ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:සිරදඬුවම් නියමව සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) ආරම්භ කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරු සාමාජිකත්වය දරන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර එම කාර්යාලවලට බෙදා දීම තුළින් රජයට රුපියල් කෝටි හයකට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරා තිබුණු අතර එම නඩුව විභාගය අවසානයේ අදාළ චෝදනාවට විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත් ගමගේට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම විය.



