සිව් වසරක ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් තුලින් කොළොන්නාවේ ගං වතුර පාලනයට පියවර!

0
3

කොළඹ LNW:කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජල ගැලිම්වලට ලක්වන ප්‍රදේශ ජල ගැලීම්වලින් ආරක්ෂා කිරිම සදහා, සිවු අවුරුදු විශේෂ ව්‍යාපෘතියක්, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරිමේ සංස්ථාව මගින් ආරම්භ කර තිබේ.

මේ යටතේ සැලසුම් කර ඇති කොළොන්නාව – වැසි ජල අපවහන සහ පරිසරය වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය මනා ආයතනික සම්බන්ධිකරණයක් සහිතව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහ මහජන දැනුවත්භාවය සදහා සංවිධානය කරන ලද ගංවතුර පාලන සැලැස්ම පිළිබද විශේෂ සාකච්ජාවක් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වය‌ෙන් රාජගිරිය – ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථා ශ්‍රවණාගරයේදී ඊයේ ( 26 ) පවත්වා තිබුණි.

වැසි ජලය මෙන්ම, වැසි ජලය හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්වයෙන් නිරන්තර බලපැමට ලක්වන ප්‍රදේශ වලට තිරසර විසදුම් ලබා දිමට 2018 වසරේ ගංවතුර පාලන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණු නමුත් මුල්‍ය අර්බුද, රාජ්‍ය ආයතන අතර පැවති අවම සම්බන්ධීකරණය සහ ව්‍යාපෘතිවල අසාර්ථක බව ඇතුළු විවිධ හේතු මුල් කර ගෙන එම ව්‍යාපෘතියෙන් අපේක්ෂි ප්‍රතිඵල නොලැබී අවම ක්‍රියාකාරිත්වයේ පැවතිණ.

2018 වසරේ ආරම්භ කළ ව්‍යාපෘතියේ දෝෂ සහිත හා ප්‍රතිලාභ අවම සැලසුම් සංශෝධනය කර, බහු විධ ප්‍රතිලාභ සැලසෙන නව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත.

අධික නාගරීකරණය, අධික ජනඝනත්වයක් සහිතව විවිධ ව්‍යාපාරික ස්ථාන, රාජ්‍ය ආයතන පවත්වාගෙන යන කොළඹ අගනගරයට ඉතා නුදුරු වානිජ වටිනාකම් ඉහළ කොලොන්නාව සංවර්ධනයට විශාල බාධාවක්ව පවතින නිරන්තර ගංවතුර අවධානමට ස්ථිර, දිගු කාලීන විසදුම් ලබා දීමට මෙම ජාතික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

කොලොන්නාව ආසනයේ ග්‍රාම සේවා වසම් 46න් ගංවතුරින් ආනාරක්ෂිත ලෙස හදුනාගෙන ඇති ග්‍රාම සේවා වසම් 35ක් ඇතුලත්ව ගංවතුර නිවාරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මේ සදහා රු. මිලියන 10,000ක , මුල්‍ය ප්‍රතිලාභ වෙන්කිරිමට අපේක්ෂිතයි.

හදුනාගත් පෝෂක ප්‍රදේශ වර්ග කිලෝමීටර් 17ක වපසරියක් ගංවතුර පාලනයට අන්තර්ගත වන අතර ගංවතුරින් බලපැමට ලක්වන පවුල් 40,000ක් ව්‍යාපෘතියේ සෘජු ප්‍රතිලාභින් වෙති. ගංවතුර තත්ත්ව වර්ගිකරණයන්ට අනුව සුළු ගංවතුරත්, මහ ගංවතුර තත්වයටත් ලක්වන ජනතාවට ස්ථිර විසදුම් නොඅඩුව ලබා ගත හැකි පරිදි මහජන අදහස්, සැලකිල්ලට ගෙන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට එම සාකච්ජාවේදී තීරණය විය.

ගංවතුර පාලන ව්‍යාපෘතිය යටතේ ජලපාලන ගේට්ටු පද්ධති නවීකරණයක්, ජල රැදවුම් පොකුණු ස්ථාන ගත කිරීමක් ,ජල රැදවුම් ප්‍රදේශ සංරක්ෂණය කරමින් ඒ අශ්‍රිත අවිධිමත් ඉදිකිරීම් ඉවත් කිරීමත්, පහත් බිම්, වගුරු බිම් සංරක්ෂණයත්,ඇල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණයත්, ජල මාර්ගවලට කැලි කසළ බැහැර කිරීම නතර කිරීමත්, කාණු පද්ධති පුළුල් කිරීමත් සිදු කරමින් ජලාපවාහන රටාව විධිමත් කිරීමට කටයුතු මේ යටතේ කටයුතු කෙරේ.

ව්‍යාපෘතිය යටතේ දඬුතොට ඇල, චිත්තම්පහුව ඇල, සැලළිහිණි මාවත ඇල, දහම්වෙල ඇල, පස්වැන්න ඇල ප්‍රතිසංස්කරණයට යෝජනා වී ඇත. එමෙන්ම තුප්පාවල, කොටිකාවත්ත, බැලගම, ප්‍රදේශවල ජලරැදවුම් තටාක ඉදිකිරීමත් සැලසුම් කෙරේ. එමෙන්ම ගුරුත්වාකර්ෂණයට අනුව කැලණි ගගට ජලදහරා අවශෝෂණයට සුදුසු පරිදි පරිසර පද්ධතියට සංරක්ෂණයට පියවර ගැනේ.

කොලොන්නාව ගංවතුරට විශාල වශයෙන් බලපෑම් ඒල්ල කර ඇති අනවසර ඉදිකිරීම් සහ අනවසර ගොඩකිරීම් පිළිබද තොරතුරු 0112885357 සහ 0714563534 අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.