2026 යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම්!

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ LNW :

අද (23) ” තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක් – 2026 ජාතික නිවාස වැඩසටහන” සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර එහිදී, නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කර සිටියේ, ජාතික නිවාස වැඩසටහන යටතේ 2026 වසරේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ අමාත්‍යංශ 06ක් යටතේ නිවාස ඉදිකිරීම් කටයුතු සිදුවන බවද එහි ප්‍රමුඛතම කාර්යය භාරය නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශය සිදුකරන බවද පැවසුවේය.

එම අමාත්‍යංශය යටතේ නිවාස වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා එම වැඩසටහන් දෙක වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නිවාස වැඩසටහන සහ නැවත පදිංචි කිරීමේ අංශය යටතේ උතුරු නැගෙනහිර පළාත් වල දිස්ත්‍රික්ක 08ක යුද්ධය නිසා අභ්‍යන්තරව අවතැන්වූ ජනතාව සදහා නිවාස තනාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නේය.

ජාතික නිවාස වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මගින් ක්‍රියාත්මක වන වැඩසටහනෙහි නිවාස ඉදිකිරීම් කටයුතු වල දිස්ත්‍රික් මට්ටමේ වැඩකටයුතු 2026 පෙබරවාරි 25 වනදා ආරම්භ කරන බවද පැවසුවේය.

මෙම වසරේ ජාතික නිවාස වැඩසටහන 2026 මගින් අමාත්‍යංශ 06ක් යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට නියමිත බවද මෙයින් නිවාස 25,000ක් පමණ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් සෘජු ආධාර යටතේ ඉදිවන බවද එහි වැඩකටයුතු ජනවාරි 16 වනදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ඇරඹි බවද ජනවාරි 28 වනදා අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් ගාලල්ලේදී ඇරඹි බවද පැවසුවේය.

එළඹෙන 25 වනදා දිස්ත්‍රික්ක මට්ටමෙන් දිස්ත්‍රික්ක වැඩසටහන් ලෙස ඇරඹීමට කටයුතු කර ඇතැයිද සදහන් කළේය.  නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ආධාර පවුල් 10,000කට පමණ මිලියන 10,000ක්  ලබාදීමට කටයුතු කර ඇතැයිද සදහන් කළේය.

නිවාස සංවර්ධන අධිකාරිය යටතේ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව යටතේ අඩු ආදායම්ලාභී පවුල් සදහා තමන්ගේ නිවස සාදා ගැනීමට එක පවුලකට රුපියල් මිලියනයක නැවත අයකර නොගන්නා ආධාරයක් ලබාදීමට සැලසුම් කර ඇතැයිද අවධාරණය කළේය.මෙම ප්‍රතිලාභීන් 10,000 සදහා නිවාස ආධාර ලබාදීමේ වැඩසටහන එළඹෙන 25 වනදා දිස්ත්‍රික්ක 13කදී ප්‍රතිලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය අරඹන බවද පැවසුවේය.

2026 පෙබරවාරි 25 වනදා පවුල් 1500කට නිවාස 1500ක් ඉදිකර ගැනීම සදහා රුපියල් මිලියන 1500ක චෙක්පත් බෙදාදීමේ වැඩ කටයුතු මෙම දිස්ත්‍රික්ක 13හි අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බවද සඳහන් කළේය.මෙම වැඩසටහනේ අරමුණ වනුයේ අඩු ආදායම්ලාභී පවුල් 1500කට තමන්ගේම තැනක් සාදා ගැනීමට මිලියන 1500ක් ලබාදීම බවද පැවසුවේය.