සැකකරුවෙකුට පහරදී ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය !

Date:

සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකුට පොලිස් ස්ථානය තුළදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (04) මරණීය දණ්ඩනය නියම කළේය.

මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ පෑලියගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂක චමින්ද කුමාර සහ පොලිස් සැරයන් අනුර වීරවර්ධන යන අයවලුන්ට ය.

2005 වසරේ ජූලි මස 13 වනදා හෝ ඊට ආසන්න දිනයක රැහැන් රහිත දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරු පොලිස් ස්ථානයේ ජනේලයකට හේත්තු කර මාංචු දමා විත්තිකරුවන් දෙදෙනා විසින් පහරදීමක් සිදුකර ඇති අතර මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ සටහන් යෙදීමට විත්තිකරුවන් කටයුතු කර නොමැති බවත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පසුදා මරණයට පත්වන තුරුත් අදාළ සැකකරුට විත්තිකරුවන් විසින් අමානුෂික ආකාරයෙන් පහරදී ඇති ආකාරය සාක්ෂිවලින් අනාවරණ වී ඇති බවත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙම සැකකරු බිම ඇද වැටීමෙන් ඔහුගේ තුවාල ඇතිවූ බව විත්තිකරුවන් සඳහන් කර තිබුණු බවත් එමෙන්ම අදාළ මරණකරු මත්ලෝලියකු බවටත් විත්තිය විසින් ප්‍රකාශ කර තිබූ බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එහෙත් වෛද්‍ය වාර්තා අනුව ඔහු මියයන අවස්ථාව වන විට ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් භාවිත කර තිබූ බවක් අනාවරණය වී නැති බව පැවසීය. එසේම මෙම විත්තිකරුගේ සිරුරේ තුවාල 26 ක් දක්නට ලැබෙන බවත් එසේම මරණකරුගේ උරහිසට යටින් තිබෙන අස්ථි සියල්ල බිඳී ගොස් තිබෙන බවත් පැවසූ විනිසුරුවරයා සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ මතය මෙම තුවාල බිම ඇද වැටීමෙන් ඇති වූ තුවාල නොවන බවයි . මෙම තුවාල මොට ආයුධයකින් පහරදීම නිසා ඇති වූ තුවාල බව වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා විකට් පොල්ලක් වැනි දෙයකින් පහර දීමෙන් මෙවැනි තුවාල ඇතිවිය හැකි බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බවත් සඳහන් කළේය.

එසේම අදාළ පුද්ගලයා රෝහල්ගත කරන විටත් මරණය පත්ව සිටි බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව පොලිස් නිලධාරින් යනු සාමය රැකීම සඳහා නීතියෙන් බලය පැවරී තිබෙන නිලධාරී පිරිසක් බවත් ඔවුන්ට විමර්ශන සිදුකිරීම හැර සැකකරුවන්ට දඬුවම් පැමිණවීමේ බලයක් නීතියෙන් හිමිවී නොමැති බවත් පෙන්වා දුන් විනිසුරුවරයා මහජනතාව යුක්තිය පතා පැමිණෙන්නේ අධිකරණයට වන බැවින් මෙම වරදට අධිකරණයෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් විත්තිකරුවන්ට නියම කරන බවත් සඳහන් කළේය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පෑලියගොඩ පොලීසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන එල්. දසනායක සහ සැරයන් මොහොමඩ් අජිස් යන නිලධාරීන් දෙදෙනා ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කිරීමටත් විනිසුරුවරයා නියෝග කළේය.

මරණීය දණ්ඩනය නියම කිරීමට මත්තෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරුවන් දෙදෙනා කියා සිටියේ තමන් සෑම අවස්ථාවකදීම කටයුතු කළේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව බවත් දැන් සියලු උසස් නිලධාරින් බේරීගොස් සියලු වැරදි තමන් මත පැටවී ඇති බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...