රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ (LNW):
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජය නව පරීක්ෂණයක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
ඒ බටලන්ද වාර්තාව ඔස්සේ මෙන්ම තවත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙනි.
පසුගියදා අල් ජසීරා නාලිකාව පැවති සම්මුඛ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බටලන්ද වාර්තාව පිළිබඳව සෘජු ප්‍රශ්න කිරීමට් සිදු කළ අතර එහිදී හිටපු ජනාධිපතිවරයා එම වාර්තාව ප්‍රතික්ෂේප කළේ එය පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවක් නොවන බව පවසමිනි. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර, ඔහු සඳහන් කළේ බටලන්ද මෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පවත්වන බවයි.
එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
