*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ජාතික ජනබලවේගයෙහි (NPP) ඉදිරි අභියෝග ..! – රංජන සේනානායක

මේ වසර එළඹෙත්ම ලාංකීය දේශපාලනය වඩාත් උණුසුම් කරමින් මෙය මැතිවරණ වසරක් බවට පත්වූයෙන් සියළුම දේශපාලන පක්ෂ සහ සංවිධාන එළඹිය හැකි ඕනෑම මැතිවරණයකට සූදානම් වීම සඳහා ලක ලෑස්ති වෙමින් තම තමන්ගේ දේශපාලන සංවිධාන යාන්ත්‍රණයන් මුවහත් කරන අවස්ථාවක මේ මැතිවරණ සටන තුලදී මේ දක්වාම ඉදිරියෙන් සිටින, එසේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉතා විශ්වාසවන්ත ලෙසත් ඉතා ආකර්ශනීය ලෙසත් මෙහෙයවනු ලබන අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජනබලවේගය (NPP) හමුවේ ඇති ඉදිරි අභියෝග මොනවාද යන්න පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණවේ.

ඇත්ත වශයෙන්ම පසුගිය වසරේ සිටම ඉතා ආකර්ශනීය ලෙස ප්‍රචාරක යන්ත්‍රය පණගැන්වූ ජාතික ජනබලවේගය මේ වනවිට ඉතාම පැහැදිලිව ජනප්‍රියබවින් ඉදිරියෙන් සිටින බව පැහැදිලිය. එයට හේතුවී ඇත්තේ දැන් දැන් ජාතික ජනබලවේගය වටා ජන රැල්ලක් නොව ජන රැලි සුනාමියක් නිර්මාණය වී ඇතිබවිනි.

විශේෂයෙන් මේ මොහොත වනවිට ජාතික ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු ගෙන යාම එම බලවේගයේ කටයුත්තක් නොව එය ගම්වල සාමාන්‍ය ජනතාවගේ පොදු කටයුත්තක් බවට පත්ව ඇත. මේ ජනතා ආකර්ෂණය අනෙකුත් පක්ෂ සියල්ල අභිබවා ඉතා විශාල වශයෙන් රැලිපිට රැලි නගමින්ද, විපක්ෂය දැඩි අර්බුධයකට හෙලමින්ද ඉදිරියට ගලායන ආකාරය ඉතාමත් පැහැදිලිය.

ඉන්දියාව විසින් ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම් කරනු ඇරබුවේ මිහිදු හිමියන් දෙවනපෑතිස් සමයතුලදී ලංකාවට බුද්ධාගම ගෙනඒමටත් පෙරසිටමය. එබැවින් මේ දක්වාම ඔවුන්ගේ අතපෙවීම් දේශපාලනික. ඔවුන්ගේ RAW ඔත්තු සේවය මගින් ඉතාමත් නිවැරදිව ඊලඟ මැතිවරණවලදී මේ මොහොත වනවිට ඉදිරියෙන්ම සිටින්නේ NPP බව තහවුරු කරඇත. ඒ ඔවුන්ගේ තක්සේරුවයි. අනුර දිසානායකට ඉන්දියාවෙන් රාජ්‍ය තාන්ත්‍රික ඇරයුම් ලැබෙන්නේ ඒ අනුවය. එපමණක් නොව බටහිර තානාපතිවරුන් පවා මහත් ඕනෑ කමින් NPP නායකත්වය සමඟ සාකච්චා පවත්වන්නට පෙළඹෙන්නේද එබැවිනි.

මෙම ලිපිය ලියන මා 1994/95 කාලවලදී ජවිපෙ එක් මන්ත්‍රී වරයෙක් තේරී පත්වී තිබියදී මන්ත්‍රී ධූරය දැරූ නිහාල් ගලප්පත්ති සොයුරා මගින් බොහෝ තානාපතිවරු සමග සාකච්චා පැවැත්වීමට උත්සාහ දැරූ නමුත් අපට එකල ප්‍රතිචාරදැක්වූයේ කියුබානු තානාපතිනිය පමණි. චීන තානාපති වෙනුවෙන් එහි ලේකම්වරයා අපට දී තිබුනේ විනාඩි 10 ක් වැනි සුළු කාලයකි. ඒ සාකච්චාවේදීද අප සාකච්චාකල කරුණු එම ලේකම්වරයා එතරම් උනන්දුවකින් අසා සිටිබවක් නොපෙනුනි.

