සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි, 19 කොළඹ (LNW): ලොන්ඩන් පෙදෙසට අවුරුදු 26 ට පසුව වසන්තය කැඳවාගෙන එන්නට රක්ත වර්ණ රගර් හමුදාව පොහොසත් විය.ඒ සඳහා 2013 සිට අඛණ්ඩව ජාතික රග්බි සූරයන් වූ මහනුවර කණ්ඩායම දෙවරක්ම පරාජයට පත් කරමින් සූරතාවයේ හිමිකරුවන් තමන් බව සපත කරන්නට ඔවුන්ට සිඳු විය.මේ සඳහා සීආර් ඇන්ඩ් එෆ්සී බිමේම ජයග්‍රාහී අන්තිම මොහොත නිර්මාණය කර ගන්නට තරම් ඔව්හූ භාග්‍යවන්ත ද වූහ.
කාන්තා සූරතාවය ද යුද හමුදාවෙන් උඳුරා ගන්නට නාවික හමුදාවට හැකි විය.ඒ ලීග් සූරතාවයේ පළමු හමුවීමේ දී දැක් වූ දක්ෂතා පදනම් කරගෙනය.නාවික හමුදාවේ ඒ ජයග්‍රහණයට එකට එක කරමින් ලොන්ඩන් පෙදෙසේදී වාඩුව ගන්නට යුද හමුදාව සමත් වුව ද,පළමු පරාජය දරණු එකකි.ඒ නිසා ඒ පරාජයේ කැළලි ඔවුන්ට සිය සූරතාවය රැක ගන්නට ඉඩ නොඳුන් අතර නාවික හමුදාව සූරියෝ වූහ.
නිපොන් පේන්ට් වර්ණ ගැන් වූ ජාතික ලීග් සූරතාවලියේ අවසාන තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජය මුල සිටම සිය සූරතාවය රැක ගැනීම වෙනුවෙන් වෙනත් තරගයකට වඩා උනන්දුවෙන් ක්‍රියා කරන්නට විය.විශේෂයෙන් තරගයකදී මුල් භාගයට වඩා දෙවන භාගයේදී ආක්‍රමණශීලීව ප්‍රතිවාදින්ට තර්ජනය කරන මහනුවර,මේ තරගයේ මුල් භාගයේදී ම සිය පරාජය වළක්වා ගැනීම සඳහා වෙහෙසෙන බවක් දකින්නට තිබිණ.ඒ අනුව මුල් භාගය ගෙවෙන විට මහනුවර ලකුණු 13 – 06 ක් ලෙස පෙරමුණේ විය.ඒ ලකුණු 13 න් 8 ක් ම මහනුවර වෙනුවෙන් ඇඳී ආවේ ඔවුන්ගේ ලකුණු යන්තරය වන තරින්ද රත්වත්තගේ ඉලක්ක සහගත පා පහරින් ය.
නමුත් දෙවන අර්ධයේදී සාමාන්‍ය පරිදි අධි බලැති වන මහනුවර අභිබවා මෙවර නැඟී සිටින්නට වූයේ සීආර් කණ්ඩායමය.වේගවත් බව,සැළසුම් සහගත ආක්‍රමණික ස්වභාවය මෙන්ම ඔවුන් මහනුවර කණ්ඩායම අපේක්ෂිත නොකළ අන්දමේ දිගු පන්දු හුවමාරුවකට සාර්ථකව යොමු වුණේ අවස්ථා පහකදීම උත්සාහක දිණුම් සීමාවේ පන්දුව ස්පර්ශ කරමින්ය.එයින් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කරන්නට චතුර සෙනවිරත්න සමත් වූවේ දෙවන අර්ධයේ සීආර් පිලට ලකුණු 27 ක් එක් කරමින් මුළු ලකුණු ප්‍රමාණය 33 ක් බවට පත් කරමින්ය.චතුර තරගයේ වැඩිම සීආර් ලකුණු ලාභියා වෙමින් ප්‍රවර්ථනයට අමතරව දඬුවම් පහර දෙකක් ද සාර්ථක කර ගත් අතර,ගැමුණු චේතිය,අදීශ වීරතුංග,ලසිඳු කරුණාතිලික,රැන්ඩි සිල්වා සහ රවීන් ද සිල්වා උත්සාහක දිණුම් වාර්තා කළහ.
