සටහන – රුවන් නෙළුගොල්ල
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු රැසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ඊයේ මාධ්‍ය වෙත අනාවරණය කළේය.
“ගනේමුල්ලේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමක් සිදුකළා. මෙම සැකකරු තවත් කාන්තාවක් සමග සම්බන්ධ වී මෙම ඝාතනය සිදුකළ බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ. එමෙන්ම මෙම අත් අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙනවිත් ඔහු සම්බන්ධ ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි. මෙම සැකකරු නම් කිහිපයකින් පෙනී සිටි පුද්ගලයකු බව පෙනෙන්නට තිබෙනවා. ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් සහ නීතීඥ හැඳුනුම්පතක් ද තිබෙනවා. මොහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්ලාම් ෂෙරීෆ්ඩීන් යන නමින් ද පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි යන නමින් ද, ඔහු විසින් සකස් කරගෙන තිබූ නීතීඥ හැඳුනුම්පතේ කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නමිනුත් හඳුන්වා දී තිබුණා. ඒ අනුව ඉදිරි විමර්ශනවලින් පසු මෙම පුද්ගලයාගේ සැබෑ තොරතුරු, ඔහු සම්බන්ධ වී තිබෙන අපරාධ මෙන්ම මෙම අපරාධය කිරීම සඳහා ඔහුට ආධාර අනුබල දුන් සහ මෙම කුමන්ත්‍රණය සම්බන්ධ සියලු තොරතුරු අපට අනාවරණය කරගන්න හැකිවෙනවා. ඒ අනුව ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකිරීමට නියමිතයි”
ප්‍රශ්නය – බොහෝදෙනා කතාබහ වෙනවා ඉතාමත් ඉක්මනින් සැකකරු අත් අඩංගුවට ගන්න පුළුවන් වීම ගැන. මොනවගේ ක්‍රියාන්විතයක්ද මේ සඳහා ඔබතුමන්ලා යොදාගත්තෙ ?
“උදෑසන පළමුව අපි අධිකරණය තුළ තිබූ CCTV ආශ්‍රයෙන් මොහුගේ ඡායාරූප සහ මොහු සමග මීට සම්බන්ධ වූ කාන්තාව හඳුනාගැනීමක් කළා. ඉන් අනතුරුව සියලුම පොලිස් ස්ථාන මේ සම්බන්ධයෙන් දැනුවත් කර විශේෂයෙන්ම ඔහු මුහුදු මාර්ගයෙන් රටින් පළායාමට තිබූ හැකියාව සහ ගුවන් තොටුපල හරහා විදෙස්ගත වීමේ හැකියාව නැතිකිරීම සඳහා පළමු අවස්ථාවේදීම අපි එම ස්ථාන දැනුවත් කිරීමක් සහ මාර්ග බාධක රාජකාරි යෙදවීමක් කළා. එමෙන්ම ඉන් අනතුරුව බුද්ධි තොරතුරු හරහා මෙම පුද්ගලයා ගමන් කළ මාර්ගය නිසි පරිදි හඳුනාගැනීමෙන් පසු අද සවස් කාලයේදී අපට හැකියාව ලැබුණා මොහු පුත්තලම ප්‍රදේශයේදී වෑන් රථයකින් පළා යමින් සිටියදී අත් අඩංගුවට ගැනීමක් සිද්ධ කරන්න”
ප්‍රශ්නය – ඔබතුමා පැවසූ පරිදි මේ වෙනවිට සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් තිබෙනවාද, අධිකරණයට ඉදිරිපත් කරන්නෙ කවදාද ?
“ඔව්, ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි. ඒ අනුව විමර්ශනවලදී මතුවෙන කරුණු මත ඔහුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ සියල්ල තීරණය වෙන්නේ ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමෙන් පසුව එහිදී මතුවෙන කරුණු මත තමයි”
ප්‍රශ්නය – මේ සිදුවීමත් එක්ක තවත් කාන්තාවක් ගැන මාධ්‍ය වාර්තා පළවුණා. ඒ සම්බන්ධයෙන් කොහොමද සිදුවන විමර්ශන ?
“එම කාන්තාව පිළිබඳවත් ඉදිරි විමර්ශන සිදුකෙරෙනවා. ඇය මේ සඳහා ආධාර අනුබල දුන් බව තමයි මූලික විමර්ශනවලින් පෙනී ගියේ. ඒ අනුව ඉදිරියේදී එම කාන්තාවත් නීතියේ රැහැනට හසුකරගෙන ඇයවත් නීතිය හමුවට ගෙන ඒම සඳහා අපි කටයුතු කරනවා. එම කාන්තාව පිළිබඳවත් විමර්ශන මේ වනවිට සාර්ථක අයුරින් සිදුකෙරෙමින් පවතිනවා”
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (19) රාත්‍රියේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
