ගනේමුල්ලේ සංජීව ඝාතනය : උසාවියේ ආරක්ෂාවේ සිදුරු රැසක් . ඝාතකයා ගැනත් තොරතුරු හෙළිවෙයි !

Date:

පාතාල නායකයකු වන ගනේමුල්ලේ සංජීව නමැත්ත අද (19) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවක් තුළ ඝාතනයට ලක්වීමත් සමග අධිකරණයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු රැසක් උද්ගතව තිබේ.

අධිකරණයට පැමිණෙන කිසිදු නීතීඥවරයකු කිසිදු පරීක්ෂාවකට භාජනය නොකෙරෙන බැවින් ඝාතකයා පැමිණ තිබුණේ නීතීඥවරයකු ලෙස සැරසීගෙන ය. ඔහුට සහාය දුන් කාන්තාවක් ද නීතීඥවරියක් ලෙසින් සැරසී රිවෝල්වර් ගිනිඅවිය “අපරාධ නඩුවිධාන සංග්‍රහය” පොතක් තුළ දමාගෙන අධිකරණය තුළට රැගෙන ගොස් ඇති බවත් අනාවරණ වී ඇත. මේ තත්වය ගැන නම් චෝදනාව එල්ල වන්නේ නීතීඥ ප්‍රජාව පැත්තටම ය. ඒ, අධිකරණයට ඇතුළු වීමේදී නීතීඥයින් පරීක්ෂාවකට ලක් නොකෙරෙන්නේ තමන්ව පරීක්ෂාවට ලක්කිරීම පිළිබඳ නීතීඥවරුන් දක්වා ඇති දැඩි විරෝධය හේතුවෙන් වීමෙනි.

මෙම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී විනිසුරුවරිය සිය ආසනයේ සිට ඇති අතර ඇයට සිදුව තිබුණේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් විනිසුරු මේසය යට සැඟවීමට ය. නීතීඥ වෙසින් සිටි ඝාතකයා විත්තිකූඩුව අසලටම ගොස් ගනේමුල්ලේ සංජීවට වෙඩිතබා ඇති අතර උසාවි මැදිරියේ සිටි සියලු දෙනා කබලයට පත්ව “මෙන්න වෙඩි තියනවෝ” කියමින් දිවයද්දී ඔවුන් සමගම කෑගසමින් පිටතට දිවගොස් ඇති බව සඳහන්.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය යනු මෙරට ප්‍රධානතම මහේස්ත්‍රාත් අධිකරණයයි. ප්‍රබලතම අපරාධකරුවන් රැසක් ඉදිරිපත් කරන්නේ මේ අධිකරණයට ය. එහෙයින් පවතින තත්වය අනුව එහි විනිසුරුවරුන්ගේ ආරක්ෂාව බරපතළ තර්ජනයකට ලක්ව තිබේ.

මෙම උසාවි සංකීර්ණයේ පොලිසියෙන් යොදවා තිබුණත් එහි ආරක්ෂාව භාරව ඇත්තේ පෞද්ගලික ආරක්ෂක සේවයකට ය. එහි සිටින බහුතරයක් වයස අවුරුදු 70 ආසන්න පුද්ගලයින් බව සඳහන්. එසේම මෙවැනි දරුණු ගණයේ සැකකරුවන් නිතර රැගෙන එන ස්ථානයක් වුවද මෙහි ලෝහ හඳුනාගැනීමේ ස්කෑනර් යන්ත්‍ර එකක්වත් නොමැති බවත් වාර්තා විය.

වෙඩිතැබීම සිදුකළ ඝාතකයා මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔහු මුස්ලිම් ජාතිකයකු වන අතර කලක් හමුදා සේවයේ නිරතව සිටි අයකු බවත් හමුදාවේදී හොඳම වෙඩික්කරු වශයෙන් ඇගයීමට ලක්වූ පුද්ගලයකු බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...