සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකානු දේශපාලන අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීමේ මීළඟ රට බවට මේවන විට කියුබාව පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.
කියුබාව චීනය, රුසියාව සහ අනෙකුත් එක්සත් ජනපද ප්‍රතිවාදීන් සමඟ ඇති සබඳතා එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක්බව ප්‍රකාශ කරමින් පසුගිය ජනවාරි මස 30වන දා සිට කියුබාවට ඉන්ධන අවහිර කිරීමත් සමඟ මේවන විට කියුබාව දැඩි ආර්ථික පීඩනයකට මුහණ දී ඇති බව වාර්තා වේ.
පසුගිය බදාදා(25)දින එක්සත් ජනපදයේ සිට පැමිණි වේග බෝට්ටුවක් සමඟ කියුබානු හමුදාව අතර සිදු වූ වෙඩි හුවමාරුවක දී සිවු දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල සහිතව කියුබානු හමුදා අත්අඩංගුවට පත්වීමත් සමඟ තත්වය තවදුරටත් නරක අතට පත්ව ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(27)දිනයේදී ටෙක්සාස් බලා යන ගමනේදී මාධ්‍යවෙත සඳහන් කර තිබුණේ, ඉරානය සහ කියුබාව වැනි රටවල් වල නව ආණ්ඩු දැකීමට තමා කැමති බවත්, කියුබාව යනු බිඳවැටීමට ආසන්නව සිටින අසාර්ථක ජාතියක් බවත්, කියුබානු රජය අප සමඟ කතා කරමින් සිටින අතර, ඔවුන් විශාල කරදරයක සිටින බවත්, ඔවුන්ට මුදල් හෝ දැන් කිසිවක් නොමැති බවත්, එක්සත් ජනපදයට කියුබාව අත්පත් කර ගත හැකි නමුත් මිත්‍රශීලී කොන්දේසි මත සිදුවන බවයි.
කියුබාවේ සමීප සගයෙකු වන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ පැහැරගෙන ගොස් සිරගත කළ මෙහෙයුමේ වෙනිසියුලානු හමුදා නිලධාරීන් සමඟ කියුබානු සොල්දාදුවන් 32 ක් මිය ගිය බවට ඇස්තමේන්තු කර කිරීමත් සමඟ ජනවාරි 11 වන දින ඔහු නිවේදනය කළේ තවදුරටත් වෙනිසියුලානු තෙල් හෝ මුදල් කියුබාවට ගලා නොයන බවයි. ඉන්පසු ජනාධිපති ට්‍රම්ප් ජනවාරි 29 වන දින සිට කියුබාවට සෘජුව හෝ වක්‍රව තෙල් සපයන ඕනෑම රටකට තීරුබදු පනවන බවට විධායක නියෝගයක් නිකුත් කරන ලදී.
කියුබාවේ කොමියුනිස්ට් රජය ට්‍රම්ප්ගේ ව්‍යාපාරය නැවත නැවතත් හෙළා දැක ඇති අතර කියුබාවට ඉන්ධන අවහිර කිරීම සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් සඳහන් කර තිබුණේ, කියුබානු ආර්ථිකය ගෙල සිර කිරීමක්මෙ බවයි. එමෙන්ම මෙම නව පියවර ඇමරිකානු ජනතාවගේ අවශ්‍යතා පැහැරගෙන ඇති කල්ලියක ෆැසිස්ට්, අපරාධකාරී සහ ජන සංහාරක ස්වභාවය හෙළි කරන බවත්ය.
කියුබාව යනු කොමියුනිස්ට් පක්ෂයේ භූමිකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇතුළත් කර ඇති සමාජවාදී රාජ්‍යයකි. වර්තමානයේ ආසියාවෙන් පිටත ලෝකයේ එකම කොමියුනිස්ට් රට කියුබාවයි. දේශසීමා නොමැති වාර්තාකරුවන් විසින් කියුබාව මාධ්‍ය නිදහස සඳහා නරකම රටවලින් එකක් ලෙස විස්තර කර ඇති අතර එහි ආර්ථිකය සංචාරක ව්‍යාපාරය සහ පුහුණු ශ්‍රමය, සීනි, දුම්කොළ සහ කෝපි අපනයනයෙන් ආධිපත්‍යය දරයි. 2023 අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ කියුබාවේ ජනගහනයෙන් 88% ක් අන්ත දරිද්‍රතාවයේ ජීවත් වන බවයි.

