ක්‍රිකට් හාමුදුරුවන්ගේ විකට් එක දැවෙයි

නිශ්මං රණසිංහ ,මාර්තු 12, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනස් කිරිම මෙන්ම සමහර ක්‍රීඩකයන් කණ්ඩායමෙන් නෙරපිය යුතු යැයි ද බලපෑම් කරමින් උද්ඝෝෂණය කරමින් සිටින රාජාංගනේ හිමියන්ගේ සමාජජාලා මාධ්‍ය කටයුතු කරමින් සිටි උපකරණ එය ලබා දුන් පුද්ගලයා විසින් යළි ලබා ගෙන ඇත.ඊට හේතුව වී ඇත්තේ ලබා දුන් පුද්ගලයාගේද අනුදැනුමකින් තොරව විවිධ කටයුතු එම උපකරණ යොදා ගනිමින් කිරීමය.
මනීෂ මදවනආරච්චි නම් ගුවන් විදුලි තාක්ෂණය ගැන විශාල දැනුමක් ඇති පුද්ගලයෙකු මෙම උපකරණ උන්වහන්සේට ලබා දී එම ස්ථානයේම ස්ටූඩියෝවක් පවා තනා තමන්ගේ සේවකයන් කිහිප දෙනෙකුද යොදා ගෙන වැඩ කටයුතු කරගෙන යන්නට ඉඩ සළසා ඇත.විශේෂයෙන්ම ඉතා දැඩිව රෝගී තත්ත්වයකින් සිටි ඔහු නැවත නිරෝගි සුවය ලද ඖෂධය සම්බන්ධයෙන් වන ප්‍රචාරන වැඩ වලට හාමුදුරුවන්ට මේ සියල්ල ලබා දී ඇතත්,උන් වහන්සේ එය වෙනත් වැඩවලට යොදා ගනිමින් සහ ඇතැම් විට මනීෂගේ අනුදැනුමකින් තොරව ඔහුද ඒ වැඩවල සිටින බව හැඟවීම මේ භාණ්ඩ නැවත ලබා ගැනීමට හේතු වී ඇත.


සමාජයේ ඕනෑම සිඳුවීමකදි ඒ හා සම්බන්ධ විශේෂඥ දැනුමක් නැතත් උන් වහන්සේ මැදිහත් වී සභ්‍ය නොවන වදන් භාවිතා කරමින් කරන ප්‍රකාශ බෞද්ධයන් අතර ද විශාල පිළිකුලකට භාජනය වනු දැක ඇත.මේ තත්ත්වය නිසා අධිකරණය එක් අවස්ථාවක ඔහුගේ මානසික සෞඛ්‍යය පරික්ෂා කරන ලෙස ද නියෝගයක් ලබා දී ඇත.එහෙත් සමාජ විද්වතුන් ඇතැමෙක් පවසන්නේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය (Attention seeking) ලබා ගැනීම වෙනුවෙන් ඔහු භික්ෂු විනය නොතකා කටයුතු කරන බවය.


අසභ්‍ය වචන භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ හැසිරෙන රාජාංගනේ හාමුදුරුවන් ආගමික සහජීවනයට බාධා කිරීම, රාජ්‍ය නායකයන්ට අපහාස කිරීම සහ විනය විරෝධි හැසිරීම නිසා දැඩිව දෝෂාරෝපනයට ලක් වූ අයෙකි.මේ කාරණා නිසාම භික්ෂු විනය නොසළකා වැඩ කිරීම ගැන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් 2025 අප්‍රේල් 2 වන දින උන්වහන්සේව සංඝභාවයෙන් නෙරපා හැරීමට (Expelled) තීරණය කරන ලදී. මෙම තීරණය බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන වෙත ද නිල වශයෙන් දැනුම් දි ඇතත් උන් වහන්සේ තවමත් චීවරය සහිතව ස්වාමින්වහන්සේ නමක් ලෙස ඔහුට අවබෝධයක් හෝ දැනුමක් නැති කාරණා වෙනස් කරන ලෙස රජයට ද බලපෑම් කරමින් හැසිරෙමින් ඇත.
මේ අවස්ථාවේ උන් වහන්සේගේ සිවුරේ එල්ලී තමන්ගේ උවමනාවන් වෙනුවෙන් අනුන්ගේ පහනෙන් එළිය බලන්නට උත්සාහ කරන්නන් ද සිය නිකායෙන් පවා ඉවත් කරන්නට තරම් විනය ගැටළු ඇති භික්ෂූන් වහන්සේ නමක් සමඟ සමාජය ඒකරාශී කරන්නට අනුබල දෙමින් ඇත.විනය නීති මත නිකායෙන් නෙරපා හරින ලද සිය මහනදම් හෝ නිවැරදිව කළමණාකරනය කර ගැනීමට නොහැකි වූ අයෙකු,ඔහුට ආගන්තුක ක්‍රිකට්වල කළමනාකරනය සිදු විය යුතු ආකාරය කියද්දී ඒ පසුපස පෙළ ගැසෙන්නට තරම් සමාජය තුළ නිද්‍රාශිලී මිනිසුන් සිටීම කණගාටුදායක තත්ත්වයකි.