පළමු අර්ධයේ ලකුණු 13 ට මහනුවර කණ්ඩායමට තව දුරටත් එකතු කරගන්නට අවස්ථාව ලැබුණේ ලකුණු 12 ක් පමණක් බැවින් තරගයේ අවසාන තීරණය ලකුණු 33 – 25 ක් වූ සීආර් ජයග්‍රහණයක් විය.මහනුවර කණ්ඩායමේ ලකුණු 25 න් 15 ක් ම තරින්ද නමට හිමි විය.ඒ ඔහු දෙවන අර්ධයේදි ද එක් ප්‍රවර්ථනයක් සමඟ උථ්සාහක දිණුමක් ද වාර්තා කළ බැවින්ය.මහනුවර වෙනුවෙන් ඉතිරි උත්සාහක දිණුම් දෙක වාර්තා කළේ ධනුෂ්ක රංජන් සහ ලසිත අත්තනගොඩ ය.තරින්ද මේ තරගයේ පෞද්ගලිකව එකතු කළ ලකුණු 15 ත් සමඟ මුළු තරගාවලියේ මහනුවර වෙනුවෙන් ලබා ගත් ලකුණු ප්‍රමාණය 91 වූ අතර ඒ අනුව ඔහු තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස ඇගයීමට ලක් විණි.
කෙසේ නමුත් ඉකුත් වසරේ ක්ලිෆර්ඩ් කුසලාන ප්‍රකිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා රගර් ගත් තීරණවලට එකග නොවී තරගාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ නිසා මහනුවර කණ්ඩායමට මේ වසරේ එම තරගාවලිය අහිමි කිරීමේ දඩුවමක් ලබා දෙන්නට තීරණය වුව ද මේ වන විට එය ඉවත් වී ඇත.එහි අපූර්වත්වය වන්නේ එම තීරණය හේතු සාධක සහිතව දැණුම් දුන් එවකට නියෝජ්‍ය උප සභාපති පදවියේ සිට මේ වන විට වැඩ බලන සභාපති තනතුරට පිවිස සිටින නලීන් ද සිල්වාම,මෙම තහනම විධායක කමිටුව හෝ විධිමත් පරිදි දැනුවත් නොකර අහෝසි කර තිබීමය.ඒ නිසා වරදකාරී මහනුවරට ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේ දී ද සීආර් කණ්ඩායමට එරෙහිව වාඩුව ගන්නට ඉඩක් ලැබෙනු ඇත.
