ප්‍රවීන ගේය පද රචකයෙකු, කවියෙකු, නවකතා කරුවෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු වූ අජන්තා රණසිංහයන්ගේ හත්වන ගුණානුස්මරණය අද (27)වන දිනට යෙදී තිබේ.
සිය නිසඟ නිර්මාණ කුසලතා සුජාත සුභාවිත ගීතයක් උදෙසා නොකෙලෙස්ව කැප කළ අජන්තා රණසිංහයන් 1940 මැයි මස 30වන දින කුරුණෑගල පන්නල තලම්මහර ග්‍රාමයේ උපත ලැබීය.
සිය මූලික අධ්‍යාපනය නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හැදෑරූ අතර පාසල් අධ්‍යාපනය කරගෙන යන අවධියේම සිය නිර්මාණ දිවිය ආරම්භ කරමින් සිළුමිණ හා ලංකාදීපය වෙනුවෙන් නිරන්තර ලිපි සපයන්නෙකු වූ අජන්තා රණසිංහයන් ලෙක් හවුස් ආයතනයට සම්බන්ධ වීමත් සමඟ මාණ්ඩලිය වාර්තාකරුවකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹීය. ඒ තුළ තීරු ලිපි රචනය ප්‍රාදේශීය පුවත් සංස්කරණය මෙන්ම කවි පිටු නිර්මාණයේන්ද ඔහු දක්වා ඇතිතේ සුවිශේෂ දක්ෂතාවයකි. අවසානයේ ඔහු නවයුගය පුවත්පත් සංස්කාරක ධුරයට පත් විය.
නවකතා හා කෙටිකතාව කෙරේද සංවේදී වූ අජන්තා රණසිංහයන් සිය මුද්‍රාවන්ද ඒ මත තැබීය. වින්කල් බාස්, ක්‍රිස්තුනි කරුණාකළ මැනව, සිහින කුමරු හා ඔි තොමෝ ආදී අගනා ශෛලියකින් ලියැවුණ නවකතා ඔහු විසින් රචනා කරනු ලැබුවද ඔහු ඒ තුළ නිසි ඇගයීමකට පාත්‍ර නොවීය. සෝපාකලා, උඩු වියනක් සේ හිරු රැස් දෝතක්, පහන් දොරින් ආදී ගීත පොත් ගණනාවක් ද ඔහු විසින් ගියා ඇත.
කෙසේ නමුත් බහුවිධ කලා මාධ්‍යන් වෙත සිය කුසලතා සම්පන්න දායකත්වය සැපයූ අජන්තා රණසිංහයන්ගේ ආත්මය රැඳී තිබුණේ සිංහල සුභාවිත ගී කෙත වෙනුවෙනි.
පතිකුලයට මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ …. ආදර සැමරුම් ප්‍රේමපුරාණේ ඔබට විරහා ගිණි නොගෙනේවා …..
ජීවිතයේ ආදරය පිළිබඳ මේ තරම් රම්‍ය ලෙස සලකා බැලූ ගීපද රචකයෙකු සිටීද යන්න පිලිබඳව නැවත සිතීමට තුඩු දේ. මට අමතක නෑ ඔබට මතක නෑ… සොක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා ඈගෙ නිලුපුල් දෑසෙ කඳුලැල් ජීවිතේ මතු වාසනා …. අපව රිද්දන්නට හඬවන්නට විප්‍රලම්බ ශුංගාරයෙන් අප මුසපත් කරන්නට අජන්තාට හැකිය.
සරළ ගීයෙන්, වේදිකාවෙන්, ගුවන් විදුලියෙන් මෙන් ම චිත්‍රපටයෙන් දිග හැරෙන ඔහුටම අනන්‍ය සරළ සුගම ගී රැස සරස්වතී මණුඩපයෙන් හා ප්‍රබුද්ධ ගී වැඩ සටහන් මඟින් ආභාෂය ලබමින් නිර්මාණය වූ ඒවා විය. ගුවන්විදුලියට සම්බන්ධ වීමත් සමඟ අමරදේව, නන්දා මාලිනී, ලතා වල්පොල, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, සිසිර සේනාරත්න, එඩ්වර්ඩ් ජයකොඩි, අබේවර්ධන බාලසූරිය, එච්. ආර්. ජෝතිපාල, නීලා විත්‍රමසිංහ, රූකාන්ත ගුණතිලත, සමිතා මුදුන්කොටුව ආදී විශිෂ්ට ශ්‍රේණියේ ගායක ගායිකාවන් මෙන්ම නවක නිර්මාණ වේදීන් ද සුපොෂණය කළ ඔහු යුග යුග ගැයෙන ගී නිර්මාණාවලියක නිහතමානී හිමිකරුවකු බවට පත් වීමට භාග්‍යසම්පන්න විය.
