තුට්ටු දෙකට වී විකුණන්න එපා. වේළලා රජයේ ගබඩාවලට ගෙනත් දෙන්න – ඇමති නාමල් ගොවීන්ට කියයි

0
2

සටහන – රුවන් නෙළුගොල්ල

වී අස්වනු මිලදී ගැනීම රජය ආරම්භ කර ඇති අතර වී සඳහා හොඳ මිලක් ලැබී ඇති හෙයින් ගොවීන් ඒ පිළිබඳව සතුටින් සිටින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“ඇත්තටම වී මිලදී ගැනීමේ ක්‍රමවේදය රජය ආරම්භ කරලා තියෙනවා. ගොවියාට හොඳ මිලක් වීවලට ලබාදීලා තියෙනවා රුපියල් 120, 130, 140 විදියට. ගොවියො මේක පිළිබඳව සතුටුයි. නමුත් මේ අස්වනු නෙළන වෙලාවේ හදිසියේ කඩාවැටුණු වර්ෂාවත් එක්ක ගොවීන් යම්කිසි අපහසුතාවන්ට පත්වුණා. ඒ ගොවීන්ගෙ ගැටලුව පිළිබඳ අපට හොඳ අදහසක් තිබෙනවා. ඒ ගොවියො පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා. වගා හානි වෙච්ච ගොවීන්ට වන්දි ලබාදීලා තියෙනවා. වන්දි ලැබිච්ච නැති ගොවියෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට මුදල් මේ වෙනකොට නිදහස් වෙලා තියෙනවා”

ප්‍රශ්නය – ගොවීන්ගෙ ප්‍රධාන චෝදනාවක් වෙන්නෙ තෙත වීවලට රජය මිලක් නියම කරලා නෑ කියන එකයි ..?

“තෙත වීවලට කලින් නියම කරපු මිලක් තියෙනවා. ඒක තමයි මිල. ඉතින් රජයට තෙත වී ගන්න ක්‍රමවේදයක් නෑ. නීතිමය ප්‍රතිපාදනයකුත් නෑ. රජයට ගන්න තියෙන්නෙ ප්‍රමිතිගත වී. එතනින් එහා පැත්තෙ වී රජයට ගන්න ක්‍රමවේදයක් නෑ. නමුත් අපි ඒ ක්‍රමවේදයටත් මේ වෙනකොට අතගහමින් තිබෙනවා ප්‍රමිතිගත වී නිෂ්පාදනය කිරීමට අදාළව. වී වේළීඒ යන්ත්‍ර සවිකිරීමේ කටයුතුවලට අපි මේ වෙනකොට තැන්තැන්වලින් අතගහලා තිබෙනවා. ඉදිරියේදී ගොවීන්ගෙ ඒ ගැටලුවටත් උත්තරයක් සපයන්න අපි සූදානම්. මේ වෙනකොටත් විශේෂයෙන්ම පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන, වී වේළන යන්ත්‍ර සම්බන්ධ කරලා ගොවීන්ට යම්කිසි සාධනීය උත්තරයක් ලබාදෙන්න අපි මහන්සි වෙමින් ඉන්නවා. කොහොම වුණත් දැන් මේ වර්ෂාව තුරල් වෙමින් යනවා. අපි ගොවීන්ගෙන් ඉල්ලනවා, ඔබේ වී තුට්ටු දෙකට දෙන්න එපා. ළඟම රජයේ ගබඩාවකට ඔබේ වී ටික අදාළ ප්‍රමිතියෙන් සකස් කරලා ලබාදෙන්න කියන ඉල්ලීම අපි කරනවා. පහුගිය කාලෙ වී ගත්තෙම නෑ ආණ්ඩුව. ගබඩා වහලා තිබුණෙ. ගොවියාට හොඳ මිලක් තිබුණෙ නෑ. හැබැයි දැන් අපි ගබඩා ඇරලා තියෙනවා. ඊටපස්සෙ හොඳ මිලක් දීලා තියෙනවා. තව පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා, ඒවාත් අපි ඉදිරියේදී ක්‍රමානුකූලව විසඳනවා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.