Beechcraft King Air 360ER නම් ගුවන්යානය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවට වාර්තා වේ. එක්සත් ජනපදයේ කැන්සාස් හි විචිටා වල ඉදිකෙරෙන මෙම ගුවන්යානය ඇමරිකානු සමාගමක් වන Textron Aviation වෙත ලැබුණු ඩොලර් මිලියන 11 ක කොන්ත්‍රාත්තුවක් මත නිපදවේ.
හමුදා විකිණුම් කොන්ත්‍රාත්තුවක් හරහා මෙම ගුවන්යානය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර, එහි නිශ්පාදන කටයුතු 2025 සැප්තැම්බර් වන විට අවසාන වේ.
මෙම ගුවන්යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දීමට නියමිත අතර, ඊට ප්‍රථම එහි සංවේදක උපකරණ සවිකිරීම සඳහා ඇමරිකානු හමුදාවට ලබා දීමට නියමිතයි.
Beechcraft King Air 360ER ගුවන්යානය අඩි 46.6 (මීටර් 14.2) දිග සහ අඩි 14.3 (මීටර් 4.35) උසින් යුතු වන අතර, එය නිර්මාණය කර ඇත්තේ ප්‍රශස්ත බල ප්‍රතිදානයක් සහ කාර්යක්ෂම ගුවන් ගතවීමක් සඳහා නිරවද්‍ය පාලනයක් සපයන “ThrustSense Autothrottle” වැනි විශේෂාංග ද සමඟිනි. එමඟින් ගුවන් නියමු කාර්යභාරය අවම කෙරෙන බව පැවසේ.
මඟීන් රැගෙන යාම සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීම, ගුවන් ගිලන් රථයක් ලෙස ක්‍රියා කිරීම හෝ වෙනත් මෙහෙයුම් සිදුකිරීම ආදී කාර්යභාරයන් රැසක් සඳහා මෙම ගුවන්යානය නම්‍යශීලි බව ද සඳහන්.

මෙම ගුවන්යානයේ අඟල් 14ක ස්පර්ශයෙන් ක්‍රියාකරන පුවරු (touchscreen) තුනක්, කාලගුණය පුරෝකතනය කරන බහු-පරිලෝකන රේඩාර් පද්ධතියක් (multi-scan weather radar system), ද්විත්ව පියාසැරි කළමනාකරණ පද්ධතියක් (dual flight management system), දෘෂ්‍ය පියාසැරි සැලසුම්කරණයක් (graphic flight planning) සහ කාර්ය මණ්ඩල අනතුරු ඇඟවීමේ පද්ධතියක් (crew alert system) ඇතුළත් වේ.
Beechcraft King Air 360ER ගුවන්යානය හඳුන්වාදෙනු ලැබුවේ 2020 වර්ෂයේදී වන අතර, එහි උපරිම පරාසය කිලෝමීටර් 3,345 (සැතපුම් 2078.4) වන අතර පුද්ගලයන් 11 දෙනෙකු රැගෙන යා හැකිය. මෙම ගුවන්යානයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 560 (සැතපුම් 348) වන අතර අඩි 35,000 (මීටර් 10,668) ක උපරිම උසක් දක්වා පියාසර කළ හැක.

Textron Aviation සමාගමේ යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාවේ විකුණුම් අංශයේ උප සභාපති ටොම් පෙරී මහතා පැවසුවේ, දශක පහකට වැඩි කාලයක් පුරාවට මෙම කලාපයේ වැඩිම ඉල්ලුම King Air ගුවන්යානා වෙත තිබෙන බවත්, නව 260 සහ 360 මාදිලි එහි අනර්ඝත්වය සනිටුහන් කරන බවත් ය.
Textron Aviation සමාගම 1974 වර්ෂයේ පටන් ටර්බොප්‍රොප් වර්ගයේ ටර්බයින් එන්ජින් ද්විත්වයකින් යුක්ත Beechcraft King Air ගුවන්යානා මාදිලි ගණනාවක් ම හඳුන්වා දී ඇති අතර එය ටර්බොප්‍රොප් එන්ජින් සහිත ගුවන්යානා නිපදවන පැරණිතම සමාගම බව ද සඳහන්.
Textron Aviation සමාගම විසින් රාජ්‍ය, හමුදා සහ වාණිජ මෙහෙයුම්, ගුවන් සමීක්ෂණ හා නිරීක්ෂණ කටයුතු සඳහා නිමවූ 350ER මාදිලියේ ගුවන්යානා ද වෙයි.
ඉකුත් සැප්තැම්බර් මස දී Beechcraft King Air 360ER ගුවන්යානයට යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සියේ (European Aviation Safety Agency) සහතිකය ලැබුණු අතර, යුරෝපා සංගමය පුරා සිටින ගනුදෙනුකරුවන් වෙත බෙදා හැරීමට හැකිවිය.
MIAP