හීන් සැරේ ඔබ ආවා ආවා ……
අජන්තා රණසිංහයන් රචනා කරන ලද ගීතාවලිය දෙස බැලීමේදී මිනිසෙකුට මෙතරම් වචන හරඹයක් කළ හැකිදැයි යන්න පවා සිතෙන තරම්ය. වාසනා චිත්‍රපයෙන් අරඹෙන ඔහුගේ චිත්‍රපට ගී පබැදුම වසන්තයේ දවසක්, චංචල රේඛා, ඈතින් ඈතට, අම්මේ ඔබ නිසා ආදී චිත්‍රපට 60ක් වෙනුවෙන් ඔහු ලියන ලද ගීත සංඛ්‍යාව දස දහස් ගණනක් වූ ගීත එකිනෙකට වෙනස්තම මානවවාදී දෘෂ්ටියක් හරහා විවිධත්වයෙන් නිර්මාණ කිරීමට ඔහු සමත්විය. ඔහු දෙවරක්ම හොඳම ගීත රචකයාට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර තවත් අවස්ථා ගණනාවකදී සාහිත්‍ය සම්මානයට ද පාත්‍ර විය.
දවසක් තියේවි, දුව මා වගේ, හිංදි වදන්, කිරිසුදු සේලේ, මගේ දිනපොතේ, මිදුලේ අතන නංගෝ, පාළු සුසානේ, පෙමාතුර හඟුම්, රුවන් වලා විමානේ, සැළලිහිණියේ නුඹ දන්නෙ නෑ ,සිලි සිලි සීතල ඇල්ලේ, යාළුවේ සිතින් හඬන්නෙපා, වීදි කොනේ, පාරමී දම් පුරමු අප දෙදෙනා, පෙම් රජදහනේ, දේදුන්නෙන් එන සමනලුනේ, රන් කෙන්දෙන් බැඳ, විකසිත පෙම්, පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට මේ, සිරිමහ බෝමැඩ, ආශා නිරාශා මැවූ, මල්ලියකම් රැඳි, රෑ පැලි රකින, මංගල මල්දම පතා හිඳිමි මම ,රෑ දෙලොස් පැයේ, මල් පොකුරු පොකුරු, පෙමාතුර හැඟුම්, ආදර සැමරුම්, සංගීත මඬලේ, කල්පනා ලොව මල්වනේ, මුව මුක්තා ලතා, නින්ද නේන රාත්‍රියේ, දරුවෝ නැති අම්මාලා, හීන්සැරේ ඔබ ආවා ආවා මාග ගිරාගෙන් මාල , දේදුන්නෙන් එන සමනලුනේ, මේ අයුරින් අපි සංසාරේ, ආදර සැමරුම්, තරු අරුන්දතී ආදී ආත්මීය ගී රැසක් කලා කෙතට දායාද කළ අප්‍රතිහත කලා කරුවකි.
හිරු සඳු එකවර දෙපස නැගේ කළුවර ඇයි විජිතයම මගේ ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ …… රන් කෙන්දෙන්
ලිවිීමෙන් කියවීමෙන් දේශීය හා විදේශීය සාහිත්‍ය රස විඳිමෙන් අජනාතා රණසිංහයන් විසින් වඩවාගනු ලැබූ සිය ප්‍රතිභාව හේතුවෙන් චිත්‍රපට විචිත්‍ර සංකල්පනා ගීතයට අවශ්‍ය ප්‍රසාද ගුණය රැක ගනිමින් ඔහු ශූර ලෙස ඉදිරිපත් කරයි. ඔහු සම්භාව්‍ය භාෂාවේ එන යෙදුම් වඩාත් සරලව සිය නිර්මාණතුලට එකතුකරගනු දක්නට ලැබෙයි.
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි… ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකී…..
වසර 74ක් ආයු වළඳා 2016 පෙබරවාරී 27වන දින ඔහු කායිකව මෙලොව හැරගියමුත් සිංහල ගීතයේ ප්‍රේමණීය සටහන් තැබුවේ ඔහුයි.
1971 විකසිත පරසතු පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවට අනුව ඔහු සඳහන් කර තිබුණේ ‘මම නම් කියන්නේ ගීතයන් අසන වෙලාවට යම් මනුස්සයෙක් තමන් මේ ජීවත්වන ලෝකයෙන් මොහොතක් හරි මිදිලා පොළවෙන් යාර කිහිපයක් ඉහළින් ජීවත් වෙනවනම් ඒක තමයි ගීතයකින් ලබන තෘප්තිය. ගීතයකින් අහවල් අහවල් පණිවුඩ කියන්න ගියොත් එතැන ගීතයක් නෑ ගීතයක් කියන්නේ කලා නිර්මාණයක්. නිර්මාතෘවරයා ඒ කලාවේ උතුම් හර අවබොධ කර ගන්න ඔිනෑ ගීතයක් හැමවිටම අපේ ආධ්‍යාත්මක උවමණාව සපුරාලිය යුතු’ බවයි. එය සක්සුදක් සේ පැහැදිලි වන්නේ ඔහුගේ ගී සමුච්චය රස විඳින විටය.
ඉතිහාසයේ යම් දිනක තෝල්ස්තොයිගේ නිර්මාණ රසවිඳි ගෝරිකි ප්‍රකාශ කර තිබුණේ, ‘ඔහුගේ නිර්මාණ දකින විට මට හිතෙන්නේ මම ලියා ඇත්තේ කොටුකැබැල්ලකින්ය යන වග’ අජන්තාවගේ ප්‍රත්‍යාවලොකනය කියවන විට දැනෙන්නේද එවන්නකි. ඒ අනුව සුභාවිත ගීතයේ සදාකාලික තාරුණ්‍ය හිමි ඔහුට බව පැවසීම අතිශයොක්තියක් නොවනු ඇත.
~ සශිකලා මධුෂාණී
RN