වසර 26 ට පසුව සීආර් වෙත ස’පැමිණි ලීග් සූරතා කුසලානය වෙනුවෙන් සව්දිය පුරන්නට තව දින ගණනාවක්ම සීආර් ක්‍රීඩා සමාජීය භූමිය වෙන් වෙනු ඇත.එකිනෙකා සුබ පතා ගන්නා රාත්‍රී ගණනාවක්ම ඔවුන්ට හමුවෙනු ඇත.එහෙත් මහනුවර කොට්ටම්ඹා ගහ යට නඩයට සමාන ආදරණීයන් පිරිසක් කිසිඳු වරප්‍රසාදයක් නොලැබ සීආර් පිටිය වටා ද සීආර් වෙනුවෙන් එක්වීමේ ඉතිහාසයක් ඇත.අද බොහෝ දෙනෙක්ට කොළඹ ඊනියා සංවර්ධන ව්‍යාපෘතිවලින් සිඳු වූ වටිනා බිම් අත්පත් කර විකිණිමේ ක්‍රියාවලියන් ඇතුළෙ උන්නු තැන් අහිමිව වෙනත් තැන්වල මහල් නිවාසවල ගාල් වී ඇත.කොළඹ හත කුරුඳුවත්තේ ප්‍රභූන් ගැන නොව කොළඹ හතේ නොහික්මුණු නම් දැරූ දරිද්‍රතාවයේ සළු නිසා වෙනස් කොට සැළකුම් ලැබූ තාරවත්තේ නම් කියවුණේ දුප්පතුන්ගේ නාම ලේඛණයේ සහ දාමරිකයන්ගේ නාම ලේඛණයේ ය.ටොරිංටන් හැටේ වත්තත් එබඳුමය.අද මේ වතු ප්‍රජාවන් මෙන්ම නාරාහේන්පිට පැත්තේ ජාතික පොළ ළඟින් පැන සීආර් වැඳෙන වතු ප්‍රජාව ද සීආර් දිනනකම් උගුර ලේ කර ගත්තෝය.පිරුනු සිත් ඇතිව දෑත රිදෙනකං රතු කොඩි වැනූ ඔවුන්ට තිබුණේ තමන් දන්නා අසල්වැසි බිමේ සෙල්ලම් දාන පිරිස සතුටින් ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වීමේ සතුට ගැන නිර්ව්‍යාජ ආඩම්බරයක්ය.එහෙත් සීආර් දොරටු ඇතුළේ සව්දිය පුරන සාජ්ජවලට ඔවුන් නොකැදවිණි.ඒ නිසා කොහේ ගහක් මුල,හෝ අඩු ගාණට සව්දිය පිරිය හැකි තැනකදීත්,එසේත් නැතිනම් හැංගී හැංගී බොන කසිප්පු උගරකින් හෝ කංසා දුමකින් ඔව්හූ ජයග්‍රහණ සාද සනසා ගත්හ.
ඔවුන් අද හඬ ඇහෙන දුර නැතත්,තමන්ගේ මුල් ගලවා ගෙන ගොස් ගාල් කර ඇති මහල් නිවාසවලින් පැන සීආර් දිනන මොහොත දෑස් තෙත් කර විඳින්නට,දෑත් එක් කර මහ හඬින් අත්පොළසන් නඟන්නට,දෙතොල් හිරි වැටෙන තුරු උගුරෙන් රුහිරු රස ලැබෙන තුරු ඔල්වරසන් දෙන්නට පැමිණ සිටියහ.සමහර විට සීආර් ප්‍රභූන් දිනකට සිය ජයපැන් සඳහා වැය කරන දේ දින කිහිපයක් මේ මිනිසුන් වෙනුවෙන් වැය කළහොත් අලුත් මතකයක් ලංකාවේ රගර්වලට එකතු කර ජයග්‍රහණයේ රස වෙනම ගුණයකට ගෙන යන්නට හැකියාව ඇත.වෙස් වන්නට ඕනි මේවා ය.රගර් ව්‍යස්ථාවෙන්ම මහා ක්‍රිඩා සමාජ අතර ක්‍රීඩාව රඳවා ගැනිම වෙනුවට තව දුරටත් බලන්නන්,ඔල්වරසන් නඟන්නන් පමණක් වි සිටින පිරිස වෙත දිරි දෙන්නට මඟ පෙන්වන්නට උත්සාහ කරන රගර් ලීග සහ සංවිධාන බලාත්මක කරන එකය.බඩගින්න නිවා ගන්න හිත හයිය කරගෙන මහපොළවේ හොඳත් නරකත් දෙකත් සමඟම හැප්පෙන වෙන ඒ ජීවිතවලින් හොඳ රටකට හොඳ ක්‍රීඩාවකට අවශ්‍යය සමාජමය සත්කාරය කරන හැටි හිතන එකය.
