ටෙහෙරානයේ අඳුරුතම රාත්‍රිය..

රෂිකා හෙන්නායක මාර්තු 11,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මිලියන 10කට අධික ජනතාවක් වෙසෙන ටෙහෙරානය, ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සෘජු යුද පිටියක් බවට පත්ව තිබේ. සිවිල් ස්ථාන 10,000කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් දියත් වන මහා පරිමාණ මිනිස් අරගලයකි.

පසුගිය දින 10 පුරා ටෙහෙරානය, සිය ඉතිහාසයේ අඳුරුතම හෝරාවන් පසු කරමින් සිටී. මෙම යුදමය තත්ත්වය හමුවේ ඉරාන වැසියන් මුහුණ දෙන අතිශය දුෂ්කර ගමනකි.

දවාල රෑ කළ අඳුර

ඊශ්‍රායල සහ ඇමරිකානු ප්‍රහාරයන්හි මූලික උපායමාර්ගික ඉලක්ක බවට ඉන්ධන ගබඩා සහ තෙල් පිරිපහදු පත්වීම නිසා ටෙහෙරානයේ, අහස බියකරු ස්වරූපයක් ගත්තේය. ප්‍රහාරවලින් පිට වූ දැවැන්ත ආලෝක ධාරාවන් නිසා රාත්‍රී කාලය තත්පර කිහිපයකට දවාලක් මෙන් දිස් වූ අතර, ඉන් අනතුරුව පිරිපහදු ගිනිගැනීමෙන් නැගුණු කළු දුමාරය මුළු නගරයම වසා ගත්තේය. මෙහි වඩාත් භයානක ප්‍රතිඵලය වූයේ තෙල් මිශ්‍ර වූ කළු පැහැති, “අන්තරායකර තෙල් වැස්සක්” (Hazardous rain) නගරය මතට ඇද හැලීමයි.

මෙම තත්ත්වය වැසියන්ගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කර ඇති අතර, තෙල් තට්ටු තැවරුණු වාහන පිරිසිදු කර ගැනීමට ‘කාර් වොෂ්’ (Car wash) අසල දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.

පොළොව, ජනෙල් සහ අපේ හදවත් වෙව්ලන්නට වුණා. අපි නාන කාමරය තුළ සැඟවී ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළා…” – සීමා (Sima), බටහිර තෙහෙරානයේ පදිංචිකාරියක්.

ඩිජිටල් අඳුර හෙවත්: ලොව දෙවන දරුණුතම අන්තර්ජාල විසන්ධිය

යුද්ධයට සමගාමීව ඉරාන රජය විසින් පනවනු ලැබූ දැඩි අන්තර්ජාල බ්ලැක්අවුට් (Blackout) තත්ත්වය හේතුවෙන් තොරතුරු ගලායාම සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට ඇත. NetBlocks දත්ත වලට අනුව, මෙය ලොව රජයක් විසින් පනවනු ලැබූ දෙවන දරුණුතම අන්තර්ජාල විසන්ධියයි. මෙයට වඩා දරුණු වූයේ පසුගිය ජනවාරි මාසයේ පැවති විරෝධතා හමුවේ ක්‍රියාත්මක වූ දින 20ක අන්තර්ජාල බ්ලැක්අවුට් තත්ත්වය පමණි.

තොරතුරු පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය නිසා වැසියන් දැඩි අසරණභාවයට පත්ව සිටී. කළු කඩයේ අතිශය ඉහළ මිලකට VPN විකිණීම සිදුවන අතර, රජය ඒවා සොයා විනාශ කිරීමට පියවර ගනිමින් සිටී. යුද්ධය පිළිබඳ තොරතුරු පමණක් නොව, තම ආදරණීයයන්ගේ සුවදුක් විමසීමට පවා ජනතාවට ඇති අයිතිය මේ හරහා අහිමි වී තිබේ

70% ක උද්ධමනය

යුදමය වාතාවරණය ඉරාන ආර්ථිකයේ අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත. දැනටමත් 70% ක්ව පවතින උද්ධමනය සහ කළමනාකරණ දුර්වලතා හමුවේ සාමාන්‍ය වැසියාට ආහාර වේලක් සොයා ගැනීම පවා අභියෝගයකි. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීම සඳහා ඉරානය සිය අසල්වැසි රටවල් සමඟ භාණ්ඩ හුවමාරු (Bartering) ක්‍රමවේද සහ හදිසි යාන්ත්‍රණ අනුගමනය කිරීමට පෙළඹී ඇත.

මෙවන් බිහිසුණු වාතාවරණයක් තුළ වුවද, ටෙහෙරානයේ මහා බසාර් (Grand Bazaar) වෙළෙඳපොළේ ඇතැම් වෙළෙන්දන් සීමිත වේලාවකට හෝ සිය වෙළෙඳාම් කටයුතු සිදු කිරීමට උත්සාහ කරති. එය තුවාල වූ ආර්ථිකයක් හමුවේ වුවද ජීවත් වීමට වෙහෙසෙන මිනිසුන්ගේ නොපසුබට උත්සාහය සහ මානුෂීය ඔරොත්තු දීමේ හැකියාව (Resilience) මනාව පැහැදිලි කරයි.

වීඩියෝවක මිල: මරණ දණ්ඩනය සහ දේපල රාජසන්තක කිරීම

ප්‍රහාරයන් සිදුවන ආකාරය වීඩියෝ කර විදේශීය මාධ්‍ය වෙත යොමු කරන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් රජය දැඩි මර්දනකාරී නීති පනවා ඇත. රජය විසින් “භීතිය” ආයුධයක් ලෙස භාවිතා කරමින් තොරතුරු ගලායාම වැළැක්වීමට උත්සාහ කරන අතර, ඕනෑම ආකාරයක වීඩියෝ දර්ශනයක් බෙදා ගැනීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

"යමෙක් සියොන්වාදී පාලනයට හෝ ඇමරිකානු පාලනයට පක්ෂපාතී වන ආකාරයේ ප්‍රායෝගික ක්‍රියාවක නිරත වුවහොත්, මරණ දණ්ඩනය සහ දේපල රාජසන්තක කිරීම ඇතුළු දඬුවම් නීතියෙන් නියම කර ඇත." - අස්ගර් ජහන්ගීර් (Asghar Jahangir), අධිකරණ ප්‍රකාශක.

බැංකු සහ මූල්‍ය පද්ධතිය ඉලක්ක වීම

ඉරානයට එල්ල වන්නේ ගුවනින් වැටෙන බෝම්බ පමණක් නොවේ; ඩිජිටල් අවකාශය ද අද ප්‍රබල යුද බිමකි. පසුගිය වසරේ පැවති දින 12ක යුද්ධයේදී ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් (Cryptocurrency exchange) ඉලක්ක වූවා සේම, මෙවර ද රාජ්‍ය බැංකු වන Bank Melli සහ Bank Sepah වෙත ප්‍රබල සයිබර් ප්‍රහාර එල්ල වී ඇත. මූල්‍ය යටිතල පහසුකම් අඩාල කිරීම හරහා ජනතාවගේ එදිනෙදා ජීවනෝපාය බිඳ දැමීම මෙම සයිබර් යුද්ධයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ප්‍රහාර හමුවේ දෙදරා යන තෙහෙරානය සහ 70% ක උද්ධමනයෙන් මිරිකෙන ජනතාව මුහුණ දෙමින් සිටින්නේ අවිනිශ්චිත අනාගතයකටය. එළඹෙන මාර්තු 20 වනදාට යෙදෙන ‘නව්රුස්’ (Nowruz) හෙවත් ඉරාන නව වසර උදා වන්නේ බලාපොරොත්තුවේ සිනහව සමඟද නැතහොත් යුද්ධයේ මළ බෙර හඬ සමඟද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.

දේශපාලන සහ යුදමය අරමුණු කුමක් වුවත්, ඕනෑම යුද්ධයක සැබෑ වන්දිය ගෙවන්නේ කිසිවකටත් වගකිව යුතු නැති සාමාන්‍ය වැසියන් බව තෙහෙරානයෙන් ඇසෙන මෙම කටුක පුවත් අපට නැවතත් සිහිපත් කර දෙයි.