*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අපේ රටේ කාන්තා ශ්‍රම බලකායට තෙරපිවරියන් එක් වීමේ වැඩි නැඹුරුවක්

වර්තමානයේ පුවත් පත් රැකියා ඇබෑර්තු අතුරින් ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන ඇබෑර්තු විශේෂයක් තිබේ. එනම් “නුපුහුණු තෙරපි වරියන්” යන්න ය. මෙම තෙරපි වරියන් ලෙස හැඳින්වෙනුයේ කවුරුන්ද? නමුත් මෙබඳු වදනක් සිංහල භාෂාවේ නැත.

ඒ අනුව පෙනී යන්නේ මෙය Therapist යන ඉංග්‍රීසි වදනේ සිංහල වර නැගීමක් බව ය. එහෙත්,සිංහල බසින් චිකිත්සක යන අරුත ගෙනෙන Therapist යන ඉංග්‍රීසි වදනින් සෘජු අරුතක් පළ නොවේ.

එසේ වීමට නම් Psychotherapist (මනෝ චිකිත්සක) Physiotherapist (භෞත චිකිත්සක) ආදී වශයෙන් ඊට නිසි විෂය ක්‍ෂේත්‍රයක් ද එක් විය යුතු ය. එමෙන්ම කවර හෝ චිකිත්සක වරයකු නිසි වෘත්තීය පුහුණුවක් ලද අයකු ද විය යුතුම ය. එහෙත්, මෙම දැන්වීම් වලින් පැවසෙන්නේ ‘නුපුහුණු තෙරපි වරියන්’ පිළිබඳව ය.

ඉන් පැවසෙනුයේ එසේ බඳවා ගනු ලබන්නියන්ට අදාල ක්‍ෂේත්‍රය පිළිබඳව වෘත්තීය පුහුණුවක්, සුදුසුකමක් පවා අවශ්‍ය නොවන බව ය. ඉහත සඳහන් පුවත් පත් දැන්වීම් වල එලෙස ‘වහෙන් ඔරෝ බාසාවෙන්’සඳහන් කොට ඇත්තේ අද වන විට අප රට පුරා වේගයෙන් ව්‍යාප්ත වන සම්භාහන ආයතන නම් ලිංගික සේවා සපයන ආයතන වල ලිංගික ශ්‍රමය සපයන්නියන් අවශ්‍ය බව ය.

මෙහි දී එම “තෙරපි වරියන්” ගේ වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද අනවශ්‍ය බව පැවසුණ ද ඇගේ වයස සහ රූප සොබාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු වන බව පෙනෙයි. මෙම ඇතැම් දැන්වීම් වල “තෙරපි වරියකට” රුපියල් අසූ දහසේ සිට රුපියල් ලක්ෂය තෙක් මාසික ආදායම් උපයා ගත හැකි බව පැවසෙනුයේ ඒ පදනමේ සිට විය යුතු ය.

මීට දශක කිහිපයක් තෙක් අප රටේ පුරුෂ පක්ෂය සතු කරගෙන තිබූ ශ්‍රී ලාංකේය වෘත්තීය ශ්‍රම බලකා ඒකාධිකාරය පසුගිය දශක කිහිපය තුළ වේගවත්ව බිඳවැටෙමින් තිබේ. ඊට හේතුව පුරුෂ පක්ෂයට සාපේක්‍ෂව නිදහස් අධ්‍යාපනයේ වැඩි ප්‍රතිලාභ දිනා ගැනීමට කාන්තා පාර්ශවය සමත් වීම මත වත්මන් රැකියා වෙළඳ පලේ වැඩි අවකාශයක් ඔවුන් විසින් අත්පත් කරගෙන තිබීම ය.

කලින් පුරුෂ පක්ෂය විසින් අත්පත් කරගෙන තිබූ විද්වත් වෘත්තික රැකියා අවස්ථා අද වන විට තරඟකාරී මට්ටමින් කාන්තා පාර්ශවය විසින් අත් පත් කර ගනිමින් තිබේ. සමාජ සමානාත්මතාව සම්බන්ධයෙන් එය ඉතා යහපත් තත්වයකි.

එවන් පසුබිමක් තුළ හුදෙක් කාන්තා පාර්ශවය සඳහා පමණක් වන මෙම ලිංගික ශ්‍රමය සපයන්නියන් සම්බන්ධ නව රැකියා උත්පාදන අවස්ථා වේගවත්ව සුලබ වීම් මෙරට කාන්තා පරපුර විසින් හිමි කර ගෙන හිඳින ඒ සුවිශේෂ අවස්ථාව, ජයග්‍රහණය මුලුමනින්ම කණ පිට හැරවීමකි.

සම්භාහන ආයතන ලෙසින් හැඳින්වෙන, ගෙන යන මෙම ලිංගික සේවා සපයන ස්ථාන ඇතැම් විට නීති විරෝධීවත්, නීතිය අවභාවිතා කිරීමෙනුත් පවත්වාගෙන යන බව නොරහසකි. ඇතැම් විට මෙම ජාවාරම් පසු පස දේශපාලනඥයන් සේම නීතිය හා සාමය සුරැකීම සම්බන්ධ වගකීම් දරන නිලධාරී පාර්ශවයන් ද හිඳින බව පෙනෙයි. එමෙන්ම සමාජයේ ඉහළම තලයේ කැපී පෙනෙන ජනප්‍රිය තාරුකා ගණයේ පිරිමින් සේම කතුන් ද මේ ජාවාරම සම්බන්ධ යම් යම් භූමිකාවන් ඉටු කරන බව අනාවරණය වී තිබේ.