යුද හමුදාව සහ නාවික හමුදාව අතර වූ කාන්තා අවසාන තරගයේදී පරාජයේ අවමානය මකා ගන්නට යුද හමුදාව දරන උත්සාහය සහ නාවික හමුදාව පළමු හමුවීමේ ජයග්‍රහණය රැක ගන්නට කරන වෑයම අතර තියුණු සටනක් විය.ආරම්භයේදිස නාවික හමුදාව වෙනුවෙන් දිල්කි ප්‍රසාංජලී ලබා ගත් උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය ශානිකා මඩොලි සාර්ථක කර ගත් නිසා ආරම්භයේදීම ලකුණු 7 – 0 ක් ලෙස නාවික හමුදාව පෙරමුණේ විය.එහෙත් යුද හමුදාව සිය ආරක්ෂක රැකවරණ තර කරමින් නාවික හමුදා සීමාව ආත්‍රමණය කරන්නට වූ අතර එහි පලයක් ලෙස නාවික හමුදාව ලකුණු 7 සිටියදීම යුද හමුදා ක්‍රීඩිකාවෝ උත්සාහක දිණුම් දෙකක්ම වාර්තා කළහ.ඉන් එකක ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට චාරනී ලියනගේ සමත් වූවාය. කවිශා පෙරේරා සහ ශෂීමා ප්‍රභාෂණී උත්සාහක දිණුම් ලැබුවෝය.
කාන්තා රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් මීට වඩා යහපත් සැළසුමක් සකස් කළ හැකිනම් බොහෝ විට ක්‍රීඩාවේ දී තනි ඉසව් සම්බන්ධ ශක්‍යතාවන් සළකා බැලීමේ දී ක්‍රීඩිකාවන් ලබා ඇති ස්ථාන වැදගත්ය.ඉහළය.එසේම නෙට්බෝල් වැනි කාන්තා ක්‍රීඩාවකින් ආසියාවේ ඉදිරියෙන්ම සිටින රටත් ශ්‍රී ලංකාවය.එහෙත් ලංකාවේ බොහෝ සමූහ ක්‍රීඩා පවතින්නේ පිරිමි අනන්‍යතාවයක වන අතර කාන්තාවන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව යනු පිරිමින් විසින් දෙන වරප්‍රසාදයක් වැනි කරුණක්ය.මේ තත්ත්වය වෙනස් වී සමාන සැළකීමක් ක්‍රීඩා කරන පිරිස වෙනුවෙන් කරන තත්ත්වයක් නිර්මාණය වුවහොත් කාන්තා රගර් ක්‍රීඩාව වඩාත් ඉක්මණින් ලෝකයට වැදිය හැකි මට්ටමක පවතින්නේය.
එසේම මේ වසරේ ලීග් සූරතාවයේ ප්ලේට් සූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් වූ අතර එහි අනු සූරතාවය දිනා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමය.මේ සියලු දක්ෂයන් එකතු කර නිවැරදි මඟකට කැඳවාගෙන ඒම ශ්‍රී ලංකා රගර් වෙත පැවරෙන වගකීමකි.එහෙත් මේ මොහොතේ එවැනි හැඩයක් දකින්නට නොලැබීම කණගාටුදායකය.ශ්‍රී ලංකා රගර් මේ වන විට ලංකාවේ ඕනෑම කෙනෙකුට රගර් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩ දී රගර් අයාලයේ යන්නට දී බලා සිටින තැනකට පත්වෙමින් සිටියි.මේ තත්ත්වය වෙනස් කර රගර්වලට කඹය අත හැරී ඇද්ද යන්න හෝ මේ තීරණ ගන්න වැඩ බලන සභාපතිවරයා කවුරුන් හෝ කඹයකින් බැඳ ඇද්දයි සෙවීම ශ්‍රී ලංකා රගර් විධායක කමිටුව වහා මැදිහත්ව සොයා බැලිය යුතුය.නැතිනම් කඹෙන් බැදෙන සතුන් වගේ අයාලයේ හැසිරීම නැවත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් හෝ මැදිහත්වීමක් සිඳු විය යුතුය.








