පුද්ගලයකුගේ සමාජභාවය සහ ලිංගිකත්වය මත වෙනස්කොට සැලකීම්වලට ලක් නොවී සිටීමේ අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බව මීට වසර දෙකකට පෙර මාර්තු 01 වන දිනක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු විසින් ඉතිහාසයේ පළමු වරට ප්‍රකාශ කරනු ලැබ තිබිණි. නමුත් දෛවයේ සරදමක් මෙන් රට තුළ මතුවූ ආර්ථික සමාජීය දේශපාලන අස්ථාවරභාවය හමුවේ සුවහසක් ජනතාව ද සමඟ, එලෙස වෙනස්කොට සැලකීම්වලට ලක්වන ප්‍රජාව විසින් ම එම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබිණ. ඇත්තෙන්ම, වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනය (Zero Discrimination Day) යෙදෙන මාර්තු 01 වන දින කෙරේ ශ්‍රී ලංකාවේ විශේෂ අවධානයක් යොමු වීම ආරම්භ වූයේ ද මෙලෙස විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳ රටේ දේශපාලන අධිකාරිය විසින් විශේෂ ප්‍රකාශයක් ලබා දීමත් සමඟයි.
අද 2023 මාර්තු 01 වන දිනයි. තවත් වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයක් එළඹ තිබේ. පසුගිය කාලවකවානුව පුරාම විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ මානව හිමිකම් සම්බන්ධ පුවත් ගණනාවක් ම අපට අසන්නට දකින්නට ලැබිණි. එහෙත්, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව සොයන විමුක්තිය ශ්‍රී ලංකාවේ සැබවින්ම සාක්ෂාත් කරගෙන තිබේ ද?
විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව යනු?
ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය, සමාජභාවී ප්‍රකාශනය සහ ජීව විද්‍යාත්මක ලිංගික ලක්ෂණ අතින් විවිධත්වයක් ගන්නා ප්‍රජාව විවිධ ලිංගික ප්‍රජාව නමින් හැඳින්වේ. මෙම විවිධ ලිංගික අනන්‍යතා කුඩයෙන් ආවරණය වන සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, ප්‍රශ්නභාවී, අලිංගික, සමාජභාවයේ ද්විත්ව නොවන අනන්‍යතා ආදී අනන්‍යතා ඇති රැසක් ඇති පුද්ගලයන් එම අනන්‍යතාවලට යොදන ඉංග්‍රීසි පද ලඝු කිරීමෙන් LGBTIQ+ ප්‍රජාව ලෙස සරලව හැඳින්වේ.
LGBTIQ+ ප්‍රජාවගේ මානව හිමිකම් වැදගත් වන්නේ ඇයි?
ඔබ අප මෙන් LGBTIQ+ ප්‍රජාව ද සමාජයේ ජීවත්වන සාමාන්‍ය මනුෂ්‍ය කොට්ඨාශයක් බැවින් ඔවුනට සෑම මනුෂ්‍යයකුටම හිමිවිය යුතු මූලික අයිතිවාසිකම් හිමිවිය යුතු බවට සැකයක් නැත. එහෙත් LGBTIQ+ ප්‍රජාවගේ මානව හිමිකම් සුවිශේෂී වන්නේ, LGBTIQ+ අනන්‍යතා මත ඔවුන් සමාජයක ආන්තීකරණයට ලක්වීම නිසා ය. මෙම ආන්තීකරණය නෛතිකමය, සංස්කෘතිකමය සහ සමාජීයමය වශයෙන් එකිනෙකට ස්වාධීන සාධක මත හටගන්නා සේම, ආර්ථික, ජනවාර්ගික, කුලය, ආගම, පන්තිය, සමාජ තත්ත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්ව, ආදී වෙනත් සමාජ සාධක හා සහසම්බන්ධ වී අන්තර්ආංශික මුහුණුවරින් ද හටගනු ලබයි.
නමුත් ප්‍රධාන වශයෙන්ම LGBTIQ+ ප්‍රජාවගේ මානව හිමිකම් ආමන්ත්‍රණය කළ යුතු වන්නේ, ඔවුන් ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය, සමාජභාවී ප්‍රකාශනය සහ ජීව විද්‍යාත්මක ලිංගික ලක්ෂණ මත පදනම්ව මුහුණ පාන වෙනස්කොට සැලකීම් නිසා ය.
අරගලයට වසර 29ක්! වෙනස්කොට සැලකීම් තුරන් වූවා ද?
