දෙවියන්ගේ නගරයේ දෙවියෝ …

0
353

රෝමය … රෝම අධිරාජ්‍යයේ අගනගරය, බලන්න වටින.. ඇවිදින්න වටින… දවස් ගණන් නෙවෙයි සති ගණන් රස්තියාදු වෙන්න වටිනා නගරයක්. මේ තරම් විශාල කලා නිර්මාණ එකතුවක් තවත් නගරයකදි එකට දකින්න පුළුවන්ද සැකසහිතයි.

මේ නගරය ගොඩනැගෙන්නෙ දැනට අවුරුදු 2775 කට කලින්. ඉතිහාසය හා ඉලක්කම් පොඩ්ඩක් පැත්තකින් තියලා කලා නිර්මාණ බලන්න පුළුවන් වුනොත් ඉගෙන ගන්න පුළුවන් දේ .. රසවිඳින්න පුළුවන් දේ බොහොමයි.

පියාසා නවෝනා රෝම නගරය මැද්දෙ තියන වෙනස්ම ජවයක් ශක්‍තියක් එකතුවෙන තැනක්. රෝම නගරයේ කැමතිම ස්ථානය මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් පියාසා නවෝනා මතක් වෙනව නොවැරදීම.

රෝමය දෙවියන්ගෙ නගරය… වතිකානුව ඒ දෙවියන්ගෙ දේවස්ථානය ගොඩනගපු බිම.

නමුත් ඒ දෙවියන්ගේ නගරය මැද තවත් දෙවිවරු හතර දෙනෙක් හැමෝගෙම ආදරයත් සැලකිල්ලත් ලබන්නෙ සියවස් ගණනාවක ඉඳලයි. ෆවුන්ටේන් ෆියුමි ( Fontana dei Quattro Fiumi) එහෙමත් නැත්තං ෆවුන්ටේන් ඔෆ් ෆෝ රිවර්ස් ( Fountain of Four Rivers) නිර්මාණය වෙන්නෙ 1651 අවුරුද්දේ ජියොවාන්නි ලොරෙන්සෝ අතින්. (Giovanni Lorenzo).

නාට්‍ය කලාව ගැන කතා කරන්නෙ බැහැ විලියම් ශේක්ස්පියර් අමතක කරලා. ඒ වගේම තමයි මූර්ති කලාව හා පිලිරූ නිර්මාණය ගැන කතාකරන්න බැහැ ජියොවානි ලොරෙන්සෝ ගැන කතා නොකර ( Gian Lorenzo Bernini- 1598-1680).

පියාසා නවෝනා පෙදෙසේ එලිමහනේ නිර්මාණය කරන්න නියමිත දිය උල්පතක් සඳහා නිර්මාණ තරඟයක් පැවැත්වෙනවා රෝමයේ නිර්මාණ ශිල්පීන් අතර. ඒ තරඟයෙන් ජයග්‍රහණය කරන්නෙ ලොරෙන්සෝ බෙර්නිනි.

බෙර්නිනිගේ නිර්මාණය සමන්විත වෙන්නෙ මහද්වීප හතර නියෝජනය කරන ප්‍රධාන පිලිරූ හතරකින්. මහද්වීප හතර නියෝජනය කරන දෙවිවරු හතරදෙනා කවුරු වෙන්න පුළුවන්ද.? වැඩිම අවධානයක් ලබාගන්න වඩාත්ම ආකර්ශණීය මුහුණ හා ශරීරය හිමිවෙන්නෙ ආසියාවට.

ආසියාව නියෝජනය කරන්නෙ ගංග් හෙවත් ගංගානම් ගඟ. ලොව වඩාත්ම පැරනි ආගම ලෙස සලකන හින්දු ආගමේ ගෞරවය ලබන ගංගානම් ගඟ විසින් සරුකරන කෙත්වතු.. ගොඩනගන ශිෂ්ඨාචාර.. දිග ඉතිහාසය හරහා බෙනිනි විසින් මූලිකත්වය ලබාදෙන්නෙ ගංගානම් ගඟට.

