*
Monday, September 23, 2024
spot_img

Latest Posts

අසරණ සුනඛයන් රැසකගේ දිවි රැක ගන්නට තම දිවියේ සියළු හිමි කම් අත් හළ අපූරු මිනිසෙක් – ශිරූ ගමගේ

ශිරූ ගමගේ කලක් අපේ රටේ සිටි දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. නමුත් ඔහු ඡායාරූප ශිල්පයට පැමිණියේ පසුකලෙක ය. ඔහු වසර ගණනාවක් තොරතුරු තාක්ෂණය සම්බන්ධ නිපුණ ශිල්පියකු වශයෙන් කටයුතු කර ඇති අතර රටවල් ගණනාවක තම විෂයට අදාළ විවිධ රැකියාවන්හි නියුතු වී හිඳ තිබේ. ඔහුගේ බිරිඳ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකල ඉහළ නිලයක් දරා ඇත. ඔවුනට විවිධ රටවල් ගණනාවක ජීවත් වෙන්නට සිදු වී ඇත්තේ එනිසාය. මේ වන විට ශිරූගේ එකම දියණිය විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි. නමුත් දැන් ශිරූ සම්පූර්ණයෙන්ම වෙනස් මගකට අවතීර්ණ වී සිටින්නේ අසරණ වූ සුනඛයන් විශාල පිරිසකට සෙවණ දෙමින් ඔවුන් සුවසේ ජීවත් කරවන අප්‍රමාණ සත්ව හිතවාදියෙකු ලෙසිනි.

* ශිරූගේ පදිංචිය කොහෙද?

මගේ ගෙවල් දොරවල් තියෙන්නෙත්, මගේ බිරිඳ රැකියාවෙන් වේලාසන විශ්‍රාම අරගෙන එයා දැනට පදිංචිව සිටින්නේත් පන්නිපිටියේ පිහිටි අපේ නිවසේ යි.

* ශිරූ පන්නිපිටිය නිවසේ නැද්ද ?

මං දැන් ඉන්නෙ කුරුණෑගල. අසරණ සුනඛයන් දෙසීයක පමණ පිරිසක් වෙනුවෙන් කැපවුණු ජීවිතයක් මම ගත කරන්නේ. මට පන්නිපිටියේ පර්චස් 20 ක ඉඩමක මේ තරම් ලොකු සුනඛයන් සංඛ්‍යාවක් රඳවා ගැනීම අපහසු නිසා තමයි කුරුණෑගල ලොකු ඉඩමක මං මේ සුනඛයන්වත් රඳවාගෙන ජීවත් වෙන්නේ.

* ශිරූ උසස් අධ්‍යාපනයක් ලබා රටවල් ගණනාවක තොරතුරු තාක්ෂණයට සම්බන්ධ රැකියාවන්වල නිරතව හිඳ ඉන්පසු ඡායාරූප ශිල්පියකු වශයෙනුත් කටයුතු කර දැන් ඒ සියල්ලෙන් මිදී මෙවන් ජීවිතයකට යොමු වීමට බලපෑ හේතුව මොකක්ද ?

ඒකට බලපෑවේ හරිම අහඹු සිදුවීමක්. මම මගේ බිරිඳත් සමග පන්නිපිටිය නිවසේ ජීවත්වන කාලේ අපේ ගෙදර ඇල්ශේෂන්, පොමරේනියන් සහ තවත් එවැනිම හයිබ්‍රිඩ් සුනඛයෙක් සිටියා. ඔය අතරේ අපේ ගේට්ටුව ආසන්නයේ පාරේ ගැවසෙමින් සිටි සාමාන්‍ය සුනඛ ගැහැනු සතෙකුටත් මම කෑම බීම දුන්නා. හැබැයි මං එයාව ගේට්ටුවෙන් ඇතුළට ගත්තේ නෑ. එක දවසක් රෑ මේ සතා මහ හඬින් බෙරිහන් දෙනවා ඇහිලා නැගිටල ගිහින් බලනකොට සතාව යටකරගෙන වාහනයක් ගිහින්. මම ඉක්මනටම සතාව ගේට්ටුවෙන් ඇතුළට ගෙනාවා. වේදනාව හින්දා රෑ එළිවෙනකන් එයා කෑ ගගහ හිටියෙ. පහුවදා උදෙන්ම මම පශු වෛද්‍යවරයෙක් ළඟට අරන් ගිහිල්ලා මෙයාව නතර කළා. එයාගෙ උකුල් ඇටය බිඳිලා තිබුණේ. සති තුනක් ඒ සත්ව රෝහලේ නතර කරගෙන මෙයාට ප්‍රතිකාර ලබා දීලා කොහොමහරි මෙයා සුවපත් වුණා. ඉන් පස්සෙ ආයෙ කවදාවත් මං මෙයාට පාරේ ඉන්න දුන්නේ නෑ. මං එයාව ගෙදර නතර කර ගත්තා. පසුව මම කල්පනා කළා මම මේ ලොකු මිලක් ගෙවලා සුනඛයන් අරගෙන ගෙදර ඇති දැඩි කරනවා, නමුත් පාරේ මොනතරම් අසරණ අහිංසක සුනඛයන් ඉන්නවද කියලා. ඊට පස්සේ කොහේ හරි මම යනකොට අසරණ සුනඛයෙක් පාරේ ඉන්නව දැක්කොත් ගෙදරට අරන් එන්න පුරුදු වුණා. ඒ හැරුණම මොකක් හෝ අනතුරකින් හරි ,වෙන මොන ආකාරයකට හරි අසරණ වුණු සුනඛයෙක් ගැන තොරතුරක් ලැබුණොත් මම කොහේ ගිහින් හරි මගේ වාහනයේ එයාව දාගෙන ගෙදර ගෙනාවා. ප්‍රතිකාර අවශ්‍ය වුණු සතුන්ට ප්‍රතිකාර ලබාදී සුවපත් කරනවා .ඊට පස්සේ මගේ ගෙදරම තබා ගන්නවා. ඔය විදිහට පන්නිපිටියෙ මගේ ගෙදර සුනඛ ප්‍රමාණය අසූව දක්වා ඉහළ ගියා.