ගෝලීය LGBTIQ+ මානව හිමිකම් ව්‍යාපාර හා සැසදීමේදී දකුණු ආසියාවේ පැරණිතම LGBTIQ+ හිමිකම් ව්‍යාපාරයක් තිබෙන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ LGBTIQ+ මානව හිමිකම් සංවාදය සංවිධානාත්මක මුහුණුවරකින් ආරම්භ වන්නේ 1994 වර්ෂයේ දී මේ පිළිබඳව පළමු වරට දොඩමළු වූ ගමන් මඟේ සහකරුවෝ සංවිධානය බිහිවීමත් සමඟය.
ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවේ LGBTIQ+ හිමිකම් අරගලයට වසර 29ක් පිරී තිබේ. මේ කාලය තුළ ශ්‍රී ලාංකික LGBTIQ+ ප්‍රජාව උදාකර ගත් ජයග්‍රහණ තිබේ ද?
යතාර්ථය ඇති සැටියෙන් ලියුවහොත්, LGBTIQ+ ප්‍රජාව ලබා ගත් ජයග්‍රහණ නැතුවාම නොවේ. මින් වඩාත්ම ශක්තිමත්ම ජයග්‍රහණය වන්නේ, 2016 වර්ෂයේදී සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවගේ සංක්‍රාන්තියක් අපේක්ෂා කරන පුද්ගලයන්ගේ සමාජභාවය පිළිගැනීම සඳහා අවශ්‍ය නීතිමය ලියවිලි සම්පාදනය සඳහා අවශ්‍යවන සමාජභාවය තහවුරු කිරීමේ සහතිකය (Gender Recognition Certificate) ලබා දීමට රජය කටයුතු කිරීමයි. මෙම ජයග්‍රහණයට සමඟාමීව LGBTIQ+ ප්‍රජාවට අයත් සංක්‍රාන්ති සමාජභාවී (Transgender) ප්‍රජාව ලබා ගත් ජයග්‍රහණ සාපේක්ෂව ඉහළ මුත්, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ දැවැන්තම අරගලය වන සමලිංගික සබඳතා නිර්සාපරාධීකරණය (decriminalisation) කිරීම සඳහා වූ අරගලය තවමත් නිමා නොවී පවතියි.
දණ්ඩ නීති සංග්‍රහයේ (Penal Code) 365, 365අ සහ 399 වගන්ති මෙන්ම, පාදඩ ආඥා පනතේ (Vagrants Ordinance) 2, 7, හා 9 ආදී වගන්ති ඔස්සේ LGBTIQ+ ප්‍රජාව අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමේ සංස්කෘතිය පවත්වා ගැනීම අතින් ශ්‍රී ලංකා පොලීසියට බරපතල චෝදනා රැසක් එල්ල වී තිබිණි. ජාත්‍යන්තරය විසින් විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකා රජයට එල්ල කළ පීඩනය හමුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12(1), 12(2) ආදී වගන්ති හරහා විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ මානව හිමිකම් සුරක්ෂිත වී ඇති බවත්, පවතින නීතිය යොදාගනිමින් ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිට පිට අවස්ථා 04 කදී ම (2014, 2017, 2019 සහ 2022) ප්‍රකාශ කර තිබුණ ද, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමය තුළ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මෙම යල්පැන ගිය නීති තමාට රිසිසේ අර්ත නිරූපණය කරගනිමින් LGBTIQ+ ප්‍රජාවට විවිධ හිංසන හා කෙණහිලිකම් කිරීමට, හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් කටයුතු කර තිබේ.
සමලිංගික සබඳතා නිර්සාපරාධීකරණය පිළිබඳ කතිකාවත විවිධ රජයන් පැවති කාලසීමා වල කරළියට ගෙන ආ මුත්, ඊට නීති සම්පාදනය කෙරෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ, හෝ රටේ නීති සඳහා වගකියන පාර්ශවකරුවන්ගේ කොළ එළිය හිමි වූයේ නම් ඒ ඉතාම අල්ප වශයෙනි.
කෙසේවෙතත්, මීට දශකයකට පෙර පැවති ශ්‍රී ලාංකික සමාජයට සාපේක්ෂව වර්තමානයේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳ ජනතාව දරන ආකල්ප බොහෝ සෙයින් වැඩිදියුණු වී තිබේ. මෙහි උච්ඡතම අවස්ථාවක් ලෙස සමලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා නීති සම්පාදකයන් නැඟූ හඬ සටහන් කළ යුතුමය. ශ්‍රී ලංකාවේ වාමාංශික මතධාරී දේශපාලඥයන්ගේ සිට, මධ්‍ය-වාමාංශික මතධාරී දේශපාලඥයන් මෙන්ම දක්ෂිණාංශික මතධාරී දේශපාලඥයන් ද සමලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම පිළිබඳව සුබවාදී ව අදහස් දක්වා තිබේ. මෙය වඩාත් කැපී පෙනෙන මට්ටමකින් ආරම්භ වූයේ 2018 වර්ෂයේ අගභාගයේ ය.
වසර 04 ක් තුළ LGBTIQ+ සංවාදයේ සිදුවූ ප්‍රගතිය
ඔබ බොහෝ දෙනෙකුට ඉකුත් වර්ෂයේ ජූනි මස පැවැත්වූ අභිමානයේ පාගමන මතක ඇත. එය ශ්‍රී ලංකාව තුළ ගමන් කළ විශාලතම හා විචිත්‍රවත්ම අභිමානයේ පාගමන වූ අතර, එය රටේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට එරෙහිව ගොඩනැඟුනු ජන අරගලයට සමඟාමීව පැවැත්විනි. 2018 වර්ෂයේ පටන් සිවිල් සමාජය, දේශපාලන අධිකාරිය, සහ ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳ සංවාදයේ කැපී පෙනෙන ප්‍රගතියක් සිදුවිය. ආසන්නතම සිදුවීම් ලෙස,
- LGBTIQ+ ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුකරන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සංශෝධනය කරන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ප්‍රේම්නාත් සී. දොලවත්ත විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මත පදනම්ව ශ්‍රී ලංකාව සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බවට විදේශ අමාත්‍ය අලි සබ්‍රි විසින් එක්සත් ජාතීන් හමුවේ ප්‍රකාශ කිරීම;
- සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට පොලීසියෙන් වන කෙණහිලිකම් වළකාලමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීම;
- සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඔවුන්ගේ සමාජභාවී අනන්‍යතාව මත පොලිස් අත්අඩංගුවට ගත නොහැකි බවට මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් නියෝගයක් ලබා දීම;
- ශ්‍රී ලංකාවේ සමරිසි කාන්තාවන්ට වෙනස්කොට සැලකීම් සිදුකිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ කමිටුව (CEDAW) විසින් ලබා දුන් තීන්දුව;
- සමරිසි විරෝධී පොලිස් සම්මන්ත්‍රණයකට අදාළව ආයතනගත සමලිංගිකභීතිකාවට (institutionalised homophobia) එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකළ නඩුවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් එවන් සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් කිරීම;
- සමරිසි කාන්තාවකට ඇගේ ලිංගික දිශානතිය මත සිදුවූ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව ගත් අධිකරණ ක්‍රියාමාර්ග හමුවේ සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ අපරාධ වරදක් නොවන බවට මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් තීන්දුවක් ලබා දීම; සහ
- LGBTIQ+ ප්‍රජාව ඉලක්කකරමින් සිදුවන පරිවර්තන චිකිත්සා තහනම් කිරීමට නීතියක් සම්පාදනය කරන මෙන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝහිණී විජේරත්න විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත වීම
හැඳින්විය හැකිය.
අද දිනට යෙදී ඇති වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයේ දී අප සිහියට ගත යුතු වැදගත් කරුණක් තිබේ. එනම් ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ මානව හිමිකම් අරගලයේ ප්‍රධාන සටන් පාඨය වන සමලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම තවමත් සාක්ෂාත් කර ගෙන නොමැති වීමයි. විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳ සෘණාත්මක මතධාරී පිරිසක් තවමත් ශ්‍රී ලංකාවේ සිටින අතර, ලිංගික විවිධත්වයට එරෙහිව සංස්කෘතිය, සදාචාරය, ආගම, මානසික ව්‍යාකූලතා, ලෙඩ රෝග ව්‍යාප්තිය ආදී නූතන සමාජය තුළ කිසිසේත්ම වලංගුභාවයක් නොමැති තර්ක ඉදිරිපත් කිරීම හැරුණු විට ඔවුන් විසින් ගෙන හැර පාන තවත් තර්ක කිහිපයක් තිබේ. ඒවා සමහරක් පහත දැක්වේ;
- LGBTIQ+ පුද්ගලයන්ට කලඑළිභාවයක් හෝ අභිමානයක් අනවශ්‍ය යැයි කීම; එමඟින් අනවශ්‍ය ලෙස අවධානයක් ලැබෙන බව පැවසීම;
- සෑම දෙයකටම LGBTIQ+ අනන්‍යතාවය ඉදිරියට දමා ගැනීම අනවශ්‍ය බව කීම;
- LGBTIQ+ ප්‍රජාවට LGBTIQ+ නොවන ප්‍රජාව මෙන් ‘සාමාන්‍ය’ ලෙස ජීවත්විය නොහැකි මන්දැයි විමසීම; නිර්සාපරාධීකරණයක් නොමැතිව පවා කිසිඳු ගැටලුවක් නොමැතිව ජීවත්වන සමලිංගිකයන් ඕනෑතරම් සිටින බව පැවසීම; සහ
- LGBTIQ+ අයිතිවාසිකම් ඩයස්පෝරාවකට, හෝ ත්‍රස්තවාදයකට සම කිරීම
ජීවත් වීමේ නිදහස වත් මූලික අයිතිවාසිකමක් ලෙස හඳුනා නොගන්නා ශ්‍රී ලංකාවේ, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ කලඑළිභාවයක් තිබීම, සහ ඔවුන්ගේ මානව හිමිකම් සුරක්ෂිත වීම අවශ්‍ය වන්නේ පහත දැක්වෙන හේතු 09 නිසා ය.
- LGBTIQ+ නොවන ප්‍රජාව කිසිවිටක තමා විෂමරිසි සහ/හෝ සිස්-සමාජභාවී වීම මත ඝාතනයට ලක්වන්නේ නැත.
- LGBTIQ+ නොවන ප්‍රජාවට තමා විෂමරිසි සහ/හෝ සිස්-සමාජභාවී වීම මත බියකින් සැකයකින් තොරව ඕනෑම ස්ථානයක සංචාරය කළ හැකිය; තම සහකරුවා/සහකාරිය සමඟ පොදු ස්ථානයක නිදහසේ ගමන් කළ හැකිය.
- LGBTIQ+ නොවන ප්‍රජාව ට අතීතයේ පටන් මේ දක්වාම ලොව කොහේ වූව ද නීත්‍යානුකූලව විවාහ වීමේ අයිතිය ඇත.
- LGBTIQ+ නොවන ප්‍රජාව ට කිසිවිටක තමා විෂමරිසි සහ/හෝ සිස්-සමාජභාවී වීම මත සිරගත හෝ බන්ධනාගාරගත කෙරෙනු ඇතැයි බියෙන් ජීවත් වීමට අවශ්‍යතාවයක් නැත.
- LGBTIQ+ නොවන ප්‍රජාව කිසිවිටක තම සේවාස්ථානයේ, සේවා ලබා ගැනීමට යන ස්ථානයේ, හෝ පෞද්ගලික අවකාශවල විෂමරිසිභීතිකාවට (heterophobia) සහ/හෝ සිස්-සමාජභාවීභීතිකාවට (cisphobia) මුහුණ දෙන්නේ නැත.
- LGBTIQ+ නොවන ප්‍රජාව තමා විෂමරිසි සහ/හෝ සිස්-සමාජභාවී වීම මත ‘පව්කාරයන්’ යැයි කිසිඳු ආගමකින් හෝ සංස්කෘතියකින් හංවඩු ගැසෙන්නේ නැත.
- ලොව සියලු කලා හා සාහිත්‍ය වේදිකාවල සෑමවිටෙකම LGBTIQ+ නොවන ප්‍රජාව ගේ නියෝජනය තිබුනු අතර එය කිසිවකු විසින් ප්‍රශ්නයට නඟා නැත; කලාව තුළ විෂමරිසි සහ/හෝ සිස්-සමාජභාවී අනන්‍යතා ප්‍රහසනයට තුඩු දී නැත.
- LGBTIQ+ නොවන ප්‍රජාව ට කිසිවිටක තම විෂමරිසි සහ/හෝ සිස්-සමාජභාවී අනන්‍යතාවය දැනගැනීම මත පවුලෙන් හෝ මිතුරන් අතරින් ප්‍රතික්ෂේප වනු ඇති යැයි බියවීමට අවශ්‍ය නැත.
- LGBTIQ+ නොවන ප්‍රජාව ට කිසිවිටක තමා විෂමරිසි සහ/හෝ සිස්-සමාජභාවී වීම මත සියදිවි නසා ගැනීමේ සිතුවිලි පහළ වන්නේ නැත.
මෙකී එකඳු වරප්‍රසාදයක් වත් නූතන ශ්‍රී ලාංකීය සමාජය තුළ LGBTIQ+ ප්‍රජාවට උරුම නැත. ඒ අනුව, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ හිමිකම් අරගලය සුලුපටුව තැකිය නොහැකි අතර, රටේ පුරවැසියන් වශයෙන් ඔවුනට සිදුවන වෙනස්කොට හා කොන්කොට සැලකීම් වලට එරෙහි වීමට අප කටයුතු කළ යුතුය. පාලකයන් විසින් කුමන පොරොන්දු ලබා දී තිබුණ ද, සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය ඇතුළු අනෙකුත් ඉල්ලීම් සාක්ෂාත් වන තුරුම අඛණ්ඩව ඒ වෙනුවෙන් සටන් කළ යුතුය.
සංස්කාරක (LGBTIQ)