යුරෝපය නියෝජනය කරන්නෙ ඩැනියුබ් නදිය විසින්. ඩැනියුබ් දෙවියන්ගේ හෝ යෝධයගෙ පිලිරුවේ තියෙන්නෙ නොනවතින විශාල ජවයක් වගේම වේගයක්. දිශාවන් කීපයකට චලනය වෙන ආකාරයක් පෙන්වන ඩැනියුබ් හරහා දකින්න පුළුවන් යුරෝපයේ රටවල් දහයක් හරහා ගලායන නොනවතින ශක්තිය. ජර්මනියේ උස්බිම්වලින් පටන් අරගෙන ඔස්ට්‍රියාව.. හන්ගේරියාව , ක්‍රොඒශියා, සර්බියා, රුමේනියා, බල්ගේරියා, මෝල්ඩෝවා,යුක්‍රේනය හරහා ගොස් ඩැනියුබ් ඩෙල්ටාවෙන් කළු මුහුදට එකතුවෙන ඩැනියුබ් යුරෝපයේ ශක්තිය වෙන්නෙ කොහොමද කියන කාරණය බෙනිනි නිරූපනය කරන ආකාරය පුදුමාකාරයි.

නයිල් නදිය නිරූපනය කරන දෙවියන්ගේ හිස වැහිලා තියෙන්නෙ ආවරණයකින්. නයිල් පිලිරුවේ මුහුණ හෝ හිස අපිට පැහැදිලිව දකින්න බැහැ. අපි මේ කතා කරන්නෙ වර්ශ 1650 වගේ පැරනි කාලයක් ගැන. මේ වෙද්දි නයිල් ගංගාව පටන් ගන්නා ප්‍රදේශය ගැන ලෝකය දන්නෙ නැහැ.මේ නොදැනුවත්කම හෝ සැඟවුනු ඇරඹුම බෙර්නිනි පෙන්වන්නෙ හිස වටා ඇති ආවරණයෙන්. ( 1850 පමණ වර්ශය වනතෙක් නයිල් නදියේ ආරම්බක ප්‍රදේශ ගැන ලෝකය දන්නෙ නැහැ)

ඇමරිගෝ වෙස්පුචි අළුත් ලෝකයට හෙවත් ඇමරිකානු මහද්වීපයට ගොඩ බහින්නෙ 1507 අවුරුද්දෙ. ක්‍රිස්තියානි.. කතෝලික මිශනාරීන් විසින් ක්‍රිස්තියානි ආගමත්.. යුරෝපීයගේ සංස්ක්‍රෘතියත් ඇමරිකානු කලාපයේ ස්ථාපිත කරන්නෙ 16 වෙනි සියවසෙ ඉඳලයි. සුදු මිනිසා ඇමරිකානු මහද්වීපයේ බලය පැතිරෙව්වත්.. සුදු මිනිසා විසින් අලුත් ලෝකයක් නිර්මාණය කරන බව කීවත් ඒ කලාපයේ මුල් හිමිකරුවන් වෙන්නෙ දුඹුරු හා කළු හමක් සහිත මිනිසා බව බෙර්නිනි දකිනව. ඇමර්කානු මහද්වීපය නියෝජනය කරන්නෙ River of Silver හෙවත් Río de la Plata ගංගාව. ලොව වඩාත්ම පලලින් යුතු ගංගාව විදිහට සැලකෙන්නෙ රියෝ ද ලා ප්ලාටා. ආරජන්‍ටිනාවත් උරුගුවේත් අතරින් අත්ලාන්තික් සාගරයට එකතුවෙන රිදී ගංගාව නිරූපනය කරන්න ජියොවානි බෙර්නිනි විසින් තෝරාගන්නෙ කළු මිනිසෙක්ව. මේ කාලවකවානුවේ නීග්‍රෝ හෙවත් කළු ජාතිකයන් සැලකෙන්නෙ වහළුන් විදිහට.

ගෞරවය ලබන.. පිදුම් ලබන ස්ථානයකට කළු මිනිසෙකු ආදේශ කිරීම ආන්දෝලනාත්මක .. අවධානම් වැඩක්. ඒත් නිර්මාණකරුවා ඒ අවධානම බාර ගන්නව විතරක් නෙවෙයි ඉහල බෝශුවාස් සමාජයට අභියෝග කරනව නිහඬවම.

