තාමත් මට තියෙන්නේ එදා තිබුන ප්‍රශ්න ….

Date:

අනේ! පුලුවනිනම්
මට ඒක බලන්න දෙන්න
පාඩම් පොතක් අස්සෙ හංගලා
යාලුවෙක් අතේ
ඔයාට එවපු පළවෙනි ලියුම.

පොඩි ගෑණු ළමයෙක්
රවුම් අකුරු වලින්
පණ්ඩිත වචන ලිව්ව
පළවෙනි ලියුම.

හඳ එළිය ගැන,තාරුකා ගැන
තනිවට අඬන රෑහියන් ගැන
සතුට පසුපස ගාටන පාළුව ගැන
සමනලුන් යන්නෙ කොහෙද ?
කුරුල්ලන්ට අපිව තේරෙනවද?
ග්‍රහලෝක ඇයි දිලිසෙන්නෙ?
එතකොට මං ලොකු ළමෙක් වෙලත් නෑ.

හිත මුලුමනින්ම ඇරල පෙන්වන්න
දොරක් අරිනව වගේ ගෙදරක.
මට ඔයා ඕනිවුනේ එහෙම
නිවුන්නෙක් වගේ හැමදේම තේරෙන.

හිස පපුවට තද කරගෙන
කෝමාරිකා ගානව වගේ තුවාලෙක
කාටවත් නොතේරුන මං ගැන.
ඔයා තරුණ කොල්ලෙක්නෙ
ඔයාට තිබුනෙ වෙන වෙන ප්‍රශ්න .

පිටාර යන වයස ආශාව
කකියන මස් ගොබ,නපුරු හීන.
ඒ නිසා ගැලපුනේ නෑ අපි – අපිට.
දවල් හීන දකින කෙල්ලෙකුයි
රැවුල් කොට මෝදුවුන කොල්ලෙකුයි.

ජීවිතේ නොයෙක් යුග පසු වෙලා.
කෙස් සුදුවෙලා,හමත් රැළි වෙලා.
ඉඟත් ආරලා .
කොහොමින් කොහොම හරි
වගකීමුත් ඉටුවෙලා.
තාමත් මට තියෙන්නේ එදා තිබුන ප්‍රශ්න
තාම නෑ උත්තර දන්න කෙනෙක් හමුවෙලා.

ගඟට වැටෙන මල් පෙති
මුහුදට යයිද මග රැඳෙයිද?
මීදුම මුලින්ම පටන් ගන්නෙ
අහසින්ද? කන්දෙන්ද ?
මල් වලටත් නිදිමත එනවද?
ජැක් ජීවත් වුනානං රෝස් එයා බඳීද?
ඇත්තටම ජෙමාට ආතර් අඳුනාගන්න බැරි වුනාද?

ඔයා දැනුත් ලොකු කොල්ලෙක්
මම තවමත් වැඩිවිය නොපත් කෙල්ලෙක්.
බැරිවෙලාවත් ඉතුරු කරගෙන ඉන්නවනම්
අල්මාරියෙ මුල්ලක හරි
මම එවපු පලමු ලියමන
අනේ !ඒක මට එවන්න .

~ වර්ණ රසිකා ගුණවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...