එවිට….,
වැසි නැවතී තිබිනි.
ඉඳහිට පතකින් රූටා
දිය කඩිත්තකට එල්ලය ගෙන
බ්ලොත්….බ්ලොත් හඬින් පතිතවූ
බිඳක් දෙකක් හැරුණුවිට
නිහඬතාවය වැඩුනි.
ඔබේ ඇස්වල ලා රතක් තිබිනි.
“පිරිමි වුනාම අඬන්නෙ මොකදැ”යි
කුරිරු කියමන මගෙනි.
“කවදාවත්” හමු නොවන හින්දා ය
හොටු බේරුන පිළිතුර ඔබෙනි.
එළියත් අඳුරත් අතර මොහොතක් ගෙවුනි.
“කවදාවත් “යනු කොපමණදැයි
දැනීමක් මට නොවිනි.
අනන්තය,අසංඛ්‍යය,සාරාසංඛය මිස
“කවදාවත් “යනු කොතෙක්දැයි
පැහැදිලිව දත් කිසිවෙක්
කිසිදින මට හමු නොවිනි.
ඒ වැසි නැවතුන සැන්දෑව
යළි මවා ගන්නා හැමවිට
“කවදාවත් “යනු මේ තරම් දිගද
විස්තර කල නොහැකි තරමට පලල්ද
ශෝකජනක ලෙස ගැඹුරුද
මම මගෙන්ම අසමි.
~ වර්ණ රසිකා ගුණවර්ධන
RN