ඊජිප්තු ඔබෙලිස්ක් කුළුණක් මැදිකරගෙන දිශාවන් හතරක් දිහා බලන් ඉන්න මේ යෝධයන් හෝ දෙවියන් හතරදෙනා එක් පිංතූරයකට ගන්න එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් විවිධ දිශාවන්ට ගලාබසින දිය උල්පත්.. දිය පහරවල් .. ජවය.. ශක්තිය… පුදුමාකාරයි. අවුරුදු 350කට පෙර නිර්මාණය කරන ලද පිලිරූ ඒ තරම් පුදුම විය යුතු දෙයක් නෙවෙයි.

නමුත් මේ ගංගාවන් මිනිසාගේ දෙවියන් බව කියන නිර්මාණය ඉදිවෙන්නෙ ඇපලෝ.. නෙප්චූන් ..වීනස්..මර්කරි.. ජූනෝ වැනි දෙවි දේවතාවන්ට වසර දාස් ගාණක් තිස්සෙ වඳින පුදන රාජ්‍යයක. ඉන් පස්සෙ ලෝකය නිර්මාණය කරන්නෙත් පාලනය කරන්නෙත් එකම දෙවියෙකු විසින් කියන රාජ්‍යයක ප්‍රධාන නගරය මැද්දෙ. අන්ධව ආගමික විශ්වාසයන්ට යටවෙලා පිලිරූ… සංඛේත.. ගොඩනැගිලි වන්දනා කරන ජනකායක් මැද්දෙ… සැලකිය වැඳිය යුතු දෙවියා සොභාදහම විය යුතුයි කියන්න පුළුවන් මිනිසා විශිෂ්ඨයෙක්.

එවැනි ජනකායක් ලවා නිහඬවම සොභාදම වන්දනාකරවන්න හැකිවෙන්නෙ විශිෂ්ඨ කලාකරුවෙකුට විතරයි. ජියොවානි බෙර්නිනිගේ නිර්මාණය විශිෂ්ඨ වෙන්නෙ අන්න ඒ නිසයි.

රෝම නගර වැසියන් මේ දිය උල්පත කාලයක් හැඳින්වූයේ පාන් දිය් උල්පත් විදිහට. ඊට හේතුවෙන්නෙ අධික වියදම පියවා ගැනීමට පාන් මත බද්ධක් අයකිරිමට නගර අධිකාරිය පියවර ගැනීම නිසයි.

පියාසා නවෝනා හා ගංගා හතරේ උල්පත අපිට දකින්න පුළුවන් හොලිවුඩ් නිර්මාණයක් වූ Angels and Demons චිත්‍රපටිය තුලදි.

චිත්‍රපටියේ කතානායකයා වන රොබර්ට් ලැන්ග්ඩන් විසින් කාර්දිනල් බෝර්ජියාව ගිලෙන්න නොදී මරණයෙන් බේරගන්නෙ මේ කියන සිව් ගංගා දිය උල්පත තඨාකයේදීයි.

සැබෑ දිය තඨාකය අඩි දෙකකට වඩා ගැඹුර නැති වුනත් සුන්දරත්වයෙන් කිසිම අඩුවක් නැහැ.

පියාසා නවෝනා හා දිය උල්පත්වල හැබෑ ලස්සන දකින්න නම් පාන්දර දෙකෙන් පමන පස්සෙ කාලය වඩා සුදුසු වන්නෙ සංචාරකයන් දාස් ගණනක් මේ ප්‍රදේශයේ දවස පුරාමත් රෑ පුරාත් සැරිසරන හේතුවෙනුයි.

සොභාදහම සියළුම දෙවි දේවතාවුන්ට වඩා ඉහලින් සලකපු අන්තෝනියෝ ගවුඩි ගැන අපි මීට පෙර කතාකලා මතක ඇති.

සියවස් හතරකට ආසන්න කාලයක් තිස්සෙ සිව් ගංගා උල්පත ගලා හැලෙනව.

අවුරුදු පහලවකට කලින් දුටු ලස්සන අදත් ඒ විදිහටම දකින්න පුළුවන් වීමයි මේ කුඩා සටහන ලියන්න හේතුවෙන්නෙ.

~ Malcolm Sang

RN