Home සංවර්ධන පුවත් 2027 සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡා අරඹයි!

2027 සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡා අරඹයි!

0
3

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය 2027 වසර තුළ දියත් කිරීමට බලාපොරොත්තුවන සංවර්ධන සැලසුම් මුදල් අමාත්‍යංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ පටිපාටියට අනුව නිවැරදිවත් කඩිනම්වත් සකස්විය යුතු ආකාරය පිළිබද අදහස් හුවමාරු කරගැනීමේ සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

අමාත්‍යංශයේ වගකීම් වන ග්‍රාම සංවර්ධනය, සමාජ ආරක්ෂණය හා ප්‍රජා සිවිබලගැන්වීමට අදාළ ග්‍රාම සංවර්ධන කාර්යංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමාජසේවා දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය හා ආබාධිත පුද්ගලයන් සඳහා වන මහලේකම් කාර්යාලය, ජාතික සමාජ සංවර්ධන ආයතනය, ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පුහුණු පර්යේෂණ ආයතනය, උපදේශන අංශය, ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය හා රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය යන ආයතනවල අංශ ප්‍රධානින් හා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉන්දික ප්‍රේමරත්න මහතා ඇතුළු නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙතෙක් සෑම වසරකම ජුනි මාසයේදී ආරම්භ වන මෙම සාකච්ඡා මාලාව වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කළ බවත්, අමාත්‍යංශ බහුතරයක සාකච්ඡා අවසන් කර ඇති බවත් එමගින් ඉදිරි වසර සඳහා සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව තක්සේරු කිරීමටත්, ව්‍යාපෘති සඳහා ඵලදායීව මැදිහත් වීමටත් සැලසුම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙන බවත් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වයරයා මෙහිදී ප්‍රකාශකර සිටියේය.

මෙම අවස්තාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු සහ සභාපතිවරු ඇතුළු නිළධාරීන් එක්ව සිටියහ.