* ශිරූගේ බිරිඳගෙන් ඔය සම්බන්ධයෙන් විරෝධයක් පැන නැගුණේ නැද්ද ?

එයා සතුන්ට ආදරෙයි. අනික රැකියා කටයුතු නිසා එයාට ඒව ගැන බලන්න වෙලාවක් තිබුණේ නෑ. කොහොම වුණත් මේ අසරණ සතුන් නිසා මම මගේ රැකියාව අතහැරලා ඡායාරූප ශිල්පය වෘත්තිය ලෙස තෝරා ගත්තා. මොකද, මට දිනපතා උදේට ගිහින් හවසට නැවත ගෙදර එන රැකියාවක් කිරීමේ අපහසුතාවයක් මේ වන විට පැන නැගී තිබුණු නිසා. ඒ වගේම ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් මට ඉතා හොඳ හැකියාවක් සහ දැනුමක් ඒ වනවිට තිබුණා. ඒ විතරක් නෙවේ මං පිටරටවල්වල ගත කරද්දී ඉතා හොඳ කැමරා ආම්පන්න ද මිලදී ගෙන තිබුණු නිසා ඡායාරූප ශිල්පයට එළැඹීම මට අලුත් හෝ අමුතු අත්දැකීමක් වුණේ නෑ . මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ අර අනතුරට පත් වුණු සුනඛයා යි.

* ගෙදරක සුනඛයන් හතර පස් දෙනෙක් නම් ඉන්න අවස්ථා දැකලා තියෙනවා. නමුත් අසූවක් ඉන්නකොට ඒක මොන වගේ තත්ත්වයක්ද කියලා හිතාගන්නවත් බෑ. කොහොමද ඔයාට අහල පහල අයගෙන් ලැබුණු ප්‍රතිචාර ?

අපේ ගෙදර වහලේ තිබිලා සෑහෙන ගල් ප්‍රමාණයක් හමුවීමත්, ගෙදරට දවස ගාණෙම පොලිසියෙන් පැමිණීමත් යන කරුණු දෙක ම පමණක් ඔයාට ඕකට හොඳ පිළිතුරක් සිතා ගැනීම සඳහා ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා. මට මගේ ගෙදර මේ සුනඛයන් එක්ක ඉන්න කොහෙත්ම නොහැකි වන තත්වයක් පැන නැගුනා. ඊට පස්සේ තමයි මට ලංකාවේ පදිංචි වී සිටින මගේ හිතවත් ජර්මන් ජාතික කාන්තාවක් ඇයට අයත් කුරුණෑගල ප්‍රදේශයේ ඉඩමක් මට දුන්නේ සතුන් සමග ඉන්න කියලා. ඇයත් සතුන්ට ආදරය කරන කෙනෙක්. ඒ නිසා මේ වෙනුවෙන් ඇය මගෙන් කිසිදු මුදලක් අය කළේ නෑ. ඒ අක්කර පහක විතර විශාල ඉඩමක්. මම එයින් පර්චස් 50 ක් විතර වෙන් කරගෙන අඩි
8 ×10 කාමර 12ක් සකස් කළා. කාමරවලට පුරුදු අය කාමරවල ඉන්නවා. වත්තෙ ඉන්න කැමති අය වත්තෙ ඉන්නවා. ඔය විදිහට දැන් මගේ ළඟ ඉන්න දෙසීයක් පමණ වූ සුනඛ පිරිස ඉතාමත් සතුටින් නිදහසේ ජීවත් වෙනවා.

* මෙහෙ ඉඳලා ඡායාරූප ශිල්පය වගේ දේවල් කරන්න ඔයාට හැකියාවක් සහ කාලයක් තියෙනවද?

ඇත්තටම ඒ හැම කටයුත්තක්ම සීමා වෙලා තියෙන්නේ. ජීවිතේම ගත වෙන්නේ මේ සතුන් වෙනුවෙන් තමයි. මට අත්උදව්වට කෙනෙක් නෑ. මම ම තමයි සතුන්ට කෑම හදන්නෙ, එයාලව පිරිසිදු කරන්නේ, එයාලා ඉන්න තැන් පිරිසිදු කරන්නේ, අසනීප අයට බෙහෙත් දෙන්නේ මේ හැම දෙයක්ම. ඇත්තටම මට දැන් කිසි ආදායමක් නෑ. මම උපයා ගෙන තිබුණු මුදල් තමයි සේරම මෙයාල වෙනුවෙන් වියදම් කළේ.

* දවසකට කොච්චර විතර ප්‍රමාණයක් කෑම හදන්න වෙනවද?

උදේට හාල් කිලෝ හතළිහක් උයනව. ඒ හාල්වලටම මස්කටු ඒ කිව්වෙ පෙට් ෆුඩ්ස් කිලෝ හතරක්, පරිප්පු කිලෝ එකක්, වට්ටක්කා කිලෝ එකක්, නිවිති වගේ පලා ඔය විදිහට තමයි එකතු කරන්නේ. රෑටත් ඔය විදිහටම උයනව හැබැයි ප්‍රමාණය ඔයිට වඩා ටිකක් අඩුවෙන්.

* ඔයා මෙහෙට ඇවිත් කොච්චර කල්ද?

අවුරුදු තුනක් වෙනවා.

* මෙහෙ ආවට පස්සේ ඒ තරම් සුනඛයන් සංඛ්‍යාවක් වැඩි වුණේ කොහොමද ?

කොහොමත් මං අසරණ වුණු සතෙක් කොහේ හරි ඉන්නව දැක්කොත් මගේ වාහනයෙන් අරගෙන එනවා. එක වතාවකදී කැලණි පන්සල කිට්ටුව හිටියා සම්පූර්ණයෙන්ම අන්ධ ගැහැනු සතෙක්. එයා ඒ වෙනකොට පැටව් ලැබෙන්න හිටියේ. මං එයාව අරගෙන ආවා. එයාට පැටව් පස් දෙනෙක් ලැබුණා. දැන් එයා ඔපරේෂන් කරලා ඉන්නේ. ඉතාමත් හොඳින් එයා වගේම එයාගේ දරුවනුත් මගේ ළඟ ඉන්නවා. ඔය වගේ තවත් අන්ධ සතුන්, අත් පා බිඳුනු සතුන් වැනි ආබාධිත සතුන්ද මගේ ළඟ සුවසේ බොහොම හොඳින් සිටිනවා. මේ පැත්තෙ පාරවල්වල ඉන්න සුනඛ ගැහැනු සතුන් එකසිය හහතලිහකට ආසන්න ප්‍රමාණයක් මම තුන් වතාවකදී වඳ සැත්කම්වලට භාජනය කෙරෙව්වා. එහෙම නොවෙන්න මේ වෙනකොට මගෙ ළඟ සමහරවිට පන්සියයක් විතර සුනඛයන් ඉන්නත් ඉඩ තිබුණා. ඒ විදියට සැත්කම් කරපු නිසා මේ පැත්තේ පාරවල්වල ඉන්න සුනඛ සතුන්ගේ ගහණය දැන් අඩුවෙලා.

* සතුන්ගේ වැඩ ටික මුළු දවස පුරාම කරන්න වෙනව ඇති නේද ? උදව්වට කවුරුත් ගන්න හිතන්නේ නැත්තෙ ඇයි?

හේතු කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි තව කෙනෙකුට පඩියක් ගෙවන්න මට හැකියාවක් නැතිකම. මොකද මම මේ කරන්නේ අසරණ සතුන් වෙනුවෙන් අවංක සේවයක් . මේ වෙනුවෙන් කිසිම ලාභ අපේක්ෂාවක් මගේ නෑ. කවුරුහරි මේ සතුන්ට කෑම බීමවලට කීයකින් හරි උදව් කළොත් මම ඒ සම්පූර්ණ මුදලම ඒ කෑම
බීමවලට වියදම් කරනවා මිස එයින් එක රුපියලක්වත් මගේ කෑම බීමවලට වැය කරන්නෙ නෑ. සත්තුන්ව විකුණාගෙන කන කෙනෙක් නෙමෙයි මම.
අනෙක් කාරණාව තමයි මේ වගේ දෙයක් වෘත්තියක් වශයෙන් කළත්, සේවයක් වශයෙන් කළත් අනිවාර්යෙන්ම මෙහෙම දේක යෙදෙන්න පුළුවන් වෙන්නේ උපරිමයෙන් සත්ව කරුණාව තියෙන කෙනෙකුට විතරයි.

* හදිසියේවත් ඔයාට අසනීපයක් වුණොත් එදාට කොහොමද මේ සත්තුන්ගෙ වැඩ කරන්නේ?

කිව්වට විශ්වාස කරයිද මන්දා මම මේ සත්තුන්ව හදන්න පටන් ගත්තු දා ඉඳලා මට කිසිම අසනීපයක් හැදුනේ නෑ. සමහරු සත්තු හදන්න කැමති නෑනේ ලෙඩ හැදෙනවා කියලා. එහෙම නම් මට කොච්චර ලෙඩ හැදෙන්න ඕනෙද ? ඇත්තටම මගේ මේ සතුන් ගැන තියෙන්නේ සැබෑම ආදරය කරුණාව සහ මෛත්‍රිය යි. ඒ නිසා වෙන්න ඇති මම මේ සතුන් එක්ක ගත කරන්න පටන් ගත්තට පස්සේ වෙනදාටත් වඩා නිරෝගීයි.

* හිරු දැන් පන්නිපිටියේ ගෙදර යන්නේ නැද්ද?

මගේ බිරිඳගේ සුවදුක් බලන්න මම යනවා. ගියත් එදාම ආපසු එනවා. මම නොහිටියොත් මගේ සත්තුන්ට බඩගින්නෙ ඉන්න සිද්ධ වෙන නිසා. මගේ දුව කැමතියි මාවත් මගේ බිරිඳවත් ඕස්ට්‍රේලියාවේ එයා ළඟ නතර කර ගන්න. නමුත් මට දැන් මේ සත්තුන්ව දාලා යන්න බෑ. මම ඒකට කැමැති නෑ. මම ඉතාම හොඳ සැමියෙක් වශයෙන් පවුල් ජීවිතයක් ගත කළා. දුවටත් හොඳට ඉගැන්නුවා. දැන් දුව හොඳම තත්ත්වයක ඉන්නවා. මගේ බිරිඳටත් කිසිම ගැටලුවක් නෑ. මම සත්තු වෙනුවෙන් කැපවීම ගැන එයා මට ආශිර්වාද කරනවා මිසක් කිසි දොසක් කියන්නේ නෑ. ඒ නිසා මම නිදහසේ මේ සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් කැපවෙනවා.

* ශිරූට මේ සත්තුන්ට කෑම බීම දීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා කිව්වා නේද?

මට දැන් කිසිම ආදායමක් නෑ. මම එකතු කරගත් සියලු දේවල් තමයි සතුන් වෙනුවෙන් වියදම් කරන්නේ. මට දුවත් බිරිඳත් වරින්වර උදව් කළත් එයාලගෙන් මේ කටයුතු සඳහා දිගින් දිගටම මුදල් ඉල්ලන්න මම කැමති නෑ. දැන් ඇත්තටම මම ඉන්නේ මුදල් නැති තත්වයක. ඒ නිසා මේ සතුන්ට කෑම බීම දෙන්න පුංචි හරි උපකාරයක් තමන්ට හැකි අන්දමින් කෙනෙක් කරනවා නම් ඒක ලොකු පිනක්. මම කලිනුත් කිව්වා වගේ මේ සතුන් වෙනුවෙන් ලැබෙන කිසිදු මුදලක් මම මගේ පරිහරණයට ගන්නෙ නෑ. මට පිටරටවලින් ආධාර සපයන අයත් නෑ. මම සත්ව සංවිධානවලට සම්බන්ධයකුත් නෑ. ඒ නිසා මගේ මේ අවංක වෑයම වෙනුවෙන් මට මුදල්වලින් හරි ද්‍රව්‍යවලින් හරි ආධාර කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. මෙහෙම කියනකොට ගොඩක් අය කතා කරන්නේ උදව් කරන්න නෙමේ සත්තු ඉන්නව බාර ගන්න පුළුවන්ද කියලා අහන්නයි. නමුත් මම මේ බොහොම කරුණාවෙන් කියන්නේ ඒක නම් මට කරන්න බෑ දැන්. මට ඉන්න කට්ටිය මටවත් පාලනය කරගන්න බැරි තරම්.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan