නඩුවල ප්‍රමාදය වළක්වන්න අලුතින් අධිකරණ 7ක්. නීතිඥවරුන්ට ජීවිත තර්ජන ඇත්නම් ආරක්ෂාවත් ඉල්ලන්න – අධිකරණ ඇමති

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණයන් 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ජාවේදීය.

නඩු කල් යාම හෝ ඒ සම්බන්ධව ගැටලු මතුවීම එක් පුද්ගලයකුගේ එක් ආණ්ඩුවක ක්‍රියාවක් නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම කාරණය වසර 15ක් තිස්සේ පැවති තත්ත්වයක් බව සඳහන් කළේය.

මේ වන විටත් අධිකරණ පද්ධතිය තුළ සිවිල් හා අපරාධ නඩු ලක්ෂ 11ක් පවතින අතර නඩු කටයුතු හෙබවීමට ප්‍රමාණවත් විනිසුරුවරුන් නොමැති බවද හෙතෙම කියා සිටියේය.

අධිකරණ කටයුතු මෙහෙයෙවීම සඳහා සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 20 දෙනෙකු බවත් 4422ක ප්‍රමාණයක කාර්ය මණ්ඩල හිඟයක් 2024 වනවිට පැවති බවත් හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

එසේ වුවද අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යමණ්ඩලය 4130ක් අලුතෙන් බඳවා ගැනීමට මේ වනවිට කටයුතු කර ඇති අතර ඉදිරියේදී තවත් බඳවා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

මේ අතර තමන්ට ජීවිත තර්ජනයක් ඇති බවට යම් නීතිඥවරයෙක්ට හැ‍ඟෙන්නේ නම් මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා ආරක්ෂාව ලබාගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකින බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ
අදාළ ඝාතනය සිදු කළ පිරිසට සමාව නොදෙන බවයි.

ඔවුන්ට නීතියෙන් බේරීමට ඉඩ‌ නොදෙන අතර එම සිද්ධිය මත පදනම්ව සමස්ත නීතිඥවරුන්ට ජීවිත තර්ජන එල්ලවී නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.