජයබා ක්‍රීඩිකාවන්ට හිමි වූ එකම ඇගයීම හිමි වුණේ ප්‍රහාරිකාව වූ මධුශානි තෙන්නකෝන්ට ය.


පළපුරුද්ද මත යැපීම සහ ජවාධිකත්වයට ප්‍රතික්‍රියා කිරිමේදී දක්වන පසුබෑම අතර තිබුණු අසමානකමින් ප්‍රයෝජන ගත් හයිඩ්‍රාමනී කණ්ඩායමේ ජවසම්පන්න බව ගුවන් හමුදාවට ප්‍රථම වටයේ ජය පමණක් උරුම කර දෙමින් දෙවන,තෙවන සහ සිව්වැනි වට ජය ගත්තා.ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකාවන්ගේ ශරීරවල ඇති වියැකෙන ජවය බුද්ධියෙන් පාලනය කරමින් සිය අත්දැකීම් සමඟ හොඳින් හසුරුවනු ලැබූව ද,හයිඩ්‍රාමනී කණ්ඩායමෙන් නොනවතින රැල්ලක් සේ නැඟුණ ප්‍රවේගකාරී ක්‍රිඩා රටාවට ප්‍රතික්‍රියා දැක්වීමේදී මතු වූ දුබලතාවය හේතුවෙන් මෙවර හයිඩ්‍රාමනී කණ්ඩායම කාන්තා ජාතික සූරතාවය ලබා දී නිහඬ වන්නට ගුවන් හමුදා කණ්ඩායමට සිඳු වුණා.
මැද පෙළ ප්‍රහාරයේදී දක්ෂතා දැක් වූ ගුවන් හමුදාවේ චතුරික රණසිංහ,සහ කේපී භාෂිණි දෙපළ මැද පෙළ දක්ෂතා වෙනුවෙන් ඇගයීම් ලද අතර සෙසු සියල්ල හිමි වූයේ හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවන්ටයි.එය පහත ආකාරයෙන් බෙදී ගියා.


හොඳම ප්‍රහාරිකාව – 1 දිලුක්ෂි හර්ෂනි – හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය
හොඳම ප්‍රහාරිකාව – 2 නිමේෂිකා සෙව්වන්දි – හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය
හොඳම වළක්වන්නිය – රෂ්මි දිව්‍යංජලි – හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය
හොඳම පන්දු සකසන්නිය – සුනේත්‍රා ප්‍රියදර්ශනී – හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය
හොඳම ලිබෙරෝ -කාවින්දි අසංගිකා – හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය
වටිනාම ක්‍රීඩිකාව – දිලුක්ෂි හර්ෂනි – හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය
තරගයේ ලකුණු සටහන දැක් වුණේ 23 – 25,29 -27,25 -21 සහ 25 -19 ක් ලෙසයි.මේ ලකුණු සටහන තුළ වියපත් ශරීරවල දරා ගැනීම සහ තරුණ ජවය සහිත සිරුරවල දරා ගැනීමේ පරතරය ද පැහැදිළි කර ගැනීමට හැකියි.වඩා ඉහළ දරා ගැනීමක් සහිත තරුණකම,බුද්ධිමත්ව ප්‍රතිපලය සඳහා ඉක්මන් නොවී ක්‍රියා කිරීම හයිඩ්‍රාමනී කණ්ඩායම තුළින් විද්‍යාමන වීම ද මේ තරගයේදී දැක ගන්නට ලැබුණා.අල්ලාගෙන සිටීමේ වැඩි ධාරිතාවය තම සිරුරේ අනන්‍යතාවය වීම බව අවබෝධ කර ගත් නිසා ගුවන් හමුදාවේ උපක්‍රම ඉවසා කාලය ගෙවා දැමීම ද හයිඩ්‍රාමනී කණ්ඩායමේ එක් උපාය මාර්ගයක්ව තිබුණා.
හොඳම ප්‍රහාරය 2 ලෙස කවිඳු පබසර වරාය අධිකාරිය විසින් ඇගයීම් ලැබීම හැරෙන්නට අන් සියළු විශේෂ ඇගයීම් යුද හමුදා කණ්ඩායමට හිමි වෙමින් පිරිමි අවසාන තරගය නිමාවට පත් වුණා.
හොඳම ප්‍රහාරකයා – 1 සජිත කැළුම්රත්න – ශ්‍රී ලංකා යුද හමුදාව
දක්ෂතම මැදපෙළ ක්‍රීඩකයා – 1 වසන්ත ලක්මාල් – ශ්‍රී ලංකා යුද හමුදාව
දක්ෂතම මැදපෙළ ක්‍රීඩකයා – 2 නලින් කරුණාරත්න – ශ්‍රී ලංකා යුද හමුදාව
හොඳම වළක්වන්නා – K. කලෙයිචෙල්වම් – ශ්‍රී ලංකා යුද හමුදාව
හොඳම සකසන්නා ජී. ප්‍රභාත් – ශ්‍රී ලංකා යුද හමුදාව
හොඳම ලිබරෝ – මනෝජ් සුරංග – ශ්‍රී ලංකා යුද හමුදාව
වටිනාම ක්‍රීඩකයා- K. කලෙයිචෙල්වම් – ශ්‍රී ලංකා යුද හමුදාව
එවැනි ප්‍රහරයන්, වැළක්වීම්,පන්දු සැකසීම් සහ ගොඩ ගැනීම් මැද යුද හමුදාව වරාය අධිකාරියට එල්ල කරන ලද අභියෝගය ඉදිරියේ තරගයේ දෙවන තරග වටය පමණක් සුවිශාල සටනකින් පසුව ලකුණු 30 – 28 ක් ලෙස වරාය අධිකාරිය ජය ගැනීමට සමත් වුණා.එහෙත් ප්‍රථම,දෙවන සහ සිව්වන තරග වට පිළිවෙලින් ලකුණු 25-15,25-13 සහ 25 – 18 ක් ලෙස යුද හමුදා කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා.


තරගයේ සංවිධානය සහ ගලා යාම ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගෙන යන්නට සමත් වූ අතර ජාතික සූරතාවය සඳහා ජාතිකමය වටිනාකමක් දෙන්නට අවසාන තරග සඳහා පැමිණි කණ්ඩායම් ද සමත් වුණා.ආධුනික තරගාවලියේ දි ෆාහීම් ජෙම්ස් කණ්ඩායමට අසාධාරණයක් වීම ගැන ඇති වූ ගැටළුවට ද වොලිබෝල් විධායක සභාව එහි සිටි ඇතැම් පිරිස්වල උවමනාවන්ගෙන් බැහැරව සෘජු තීරණයක් ගැනීමට එළැඹීම සතුටුදායක තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි.


සමාජයක් හැටියට වොලිබෝල් ක්‍රීඩාවේ නායකත්වය ඩිලාන් පෙරේරාගේ සමයේද ආගම්වාදී,ජාතිවාදී දේශපාලන කඳවුරේ සම්බන්ධයක් ඔහුට පැවතියද, ක්‍රීඩාවේ හෝ ඔහුගේ භාවිතාවන් තුළ ඒවා සුළු වශයෙන් හෝ ගෑවෙන්නට ඉඩ නොතැබූ බව ගෞරවයෙන් පැවසිය යුතුයි.ඒ නිසා වසර තිහක් ජීවිතවලින් වන්දි ගෙවීමට ක්‍රියා කළ රටක,ජාතීන්,ආගම් සළකා වැඩ කරන දේශපාලන කඳවුරුවල අය බලය වෙනුවෙන් අර්බූද නිර්මාණ කළ හැකි සැම බිමකම ඉහඳ තබන පනුවන් මෙන් හැසිරිය හැකි බව අමතක නොකළ යුතු වෙනවා.එවැනි භීම සංස්කෘතියක ඇතුළේ ජයග්‍රහණය ගැන හිතන මිනිසුන්ට බාධාවක් විය හැකි ෆාහීම් ජෙම්ස් වැනි කණ්ඩායම්, ජාතික ෆුට්බෝලය තුළ ලාංකේයත්වය වෙනුවෙන් අලුත් සම්ප්‍රදායක් සංස්කෘතියක් නිර්මාණය කරන්නට දායක වන කණ්ඩායමක් හැටියට අපේ අනාගතයට පරමාදර්ශය සපයන නිදසුනක් ලෙස ආරක්ෂා කළ යුතුයි.


රටේ හතර කොනම සිටින ලාංකිකයන්ගේ දක්ෂතා පිරුණු ජාතික ක්‍රීඩාවක් නිර්මාණය කිරීම සහ ජයග්‍රහණය කිරීම අරමුණ කර ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝලයට හැකිනම් ෆාහීම් ජෙම්ස් මෙන්ම දක්ෂතම ක්‍රීඩකයා වූ කේ.කලෙයිචෙල්වම් ද මේ වන විට මතුව තිබෙන හොඳම සහ ශක්තිමත් උදාහරණය.හොඳම ලාංකිකයන් තේරීමේ ජාතික උවමනාව වෙනුවෙන් පෙනී සිටීම ජාතික වොලිබෝලයේ වගකීම වුවත්,ක්‍රීඩාව තරම් පළල් නැති හුදෙකලා ජයග්‍රහණ ඉන් පිටත ලබා ගැනීමට වොලිබෝලය අඳුරේ ඇවිදීමට පහනක් කර ගැනීමේ අභිලාශය ඇති අයට ඊට වඩා වෙනස් පටු හැඟිම් තිබිය හැකිය
එවැනි තත්ත්වයක හොඳ අවසාන තරග ගණනාවක් සංවිධානය කරමින්,රටේ සැබෑ දක්ෂයන් අවසානය වෙනුවෙන් සටන් කරන බව පෙන්වන තරගකාරීත්වයක් ඉතුරු කරමින්,අලුත් ජාතික සංස්කෘතික බලාපොරොත්තුවක් සමග සමස්ත රට වැසියන් අබේදව වොලිබෝල් සමඟ එක්විය හැකිය යන පණිඉිඩය ලියා තබමින් නිමා කළ මෙවර ජාතික වොලිබෝල් සූරතාවයේ අනුග්‍රාහකත්වය ට ද,එය වඩාත් සතුට දනවන අවසානයක් වන්නට ඇත.