සෑම වසරක ම මිලියන ගණනක් මුස්ලිම්වරු රාමසාන් උත්සවයේ කොටසක් ලෙස හිරු උදාවේ සිට හිරු බැස යන තෙක් නිරාහාරව සිටිමින් දින 30ක් උපවාස කරති.
ඇතැම් රටවල, දින කෙටි වන අතර, ඔබ ලොව කොතැනක සිටිනවා ද? යන්න මත පදනම්ව, උදෑසන සිට සන්ධ්‍යාව දක්වා උපවාස කාලය පැය 12 සිට 17 දක්වා ඕනෑ ම ස්ථානයකදී නව සඳ දැකීම සිදු විය හැකි ය.

මෙය ඔබේ සෞඛ්‍යයට හිතකර විය හැකි ද? ඔබ දින 30ක් නිරාහාරව සිටිමින් උපවාස කරන විට ඔබේ ශරීරයට සිදුවන දේ මෙසේ විස්තර කරමු.

දුෂ්කර ම - මුල් දින දෙක
තාක්‍ෂණිකව ඔබේ ශරීරය ඔබේ අවසන් ආහාර වේලෙන් පසු, පැය අටක් හෝ ඊට වැඩි කාලයක් ගත වන තුරු "නිරාහාර තත්ත්වයට"
ඇතුළු නොවේ.
ඔබේ බඩවැල ආහාරවලින් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර අවසන් කරන කාලය මෙය යි.
මින් මද වේලාවකට පසු, අක්මාව සහ මාංශ පේශිවල ගබඩා කර ඇති ග්ලූකෝස් අපට ශරීර ශක්තිය සැපයීම සඳහා ශක්තියක් බවට පරිවර්තනය වෙයි. ගබඩා කළ ග්ලූකෝස් අවසන් වූ පසු, උපවාස කාලය තුළදී, ශරීරය සඳහා ඊළඟ ශක්ති ප්‍රභවය බවට පත්වන්නේ, මේදය යි.

ශරීරය මේදය දහනය කිරීමට පටන් ගන්නා විට, බර අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.
කෙසේ වෙතත්, රුධිරයේ සීනි මට්ටම පහත වැටීම දුර්වලකම හා උදාසීන බව ඇති කර යි.
ඔබට හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය සහ හුස්ම ගැනීමේ අපහසුතා අත්විඳිය හැකි ය.
ඔබේ කුසගින්න වඩාත් තීව්‍ර වන අවස්ථාව මෙය යි.
විජලනය ගැන ප්‍රවේශසම් වන්න - දින 3 සිට 7 දක්වා
ඔබේ ශරීරය උපවාසයට වේගයෙන් හුරු වීමට පටන් ගන්නා විට, මේදය බිඳී ගොස් රුධිරයේ සීනි බවට පරිවර්තනය වේ.
නිරාහාරව සිටීමේදී ඔබ අඩු කරන ලද තරල ප්‍රමාණය උපවාසය අතර කාලය තුළ නැවත පිරවිය යුතු ය, එසේ නොමැති නම් දහඩිය දැමීම තුළින් විජලනය ඇති වීමට හේතු විය හැකි ය.

ඔබේ ආහාර වේලෙහි කාබෝහයිඩ්‍රේට් සහ මේදය වැනි සුදුසු මට්ටමේ ‘ශක්තිජනක ආහාර’ අඩංගු විය යුතු ය.
ප්‍රෝටීන්, ලවණ සහ ජලය ඇතුළු පෝෂ්‍ය පදාර්ථ සහිත සමබර ආහාර වේලක් ගැනීම වැදගත් ය.
ඊට පුරුදු වීම - දින 8 සිට 15 දක්වා
තුන් වන අදියරේදී, ඔබේ ශරීරය නිරාහාරව සිටීමට සම්පූර්ණයෙන් ම හැඩගැසෙන විට ඊට මනෝභාවයේ වැඩිදියුණු වීමක් දැකිය යුතු ය.
කේම්බ්‍රිජ්හි ඇඩෙන්බෲක් රෝහලේ නිර්වින්දන හා දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය රසීන් මහරූෆ් පවසන්නේ, මෙහි වෙනත් වාසි ද ඇති බව ය.

“සාමාන්‍ය දෛනික ජීවිතයේදී අපි ගොඩක් වෙලාවට කැලරි වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. මෙකෙන් ශරීරය අලුත්වැඩියාවට ලක්වීම වගේ අනෙකුත් කාර්යයන් ප්‍රමාණවත් ලෙස ඉටු කිරීමෙන් වැළකෙන්න පුළුවන්.”
“මේක උපවාසයේදී හරි ගස්සනවා. ශරීරයට වෙනත් කාර්යයන් වෙත අවධානය යොමු කරන්න ඉඩ හදනවා.
ඒ නිසා, නිරාහාරව ඉන්න එකෙන් ශරීරයට සුවය ලබා දීම වගේ ම ආසාදන වැළැක්වීම හා සටන් කිරීමෙන් ශරීරයට ප්‍රයෝජනක් ගන්න පුළුවන්.”
විෂහරණය (ඩීටොක්සිං) - දින 16 සිට 30 දක්වා
රාමසාන් මාසයේ අවසාන භාගය වන විට ඔබේ සිරුර උපවාස ක්‍රියාවලියට සම්පූර්ණයෙන් ම අනුගත වේ.
ඔබේ මහ බඩවැල, අක්මාව, වකුගඩු සහ සම මේ වන විට විෂහරණය කිරීමේ කාල පරිච්ඡේදයක් හරහා ගමන් කරනු ඇත.

“සෞඛ්‍යයට අනුව, මෙම අවස්ථාවේදී, ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය උපරිම ධාරිතාවට නැවත පැමිණෙනවා. ඔබේ මතකය සහ අවධානය වැඩිදියුණු වෙන්න පුළුවන්. ඒ වගේ ම ඔබට වැඩි ශක්තියක් ලැබෙන්න පුළුවන්,” වෛද්‍ය මහරුෆ් පවසයි.
“ශක්තිය සඳහා ඔබේ ශරීරය ප්‍රෝටීන් වෙත හැරෙන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ, ‘සාගිනි’ තත්ත්වයට ගිහිල්ලා ශක්තිය සඳහා මාංශ පේශි භාවිත කරන කොට. දින ගණනාවක සිට සති ගණනාවක් පුරා අඛණ්ඩ උපවාසයත් එක්ක තමා මේක සිද්ධ වෙන්නේ.”
“රාමසාන් උපවාසය පැවැත්වෙන්නේ, අලුයම ඉඳලා සවස් වෙනකම් විතරක් නිසා, ශක්තිය සපයන ආහාර සහ තරලවලින් අපිව නැවත පුරවගන්න ප්‍රමාණවත් අවස්ථාවක් තියෙනවා. මේක මාංශ පේශි ආරක්ෂා කරනවා වගේ ම බර අඩු කර ගන්නත් උපකාරී වෙනවා.”
ඉතින්, නිරාහාරව සිටීම අපගේ සෞඛ්‍යයට හොඳ ද?
විශේෂඥ වෛද්‍ය මහරූෆ් පවසන්නේ ‘ඔව්’ කියලා, නමුත් ඒ කොන්දේසියක් සහිතව යි.
“නිරාහාරව සිටීම අපගේ සෞඛ්‍යයට හොඳ යි, මොක ද ඒක අපි කන දේවල් සහ කන්නේ කොයි වෙලාවට ද යන්න පිළිබඳව අවධානය යොමු කරන්න උපකාර වෙනවා. කොහොම වුණාත්, මාසයක් නිරාහාරව ඉන්න එක හොඳ වෙන්න පුළුවන් නමුත්, අඛණ්ඩව නිරාහාරව සිටීම සුදුසු දෙයක් නෙමෙයි.”

“දිගට ම නිරාහාරව ඉන්න එක දීර්ඝ කාලීනව බර අඩු කර ගැනීම සඳහා හොඳ ක්‍රමයක් නෙමෙයි, මොක ද අවසානයේදී ඔබේ ශරීරය මේදය ශක්තිය බවට පරිවර්තනය කිරීම නතර කරලා ඒ වෙනුවට මාංශ පේශි වෙත හැරෙනවා.
මෙය සෞඛ්‍යයට අහිතකර වන අතර එයින් අදහස් වන්නේ ඔබේ ශරීරය ‘සාගිනි තත්ත්වයකට’ පත්වන බව යි.”
ඔහු යෝජනා කරන්නේ, (රාමසාන්වලින් පිටත) කඩින් කඩ උපවාසේ නිරත වීම (episodic fasting) – හෝ 5:2 ආහාර වේල (සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්නා දින අතර සතියකට දින දෙකක් නිරාහාරව සිටීම), වරකට මාස ගණනාවක් අඛණ්ඩව නිරාහාරව සිටීමට වඩා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් වනු ඇති බව ය.
“රාමසාන් උපවාසය, නිවැරදිව සිදු කිරීම, සෑම දිනක ම ඔබේ ශක්ති සැපයුම නැවත පිරවීමට ඔබට ඉඩ සලසනවා, එයින් අදහස් කරන්නේ ඔබේ ශරීරයේ වටිනා මාංශ පේශි පටක දහනය නොකර බර අඩු කර ගන්න එක.”
BBC ඇසුරිණි.
