උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් මහ කන්නයේ වැඩිම වී අස්වැන්න!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW):අදි දින (01) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්, මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය යල කන්නයේ පැවැති දීර්ඝ නියඟය හේතුවෙන් වැඩිම වගා හානි වාර්තා වූ උඩවලව කලාපයේ කුඹුරුවලින් මෙවර වැඩිම වී අස්වැන්න වාර්තා වී තිබීම විශේෂිත සිදුවීමක් බව ද අමාත්‍යවරයා කියයි.

එමෙන්ම ඊයේ (29) දිනයේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති බෝගනායකවරුන්ගේ රැස්වීමේ දී වී වගාව සම්බන්ධව කළ අනාවරණය අනුව මෙවර මහ කන්නයේ වී වගාව මගින් ලැබිය හැකි අස්වැන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36 ඉක්මවනු ඇතැයි ද සඳහන් විය.

දැනට සිදු කර ඇති අස්වනු පුරෝකථන පරීක්ෂණ අනුව මෙම කරුණු අනාවරණය වී තිබේ. එමෙන්ම මෙවර මහ කන්නයේ එකදිගට මාස හතරහමාරක් පැවැති මහ වැස්ස හේතුවෙන් අක්කර 100,000ක වී වගාව විනාශ වී තිබු තත්ත්වයක් තුළ මෙවැනි අස්වැන්නක් ලැබීම සම්බන්ධව රටේ ගොවිජනතාවට සමස්ත ජනතාවගේ කෘතඥතාවය පළ විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම වැඩිම අස්වනු පසුහානිය ද මෙවර වාර්තා වී තිබේ. විශේෂයෙන් අස්වනු නෙලීමේ ප්‍රමාදය නිසා සමස්ත වී අස්වැන්නෙන් සියයට 10සිට 15 දක්වා ප්‍රමාණයක් පසු අස්වනු නාස්තියට ලක්වී තිබේ. ඇතැම් ප්‍රදේශවල පසු අස්වනු නාස්තිය සියයට 25ක් දක්වා ඉහළ මට්ටමක පවතී.

මෙම පසු අස්වනු නාස්තිය නිසා අවම වශයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක පමණ නාස්තියක් සිදුවී තිබෙන බව කෘෂිකාර්මික අංශ අවධාරණය කර තිබේ.විශේෂයෙන් වී අස්වනු නෙලීමේ දී වී කරළෙහි සියයට 100ක් පැසෙන තෙක් ඇතැම් ගොවීහු අස්වනු නෙලීමට නොපෙළඹෙති.

මේ නිසා වී කරළෙහි හොඳම වී ඇට අස්වනු නෙලීමේ දී බිම වැටෙති. එමනිසා වී කරළ මතුවි දින තිහක් හෝ තිස්පහක් තුළ අස්වනු නෙලා ගන්නේ නම් මෙවැනි පසු අස්වනු නාස්තියක් සිදු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වී වගාව සදහා බිම් සකස් කිරීමේ දී සාර්ථකම ක්‍රමය වන්නේ තැටි නඟුල හා මෝල්ඩ්බෝර්ඩ් නඟුල් යොදා ගනිමින් බිම් සකස් කිරීම මගින් බව ද වැඩිම අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන්නේ එමගින් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...