ඒ තත්වය හා අද සසඳන විට යුරෝපීය තානාපතිවරු පවා NPP නායකයින් හමුවීමට දක්වන උනන්දුව ගැන සැලකූවිටද මේ ජාතික ජනබලවේගය මේ තත්වයට ඔසවා තැබීම ගැන විශේෂයෙන් අනුර දිසානායක සහ හරිණි අමරසූරිය වැනි අයට එහි ප්‍රශංසාව හිමිවිය යුතුය. මක්නිසාදයත් 3% ක බලයක් සහිතව ඉතාම අඩු ජන ප්‍රසාදයක් පමණක් ලබාතිබූ ජවිපෙ, ජාතික ජනබලවේගය ලෙස රූපාන්තරනය කොට එමගින් බලය ලබාගැනීමේ ඉතාම ආසන්න අවස්ථාව දක්වා එම බලවේගය තල්ලුකරගෙන ඒමේ ක්‍රියාවලිය තුල ප්‍රමුඛ කාර්යභාරයක් කලේ ඔවුන් බැවිනි.

එහෙත් තවත් කෙනෙකුට තර්ක නගමින්, මෙය ඔවුන් විසින් ගොඩනැගූ බලයක් නොව ජනතාවට වෙනත් විකල්පයක් නැතිවූ අවස්තාවේදී ජනතාව විසින් ජාතික ජනබලවේගය තෝරාගත් බව පැවසිය හැකිය. එහෙත් ඒ අවස්ථාවේදීත් කීමට ඇත්තේ ජනතාවට වෙනත් විකල්ප නොමැතිවූ විට පවා ඔවුනට NPP එකගැන විශ්වාසයක් ඇතිකිරීමට එම නායකයින් 3% බලයක් ලැබූතැන් සිටම කටයුතු කර ගෙන ආ බවයි.

කෙසේ වෙතත් මේ ලිපියේ අරමුණ NPP ලබාගත් ජනප්‍රියභාවය ගැන විස්තරයක් කිරීමටනොව, ඔවුන් ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව යම් විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමටයි.

ජනතාවාදය

මෙයින් පළමු අභියෝගය ලෙස මටගෙනහැර දැක්විය හැක්කේ එය බලවේගයක් ලෙස මේවනවිටත් බලය ලබාගැනීමේ හැකියාව සම්පූර්ණ කරඇති මුත්, එමබලය ලැබුනු පසු ඒබලය පවත්වාගෙන යාමේ හැකියාව ඔවුන් හරියාකාරව හඳුනාගෙන නොමැති බවයි.

ලොවේ බොහෝ දේශපාලනය පිළිබඳ මනා දැක්මක් තිබූ විශාරදයින් පෙන්වා දෙනු ලැබූයේද, ප්‍රායෝගිකව දේශපාලකයින් අත්දුටු ප්‍රායෝගික බැරෑරුම් ගැටළුවක් වූයේද බලය ලබාගැනීමට වඩා බොහෝ දුෂ්කර වන්නේ ලබාගත් බලය පවත්වාගෙන යාම බවයි. එය ඉතා මෑතම උදාහරණයකින් පෙන්වාදෙන්නේ නම්, චන්ද ලක්ෂ 69ක් ලබාගෙන බලයට පැමිණි ගෝඨාභය රාජපක්ශ වසර දෙකක් වැනි කෙටිකාලයක් තුල ඔහු පත්කල ජනතාවම ඔහුව බලයෙන් ඉවත්කොට පළවාහැරියේ ඔහු තුල ලබාගත් බලය පවත්වාගෙන යාමේ නිශ්චිත ක්‍රමවේදයක් නොතිබීම නිසාමය.

එසේම මේ දක්වා අධික ජනතා ප්‍රසාදයක් සහ ජනරැළ්ලක් මගින් බලයට පැමිණි කංඩායම් හා නායකයින් සලකා බැලූවිටද ඔවුන්ගේ පාලන හැකියාවක් සහ පාලනයේදී අනුගමනය කල ක්‍රමවේදයන් ලැබූ ජනරැල්ලට සාපේක්ෂව ඉතාමත් දිළිදු මට්ටමේ විය. ඔවුන්ගෙන් රටට සෙතක් උනාට වඩා සිදුවූයේ රට ආර්ථික අර්බුදයේ පතුලට යන දිශාවට ගමන් කරමින් ඔවුන්ගේ හෙන්චයියන් ප්‍රමුඛ පාලක හෙජමොනිය ප්‍රකෝටිපතියන් බවට පත්වීමයි.