වර්තමාන අධි පරිභෝජනවාදී සමාජයේ ප්‍රමුඛතම පරමාදර්ශයක් වන සුඛාස්වාදය මුල් කොට ඒ සඳහා වන ස්ත්‍රී වෙළෙඳ පලක් ස්වභාවිකව නිර්මාණය වී ඇති අතර එය අද වන විට ඉතා වේගයෙන් ව්‍යාප්ත සහ විවිධාංගීකරණයට ලක් වනු පෙනෙයි. මීට පෙර සවාභාවික සම්පත් ක්ෂයතාව නිසා අඟ හිඟකම් වලින් පිරී ගත් ග්‍රාමීය සමාජයෙන් විවිධ රැකියා අවස්ථා සඳහා නගරයට සංක්‍රමණය වූ කාන්තාවන් අතුරින් බරපතල සමාජ හා ආර්ථික පසු බෑමට ලක් වූවන් ගෙන් සැදුම්ලත් මෙම ස්ත්‍රී වෙළෙඳපලේ ස්වරූපය අද වන විට ඊට වඩා සංකීර්ණත්වයට පත්ව තිබේ.

මෙම සම්භාහන ආයතනවල ලිංගික ශ්‍රමය සපයන ඇතැම් කාන්තාවන් අර්ධ කාලීන වශයෙන් කටයුතු කරන්නියන් වන අතර ඔවුන්ගෙන් ඇතැමෙකු රූපලංකරණ කටයුතු ආදී තම මූලික නොවන අවශ්‍යතා සපුරා ගැනීම පිණිස මුදල් සෙවීම අරමුණු කර ගත් පොදු සමාජයේ සාමාන්‍ය ජීවිත ගත කරන්නියන් බවත් ඔවුන් ගෙන් තවත් කොටසක් වෙනයම් සම්මත වෘත්තීන් හි යෙදෙන්නියන් බවත් මේ වන විට අනාවරණය වී තිබේ.

ගණිකා වෘත්තිය වශයෙන් මූලිකව හැඳින්විය හැකි ලිංගික ශ්‍රමය සපයන කාන්තාවෝ ලොව සෑම සමාජයකම අඩු වැඩි වශයෙන් වෙසෙති. වෙනස ඇත්තේ එම සමාජ ආර්ථික පසුබිමට සාපේක්ෂව ඔවුන් ඒ වෘත්තියේ නියුක්ත වන ආකාරයේ පමණි. තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයන් ගේ කෑම, ඇදීම ආදී මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි කාන්තාවන් ගේ සිට හුදෙක් විවිධ සමාජමය ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම පිණිස සේම තම අධි කාමුකත්ව අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමේ අභිලාෂයෙන් යුතු කාන්තාවන් දක්වා මෙලෙස ලිංගික ශ්‍රම සැපයීමේ කාන්තා පරාසය පුළුල් ව තිබේ.

නමුත් අපේ රට මේ වන විට මුහුණ දී ඇති අතිශය බරපතල ආර්ථික අර්බුදය හමුවේ සමාජයේ සංවිධිත ධනෝපායන මාර්ග ජාලය බිඳ වැටෙන අතර ඒ සඳහා නීති සහ සදාචාර විරෝධී ක්‍රමෝපායන් හි උන්නතියක් ඇති වීම ඉතා ස්වභාවික තත්වයකි.එවන් පසුබිමක් යටතේ දැන උගත්කම බුද්ධිය සේම සම්මත සදාචාරය පදනම් කර ගත් කාන්තා වෘත්තීය පරාසය දෙදරවමින් මෙසේ “තෙරපි වරියන්” යන අසම්භාවිත නමින් හැඳින්වෙන අතරේ සෙසු කාන්තාවන්ට සාපේක්‍ෂව වැඩි ආදායම් ඉපැයිය හැකි ලිංගික ශ්‍රම සපයන්නියන් ගේ රැකියා පරාසය ඉදිරි කෙටි කාලය තුළ සමාජය පුරා ව්‍යාප්ත වීමේ පැහැදිලි නැඹුරුවක් දක්නට තිබේ.

එසේම ඊට එරෙහි නීතිමය සම්බාධක වේගවත් පසුබෑමකට ලක් වීමේ පැහැදිලි නඹුරුවක් ද මේ වන විට පෙන්නුම් කෙරෙමින් තිබේ. පසුගිය කාලයේ බරපතල සමාජ, ආර්ථික, සංස්කෘතික සෝදා පාළුවකට ලක්ව අද වන විට රුසියානු ප්‍රහාරයක් අබිමුවේ සිටින යුක්රේනය ගත වූ දශක කිහිපය තුළ ස්ත්‍රී වෙළඳාම සම්බන්ධයෙන් ලොව සෙසු බොහෝ රටවල් අබිබවා ගොස් ඇති රාජ්‍යයකි.

ලොව සෙසු සිය ගණනක් අබිබවා පසුගිය කාලය තුළ අප රට තුළ යුක්රේනය හා සබැඳි සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට අප රටේ බලධාරීන් මහත් උනන්දුවක් දැක්වීමත් ඩයනා ගමගේ සහ කෝකිලා ගුණවර්ධන වැනි පාර්ලිමේන්තු මන්ත්‍රී වරියන් පවා අප රටේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමත් ඉදිරියේ අපට අත්දැකීමට සිදුවන එම” තෙරපි වරියන් ගේ”නිර්බාධිත සමජ සම්ප්‍රාප්තියේ පෙරමඟ ලකුණු බව මගේ වැටහීම ය.

සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර (Viniwida)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan