හැන්කිගේ උද්ධමනයට වෙන්න යන දේ …

Date:

මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ උද්ධමන පුවරුව අවසන් වරට යාවත්කාලීන කර ඇති අවස්ථාවයි. ඔහුට අනුව, ගෙවුණු පෙබරවාරි 23 දින ලංකාවේ උද්ධමනය පැවතී ඇත්තේ 51% මට්ටමේයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේ උද්ධමනය මැන තිබුණේ 50.6% ලෙසයි. මේ අනුව, පෙබරවාරි මාසයේදී නිල උද්ධමනය හා හැන්කිගේ උද්ධමනය සමාන වී තිබෙනවා.

පසුගිය වසරේ මැද භාගයේදී හැන්කිගේ උද්ධමනය නිල උද්ධමනය මෙන් දෙගුණයක පමණ මට්ටමක පැවතුණා. ලංකාවේ බොහෝ දෙනෙකුට අනුව වඩා නිවැරදි මිනුම වූයේ හැන්කිගේ උද්ධමනයයි. ලංකාව වැනි පර්යන්ත රටක සිටින්නන් බොහෝ දෙනෙකු ඔහු වැනි අයෙකු විසින් කියන දෙයක් දේව භාෂිත සේ පිළිගැනීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ වගේම, තමන්ට හරියට තේරුම් ගත නොහැකි සාධක මත පදනම් වූ ව්‍යසනයකදී ඕනෑවට වඩා බිය වීමද සාමාන්‍ය දෙයක්. ස්ටීව් හැන්කි මෙම මානසිකත්වයන් හොඳින් අවබෝධ කර ගෙන සිටින අයෙක්. මේ දවස් වල ඔහු සෙල්ලම් කරන්නේ පකිස්ථානය හා ඝානාව වැනි රටවල මිනිසුන්ගේ ඉහත මානසිකත්වයන් සමඟයි.

අධි උද්ධමන තත්ත්වයක් ඇති වී නිල වශයෙන් උද්ධමනය ගණනය කිරීම අත හැර දමා ඇති විටෙක හැන්කිගේ මිනුම වැනි විකල්ප මිනුමක් භාවිතා කිරීමේ වැරැද්දක් නැහැ. එහෙත්, අත් දෙකේ ඔරලෝසු දෙකක්ම තියෙද්දී හෙවණැල්ල මැන වෙලාව තීරණය කරන්න අවශ්‍ය නැහැ. හැන්කිගේ මිනුම භාවිතා කිරීම එවැන්නක්.

හැන්කිගේ උද්ධමන මිනුමේ ඇති ප්‍රශ්න ගණනාවක් අතර ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ එය අධි-සංවේදී දර්ශකයක් වීමයි. එනම්, උද්ධමනය ඉහළ යද්දී ඕනෑවට වඩා වැඩි අගයක් පෙන්වන සහ උද්ධමනය පහළ යද්දී ඕනෑවට වඩා අඩු අගයක් පෙන්වන දර්ශකයක් වීමයි. මාස දහයකට පමණ කලින්ම කියා තිබෙන මේ කතාවේ ඇත්ත නැත්ත බලා ගන්නට තව වැඩි දවසක් ඉන්නට අවශ්‍ය වෙන එකක් නැහැ. බොහෝ විට, ස්ටීව් හැන්කිගේ උද්ධමන පුවරුව නැවත යාවත්කාලීන කර ප්‍රසිද්ධ කරන අවස්ථාව වන විට (ඉදිරි දින දෙක තුළ මෙය සිදු නොවනු ඇතැයි යන උපකල්පනය මත), ලංකාව එම පුවරුවේ දකින්නට නොලැබෙනු ඇති. ඒ ඔහුගේ ගණනය කිරීමේ ක්‍රමය අනුව ඩොලරයක මිල පහත වැටෙද්දී උද්ධමනය ක්ෂණිකව කඩා වැටෙන නිසයි. ඔහුගේ මිනුම අනුව, වැඩි කල් නොයා, ලංකාවේ 51% උද්ධමනය 20%ක පමණ සෘණ අගයක් (අවධමනයක්) වීමට නියමිතයි.

හැන්කිගේ දර්ශකයෙන් ලංකාව ඉවත් වන තරම්ම ඉක්මණින් නිල උද්ධමනය පහත වැටෙන්නේ නැහැ. මාර්තු මාසයේ නිල උද්ධමනය 50% සීමාවෙන් පහළට එනු ඇති වුවත්, විදුලි ගාස්තු ඉහළ යාම නිසා උද්ධමනයෙහි විශාල අඩුවීමක් සිදු වීමට ඉඩක් නැහැ. එහෙත්, අප්‍රේල් මාසයේදී 35-37% මට්ටම දක්වාත්, මැයි මාසයේදී 25-27% මට්ටම දක්වාත්, ජූනි මාසයේදී 13-14% මට්ටම දක්වාත් උද්ධමනය වේගයෙන් අඩු වීමට නියමිතයි. මෙම සතිය තුළ ඩොලරයක මිල පහත වැටෙන ප්‍රමාණය අනුව, උද්ධමනය මීටත් වඩා අඩු විය හැකියි.

හැන්කිගේ මුදල් මණ්ඩල යෝජනාවේ එල්ලී සිටි බොහෝ දෙනෙකු එයින් ඇත්තටම සිදු වන්නේ කුමක්ද කියා නොදැන සිටි අයයි. මුදල් මණ්ඩලයක් හදනවා කියන්නේ විශාල ලෙස බදු වැඩි කර, එමෙන්ම විශාල ලෙස වියදම් කපා, සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම නවත්වනවා කියන එකයි. මුදල් මණ්ඩලයක් හැදුවේ නැතත් ඔය දේවල් සිදු වෙද්දී (අඩු වශයෙන් කෙටිකාලීනව) සිදුවන්නේ මීටම සමාන දෙයක්. දැන් සිදුව ඇත්තේ එයයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...