1956 දී UNP පක්ෂය ආසන 8 කට බස්සමින් පාලන බලය ලබාගත් බන්ඩාරනායක අතින් සිදුවූයේද රටේ අවුරුදු 30 ක ජනවාර්ගික යුද්ධයකට අඩිතාලම වැටීමයි. ඉන්පසු 1970 දී වාමාංශිකයින් සමග එක්සත් පෙරමුණකට එමින් සිරිමාවෝ බන්ඩාරනායක මහත්මියගේ රජය ජනසතුකිරීම් තුලින්ද රටේ විශාල කෑම හිඟයක් මවමින් රටට ආර්ථික දියුණුවක් ලබාදීම වෙනුවට රට දශක ගනනාවක් පසුපසට ගමන් ගන්වන ලදී.

ඒ අඩුපාඩු පෙන්වාදෙමින් 5/6 ක බලයක් ලබාගත් JR ජයවර්ධන ආන්ඩුව බලයට ආවේ ධාන්‍ය රාත්තල් 8 ක් ලබාදීමේ පොරොන්දුව සහ මහනුවර පැවති ඔවුන්ගේ අවසාන රැස්වීමේදී බලය ලබා දෙවසරකින් රන් යුගයක් බිහිකරන බවට පොරොන්දු වෙමිනි. එහෙත් ඔහුගේ 17 ත් වසරක පාලනයේදීද ඉතා සටකපට අයුරින් බලයේ සිටීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය කරමින් අතිවිශාල ණය කන්දරාවක් රටට ලබාගනිමින් විශාල ලෙස දූෂිත පාලනයක් ගෙනයන ලදී. කෙසේ වෙතත් ඔහු යම් යම් ධනේශ්වර ප්‍රතිසංස්කරණ රටේ ඇතිකිරීමට පුරෝගාමී වූවද 17 වසර තුල සැලකියයුතු වර්ධනයක් ඇතිවූයේ නැත.

ඉන් පසු චන්ද්‍රිකා මහත්මිය සූරියකන්දේ අතුරුදහන් වූවන්ගේ මිණී වලවල් හාරමින්ද, ධනේශ්වර ආර්තිකයට මානුශික මුහුණුවරක් දෙනබවට පවසමින් බලයට ආවද ඇය චෞර රැජිනක් ලෙස ඇය වටා සිටි හෙන්චයියන් රැසක් සහ ඥාතීන් සමූහයක් ගොඩදැමුවාය.

දෙවනවර මහින්ද රාජපක්ෂ පැමිණියේද අතිශය ජනතා ආකර්ෂණයක් ඇතුවය. රට බේරාගත් අප්පච්චීට යුතුකම් ඉටුකිරීමට චන්දපොලට ජනතාව එලිවෙන්නටත් පෙරසිටම ගියේ දුවමිනි. එසේ බලයට ගෙනා රාජපක්ශලා මුළු පවුලමත් ඔහුගේ හෙංචයියො සමූහයත් යුද්ධය විකුණාකමින් රටම උලාකෑවේය. ඉන් පසු ඔහුගේ සහෝදරයා වුනු ගෝඨාභය පත්කරගත්තේද අතිශය ජනතා ආකර්ශනයක් ඇතුවය. මේ සියළුම “ජනතාවාදයන්” මගින් බලයට පැමිණි සියළුම දේශපාලකයින් රට දිනෙන් දින ආගාධයට ගෙනගියා මිස ලංකාවේ ආර්තිකය ඉදිරියට ගෙනගියේ නැත.

එබැවින් මෙවර ජාතික ජනබලවේගය මතටද අතිවිශාල ජනතා ආකර්ෂණයක් ලැබී ඇත. අන්තෝනියෝ ග්‍රාම්ස්චි වැනි අය මේ ජනතාවාදය හඳුන්වන්නේ එක්තරා ෆැසිස්ට් තත්වයක් ලෙසයි. ඔහු ඊට උදාහරණ දෙමින් හිට්ලර් සහ මුසලෝනි වැනි ෆැසිස්ට් නායකයින්ද බලයට ආවේ අතිවිශාල ජනතා ආකර්ෂණයක් සහිතව බවත් ඉන්පසු බලය හෙබවූ මේ නායකයින් ඔවුන්ගේ ෆැසිස්වාදී පාලනය ජනතා ආකර්ෂණය තුලම පවත්වාගෙන ගිය බවත් අවසානයේ ඒ බව ජනතාවට ඒත්තු යනවිට ඉතා ප්‍රමාද බවත් පෙන්වා දෙයි.

එබැවින් මේ සියළු කරුණු ජාතික ජනබලවේගය හොඳින් අවබෝධ කොටගත යුතුය. තවමත් එවන් පළල් දැක්මක් NPP සමහර නායකයින්ට ඇතිවී හෝ ඇතිවන බවක්වත් පෙනෙන්නට නොමැත. ඔවුන් තවමත් තම විරුද්ධ වාදීන්ට වේදිකා දෙවනත් කරමින් බැන අඬ ගසන අතර බොහෝවිට ඉහළ නායකත්ව මංඩලය පවා වැඩිවේලාවක් ගතකරනුයේ අවලාදවලට පිළිතුරු දීමටය. එහෙත් ඔවුන් මේ තත්වය සාර්ථක ලෙස පසුකරගොස් ඇතිබවට ඔවුනට තවමත් අවබෝධ වී නොමැත. දැන් ඔවුන් ලබාගන්නා බලය කළමණාකරනය කරනා අයුරු සහ ඊට අවශ්‍ය යාන්ත්‍රණය සූදානම් කලයුතුය. එය පහසු අභියෝගයක් නොවේ.

විශාල කඳක් සහ කුඩා ඔළුවක් සහිත ව්‍යුහයක්

ජාතික ජනබලවේගය වෙත ඇති තවත් අභියෝගයක් නම් විශාල කඳක් සහිත කුඩා ඔළුවක් සහිත ව්‍යුහයක් ලෙස මෙය සැකසී තිබීමයි. ජාතික ජනබලවේගය වර්ධනය ගොඩනැගුනේද, වර්ධනය උනේද ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව ව්‍යුහය බේස් කොටගෙනය. මූලික අවස්ථාවේ සිටම මේ ජාතික ජනබලවේගය නිර්මාණය වීමේදී එය අද දක්වා වර්ධනය වීමේදීත් එය පෙනුමෙන් ජාතික ජනබලවේගය ලෙස විද්වතුන්, ආචාර්‍ය වරුන්, මධ්‍යම පාංතිකයන් ලෙසින් එය හැඩවූවද, එය පෙනුමෙන් එසේ හැඩරුව ගත්තද හරයෙන් එහි අරටුව සැදුම් ලද්දේ ජවිපෙ නායකත්වය මුල්කොට ගෙනය.

නමුත් ජවිපෙ නායකත්වයද අවස්ථා දෙකකදී විමල් වීරවංශ කණ්ඩායම සහ පෙරටුගාමීන් ලෙස බෙදී වෙන්වීමේදී මෙම නායකත්ව මංඩලය ගුණාත්මකවත්, ප්‍රමාණාත්මකවත් සිහින්වූ බව එතරම් රහසක් නොවේ. එවිට මේ සිහින්වූ නායකත්ව මංඩලය අරටුවලෙස ගෙන ජාතික ජනබලවේගය ඉදිවිණි. එය ඉතා හොඳ වැඩකි. එහි කිසිදු අවුලක් නැත.

නමුත් මේ නායකත්ව මංඩලය මත ගොඩනැගුනු ජාතික ජනබලවේගය තුලත් එය වර්ධනය වනවිට විවිධාකාර විද්වතුන් සහ මධ්‍යම පාංතිකයින් එහි විධායක සභාවලට පැමිණ නායකත්ව භූමිකාවලට වස්ත්‍රාභරන සලුපිලී ඇඳගෙන වේදිකාවල් පිරෙව්වද ඔවුන් අතර නායකත්ව පෞරුෂය සහිත දේශපාලණික සෙන්ස් එක තේරෙන දේශපාලණික නායකයින් ඇත්තේ එක්කෝ අතේ ඇඟිලි ගානටය, එසේත් නැත්නම් ඇත්තේම නැතිගානටය. ඉන්නවානම් ඒ සියලුම ජාතික ජන බලවේගයේ නායකයින් එහෙයියන් මිස සැබෑ පෞරුෂයක් ඇති නායකයින් බවක් පෙනෙන්නට නොමැත. ඇත්තටම බොහෝවිට ඇත්තේ විශ්‍රාමගිය උපාධිධාරී සෙට් එකක් සහ විශ්‍රාම ගිය හමුදා සෙට් එකකි.

ගෝඨාභය ඉහල තනතුරු වලට එබුවේද මේ විශ්‍රාමික හමුදා නිලධාරීන් වූවද ඔවුනට සිවිල් ආයතන පාලනය කිරීමට මෙලෝ දැනුමක් නොතිබිනි. එහෙත් බලය ලබාගැනීමට මෙය කිසිදු ගැටළුවක් නොවනමුත් ලබාගන්නා බලය පවත්වාගෙන යාම සඳහා තීන්දු තීරන ගැනීමේදී එය විශාල අභියෝගයක් වෙනුඇත. ගෝඨාභය පාලනය තුලදීද ඔහුට හිටියේ නගුට වනනා එහෙයියන් හෙන්චයියන් පමණි. එවිට ඉහලින් ගනුලබන ඕනෑම තීරණයක් දොහොත් මුදුන් දී අනුමත කල අතර විනාශය නහයට උඩින් යනතුරුම ඒවා පෙන්වාදීමට ඔවුන්තුල නායකත්ව පෞරුෂයක් සහිත දේශපාලන සෙන්ස් ඇති නායකයින් සිටියේ නැත. එක්කෝ හිටපු අය නිහඩ කොට හෙන්චයියන් ඉහලට පැමින තිබිනි.

එමෙන්ම රනිල් විසින් ජනාධිපතිවරණය වෙනුවට මහාමැතිවරණයක් මුලින් ලබාදුනහොත් මේ NPP හි නායකත්වය හිඟය හොඳින් පෙනෙනු ඇත. එබැවින් මේ අභියෝගය ජාතික ජනබලවේගය හොඳින් අවබෝධ කොටගත යුතු කරුණක් ලෙස දැක්විය යුතුය. වහාම ඔවුන් දේශපාලන සෙන්ස් ඇති දක්ෂ සංවිධායකයින් සොයාගත යුතුව ඇත.

වැඩපිලිවෙල සඳහා යම් නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිවීම

NPP වෙත ඇති තවත් එක අභියෝගයක් නම්, ඔවුන්ගේ වැඩපිලිවෙල සඳහා යම් නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිවීමයි. එසේම ඔවුන්ගේ යම් යම් ප්‍රකාශ පවා ටිකදිනකින් සමාජ මාධ්‍යවල ඇතිවන ප්‍රතිචාර අනුව වෙනස් කරගැනීමට පෙළඹීමයි.

ජවිපෙ ඉහල මට්ටමේ සහෝදරියක් විසින් ප්‍රකාශ කලපරිදි ඔවුන් බලයට පැමිණි පසු ගණිකා වෘත්තිය නීතිගත කරන බව පැවසූ නමුත් ඊට පසු ඒගැන සමාජ මාධ්‍ය වල නැගුනු සුළු විරෝධයක් හමුවේ වහාම ඒ ප්‍රකාශය සැරබාල කර ගන්නා ආකාරයේ ප්‍රකාශයක් නැවත කියවිනි. මේ එක් උදාහරණයක් පමණි. තවත් විටෙක IMF යන බව හෝ නොයන බව ඔවුන්ගේ ප්‍රකාශණයන් තුලින් හරිහැටි පැහැදිලි නොවේ.

එමෙන්ම පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ද පැහැදිලි කථාවක් ඔවුන්ගෙන් කියවෙන්නේ නැත. අනුර කුමාර ඉන්දියාවේ අමුල් සමාගමේ සංචාරය කරනවිට නාමල් කරුණාරත්න අමුල් සමාගම පට්ට ගසයි. ඇත්තටම අමුල් කිරි කර්මාන්තය 1940 ගනන්වල සිට පටෙල් නැමැත්තාගෙන් ඇරඹී අදඑය ගොවියන් මිලියන 4 ක පමන දෙනාගේ හිමිකාරිත්වය ඇතුව කෙරෙන ඉතා දියුනු කර්මාන්තයකි. එබැවින් ලංකාවේ කිරි කර්මාන්තය ගෝලීය මට්ටමට දියුනු කිරීමට අමූල් සමාගමේ කිරිගොවියන් මිලියන 4 ක පමන හිමිකාරිත්වය දරන සමාගමක් සමග එක්වීමේ ඇති වරද කුමක්ද? ඇරත් ලංකාවේ කිරි කර්මාන්තය දැන්ලාභ ලබනවා කීවද ඉදිරි ලෝක තත්වය මත ගෝලීයව තරඟ කලහැකි කිරිකර්මාන්තයක් නොමැතිව ලංකාවේ කිරි කර්මාන්තය පවත්වාගෙන යාමටද නොහැකි තත්වයක් ඇතිවන බව නොරහසකි. එසේම ලෝකයේ කිරි කර්මාන්තයන් තුල අද විශාල ලෙස ඉල්ලුමක් ඇතිවී ඇති කිරි තාක්ෂණිකයින්ගේ රැකියා ඉල්ලුමට අවශ්‍ය පුහුනු ශ්‍රමිකයින් ඇතිකිරීමටද මේ අමූල් සමාගමේ සහයෝගය ගැනීම ඉතාම හොඳය. මේ කරුණුටික හරියට ජනතාව ඉදිරියේ නොතැබීමෙන් ජාතික ජනබලවේගයේ නායකයින් එය මගහැර ගියා පමණක් නොව,වෙන වෙන කථා කීමෙන් එය විරුද්ධ වාදීන්ට වාසිදායක ව ඒවා මෙහෙයවීමට හැකි තත්වයක්ද නිර්මානයවී අමූල් සමාගමට ලංකාවම විකිණීමට යන විදියේ මතවාද දියත්වීය.

ජාතික ජනබලවේගය ඉදිරියේ බලය ලබාගත්විට ඔවුන් ගෙනයන වැඩපිලිවෙලවල් වලට බොහෝ බාධක ඇතිවිය හැක. එබැවින් ජනවරම ස්ථිර බැවින් ඔවුන්ගේ වැඩපිලිවෙල පැහැදිලිකිරීම බලය ලැබූපසු ඒවා කරගෙන යාමට ඉතා පහසු වනු ඇත.

ඇත්තෙන්ම ජාතික ජනබලවේගය බලයට පැමිණි පසු කිරීමට සිදුවන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මිස වෙනත් යමක් නොවේ. මක්නිසාදයත් ලංකාවට දැන් ඉතා අවශ්‍යව ඇත්තේ මේ ආර්තික අර්බුධයෙන් ගොඩඒමටනම් ධනේශ්වර ප්‍රතිසංස්කරණ හැකිපමණින් ගෙනඒමයි. ඒගැන කෙලින් ප්‍රකාශකොට ඒවා ක්‍රියාත්මක කරන ආකාරය ඔවුනට විස්තරකිරීමට දැන් හැකියාවක් තිබියයුතුය. ඒ වගේම පෞද්ගලීකරණය සහ IMF යාමත් තවත් රටවලින් ණය ආධාර ලබාගන්නා බවත් ජනතාව ඉදිරියේ ප්‍රකාශකිරීමට බියවීමට කාරණාවක් දැන් තිබිය යුතු නැත. ඒ සඳහා NPP නායකත්වයේද කුකුසක් තිබිය යුතු නැත.

NPP රජයකට එරෙහිව සියළුම විපක්ෂ කංඩායම් එක්වීම..

බලය ලබාගත්පසු NPP වෙත ඇති තවත් ප්‍රධාන අභියෝගයක් නම් NPP රජයකට එරෙහිව සියළුම විපක්ෂ කංඩායම් එක්වී සේවක පඩි වැඩිකිරීම්, අධ්‍යාපනය සඳහා 6% ක් වෙන්කරන ලෙස ඉල්ලීම්, පැන්ෂන් දීමනා වැඩිකරනලෙස ඉල්ලීම්, ඒ ඒ පාලන කාලයන් තුලදී සිදුකෙරුනු දේශපාලන ඝාතන සෙවීම් ආදි මෙකී නොකී විශාල ඉල්ලීම් ගණනාවක් ඉදිරියට දමමින් කෙරෙනා උද්ඝෝෂණයි.

තවමත් රාජපක්ශලා ගේ මෙන්ම සජිත්ගේත් වාමාංශිකයින්ගේත් විශාල වශයෙන් වෘත්තීය සමිති සහ ගුරු සංගම්, ගොවි සංවිධාන ගණනාවක් ශක්තිමත්ව ඇති හෙයින් මේ සියල්ලම එක්ව වැඩවර්ජන මගින් විශාල බාධාවන් NPP රජයක් වෙත රජයක් පත්වූ විගසම වාගේ සිට ඇතිවිය හැකිය. මේ තත්වයද අළුත පත්වන රජයකට ඔරොත්තු නොදෙන තරමේ තත්වයක් ඇතිවිය හැකි අතර එහිදී NPP රජයක් යටතේද මර්ධනය විසඳුම ලෙස ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට ඉඩඇත. එය ඉතාමත් අනුවන ක්‍රියාවක් බවත් ජනතා කැමැත්ත දෙන්නේ පාලනයට මිස මර්ධනයට නොවන බව NPP ය වටහා ගත යුතුය.

තවත් එක අභියෝගයක් NPP රජයකට ඇතිබව මතක් කොට තැබිය යුතුය. රාජපක්ශලා විසින් වාසුලා, මුරුත්තෙට්ටුවේගම සාදුලා, විමල්ලා සහ කොමියුනිස්ට් පක්ෂය පවා රාජපක්ශලා සමඟ සන්ධානයක් තුල තබාගත්තේ ඔවුනට චන්ද නැතිබව දන්නා නමුත් ඔවුනට වෘත්තීය සමිති වලින් රජයට කලහැකි බලපෑම වටහාගෙනය. එබැවින් ජාතික ජනබලවේගය රජයක් පිහිටුවීමේදී කඳුරට දේශපාලන පක්ෂ, උතුරේ දේශපාලන පක්ෂ, කොමියුනිස්ට් පක්ෂ, සහ ඩලස් ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂවල තීරණාත්මක කොටස් නිහඬව තබාගැනීමේ උපක්‍රමයක් ලෙස ඔවුන්ව රජයේ කොටස් ලෙස තබාගැනීමේ උපක්‍රමයකට යායුතුය. තමන් තනි පිරිසිදු රජයක් හදන බව කීවද මෙකී විපක්ෂ කොටස් වලට බලය පවත්වාගෙන යාමේදී විශාල අභියෝග ඇතිකිරීමේ හැකියාවක් ඇතිබව ජාතික ජනබලවේගය වටහාගත යුතුය.

මක්නිසාද යත් ජනතාව මේ මහා රැළිමගින් ජාතික ජනබලවේගය වෙත පැමිණ ඇත්තේ ඔවුන් බලයට පැමිණිවිට හැකිවිගස මහා සහනයක් ජනතාවට අත්කරදේවි යැයි වූ බලාපොරොත්තුවෙනි. අනිත් අතට ජාතික ජනබලවේගය දිගින් දිගට පැවසුවේද වසර 5 ක් ඇතුලත රට ගොඩගන්නා බවයි. ඒවා ක්‍රියාත්මක කිරීමට අපහසුවන පළමු පැයේදීම හමන ලද ජනතා රැළි නැවත සුනාමියක් ලෙස ඊට එරෙහිව හමාඒමටද ඉඩඇතිබව ගෝඨාභය ජනාධිපති වරයාට සිදුවූ දෙයින් අවබෝධ කොටගත යුතුය.

මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක්….

මේ ලිපිය හමාර කිරීමට ප්‍රථමයෙන් තවත් එක් විශේෂිත අභියෝගයක් NPP රජයකට මුහුණදීමට ඉඩතිබිය හැකිබව මතක්කර දියයුතුය.

අනුර කුමාර ප්‍රමුඛ කංඩායම ඉන්දියාවේ සංචාරය කරන ලද කාලය තුලදී ඉන්දීය මාධ්‍ය වල ප්‍රකාශකලේ ලංකාවේ ඉදිරි මැතිවරණයකදී මේ මොහොතේ වඩාත්ම ජනප්‍රිය අපේක්ශකයා අනුර කුමාර බවත් ඔහු නියෝජනය කරන්නේ “මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක්” බවත්‍ ය.

මේ අනුර නියෝජනය කරන්නේ මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක් බවට ඔවුන් අමතක නොකර පවසා සිටීමේ එක් අභියෝගාත්මක පැත්තක් මතුකර පෙන්වීමට කැමැත්තෙමි. යුරෝපය තුලදී යුරෝපා සංගමයේ රටක එනම් ග්‍රීසියේදී සමාජවාදී පක්ෂයක් බලයට පැමිණි විටදී යුරෝපා බලවතුන් කලේ එකහෙලාම තමන්ගෙන් ග්‍රීසිය ලබාගත් ණය ගෙවනලෙස දැනුම් දීමයි. වරායවල් පවා ජනසතු කරන බව පවසා බලයට පැමිණි ග්‍රීසියේ “සයිරීසා” රජය මේ අභියෝගය ජයගත නොහැකිවිය. මේ මගින් යුරෝපයේ බලවතුන් ග්‍රීසියේ සමාජවාදී රජය උස්සා පොළොවේ ගැසූ අතර අවසානයේ සයිරීසා කංඩායමද දෙකඩවිය. ඒ මගින් යුරෝපා බලවතුන් යුරෝපය තුල සමාජවාදී රජයක් පිහිටුවීමට ඉඩ නොදෙන බවට පැහැදිලි පණිවිඩයක් එයින් ලබාදෙන ලදී.

ලතින් ඇමරිකාව තුල වෙනිසියුලාව කියුබාව අනුව යමින් සමාජවාදී වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය සඳහා කල ආයෝජන නවතා දමමින්ද, විපක්ෂ කංඩායම් වෙනිසියුලානු රජයට විරුද්ධව යොදාගනිමින්ද වෙනිසියුලාවේ සමාජවාදී වැඩපිලිවෙලවල් වලට දැඩි බාධා එල්ලකරන ලදී. එහිදී ලතින් ඇමරිකාව තුලද සමාජවාදී වැඩපිලිවෙලක් ගෙනයාමට එන කොයි රටකටත් අත්කරන ඉරණම මහා බලවතුන් එහිදී පෙන්වාදෙන ලදී.

දැන් ආසියාව තුලදී සමාජවාදී පාලනයක් ලංකාවේ NPP රජයක් ගෙනඑන්නේනම්, එයද උස්සා පොළොවේ ගැසීමට මහා බලවතුන් පසුබට නොවේ. විශේෂයෙන් මෙවැනි ආර්තික බංකොලොත් භාවයක් තුලදී සමාජවාදී වැඩපිලිවෙලවල් ගෙනඒමට NPP රජයකට මොලේ අමාරුවක් ඇතැයි නොසිතන නමුත් මේ NPP තුල සිටිනා පැරණි ජවිපෙ අරටුව මේගැන මනා අවබෝධයක් ඇතිව පාලනයට හවුල් වියයුතුය. මක්නිසාදයත් හරිණි සහ අනුර කුමාර වැන්නන් මහත් වෑයමින් ගොඩනැගූ මේ බලවේගය රජයක් ලබාගැනීමේදී තමන්ගේ අරටු බැසගත් න්‍යායපත්‍රයන් වන සමාජවාදී වැඩපිලිවෙලවල් නොව ධනේශ්වර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට වගබලාගත යුතුය. නොඑසේනම් ඊට මුහුණපෑමට සිදුවන ප්‍රතිපල ඉතා බැරෑරුම් වනුඇත.

එසේම NPP රජයක් පිහිටුවා කෙටිකලකින් එය අසාර්ථක වුවහොත් මුළු ප්‍රගතිශීලි කඳවුරේම දශක ගණනාවක අවසානය එයබැව් NPP නායකයින් අවබෝධ කොටගතයුතුය.

එබැවින් ජාතික ජනබලවේගය මේවනවිට ලබාඇති ජනප්‍රිය තාවයතුලදී ඉදිරියේ බලය ලබාගත්විට මේ ඉහත දක්වා ඇති අභියෝග ඔවුනට ජයගැනීමට හැකිවෙනු ඇතැයි මම විශ්වාසය පළකරමි.

රංජන සේනානායක
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අධ්‍යයන කවය)
” 89- සහෝදරත්වය”
[email protected]

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan