රනිල් ඝාතකයෙක් ද යනුවෙන් කවුරුන්හෝ ලාංකික වාමාංශිකයෙකුගෙන් හෝ අරගල කරුවෙකුගෙන් විමසුව හොත් ඊට ලැබෙන පිළිතුර ඉතා නිශ්චිතය. එනම් රනිල් වධකයෙක් බවත් බටලන්දේ පවත්වාගෙන ගිය වධකාගාරය පවත්වාගෙන ගියේ ඔහුගේ උපදෙස් මතබවත් එබැවින් රනිල් නිසැකවම තරුණයන් සියගණනක් වධහිංසා වලට ලක්කොට මරාදැමූ බවත් එම වාමාංශිකයා හෝ අරගලකරුවා නිශ්චිතවම පවසනු ඇත.
එහෙත් නැවත ඔහුගෙන් 89 අරගලය යම්හෙයකින් ජයග්‍රහණය කළේ නම් ඔබලා රනිල්ලාට කරන්නට හිටියේ කුමක්දැයි ඇසුවොත් ඔහුට ඊට නිශ්චිත පිළිතුරක් දීමට හැකිදැයි අවිනිශ්චිතය.
ඇත්තටම 89 අරගලය තුලදී බලය 50ට 50 අනුපාතයට උච්චාවචනය වනවිට දෙපාර්ශවයෙන්ම එහි ජයග්‍රහනය උදෙසා බලයට බලය පාවිච්චි කරන ලදී. මේ බලය ඉන් කුමන පාර්ශ්වය ජයගත්තද අනෙක් පාර්ශ්වය පරාජයේ වන්දිය ලේ වලින් ගෙවිය යුතුමවිය. 89 මැදභාගය වනවිට අරගලයේ සිටි අපත්, ඊට ප්‍රතිපක්ෂව සිටි රනිල්ලාටත් එක්කෝ ජයග්‍රහණය නැත්නම් මරණය යන දෙකෙන් එකක් තෝරාගැනීමේ අනිවාර්‍යය තාවය අභිමුඛවිය.
“මව්බිම නැත්නම් මරණය”යනුවෙන් අපවිසින් සටන් පාඨයක් තෝරාගත්තේද ඒ අවස්ථාවේ අප මුහුණදුන් බැරෑරුම් යතාර්ථය මනාව පෙන්නුම් කිරීමක් ලෙසයයි මට හැඟේ. එයින් කියවෙන්නේ මව්බිම අපි දිනන්නේ නැතිනම්, එනම් අපගේ අරගලය ජයග්‍රහනය කිරීමට නොහැකිවන්නේනම් නිසැකවම අපට උරුම වන්නේ මරණය බවයි.
අපට විරුද්ධ පාර්ශ්වය වන රනිල්ලාට අත්වී තිබුනේද ඒ ඉරණම මිස වෙන කිසිවක් නොවේ. ඔවුන් ඒ අරගලය පරාජය නොකලේනම් නිසැකවම ඔවුනට අත්වීමට තිබුනේද මරණයම මිස වෙනත් කිසිවක් නොවේ. එබැවින් එදා අපගේ අරගල කන්ඩායමද ඊට ප්‍රතිවිරුද්ධ රනිල්ලාගේ කන්ඩායමද බලයට බලය පෙන්වමින් බලය උරගා බැලීමේ මාරාන්තික සටනක යෙදුනෙමු. එය හරියටම “ඌරාවලේ” සටන මෙනි.
විශාල ගැඹුරු වලක් සාදා එහි අඩියේ අතිශය තියුනු උල් හිටුවා එම වල මතුපිට හරහට දමන ලද ලී කොටයක් උඩ දෙදෙනෙකු මාරාන්තික සටනක් අරඹනවිට පරාජිතයා අනිවාර්‍යයෙන් කොටයෙන් පහලට වැටී තියුනු උල්වල ඇනී මරුමුවට පත්වීම අනිවාර්‍යය තත්වයයි. දැන් මේ පරාජයට පත්වන තැනැත්තාගේ පාර්ශවයන් විසින් කොටය උඩ ඉතිරිවු තැනැත්තාට “මිනීමරුවා” යනුවෙන් අවලාද නැගීමෙන් පලක් නොමැත. මක්නිසාදයත් ඌරාවලේ සටනට එන ඕනෑම කෙනෙක් ඔහුගේ ඉරණම එක්කෝ ජයලබා කොටය උඩ ඉතිරිවීමෙන් තම ජීවිතය බේරෙන බවත්, එසේත් නැත්නම් පරාජයට මුහුනදී කොටයෙන් පහලට වැටී තියුනු උල් ඇනී මරණය තෝරාගැනීමට සිදුවන බවත් හොදාකාරවම දන්නා බැවිනි.
අප සහභාගිවූ 89 අරගලයද ඌරාවලේ සටනක් බවට අවසානයේ පත්වූ බැවින් එහිදී අත්වීමට නියමිත ඉරණමද අපි හොදාකාරවම දැන සිටියෙමු.
අනිත් අතට පවතින රාජ්‍ය ට එරෙහිව කැටපෝලයක් අතට ගත්තද ගැලවිල්ලක් නොවන බව අපි දැන සිටියෙමු. එසේ දැනසිටියදීම අපි පවතින ධනේශ්වර රාජ්‍ය ට එරෙහිව ආවුධ අතට ගත්තෙමු. එබැවින් ආපසු හැරීමක් කෙසේවත් නොමැති බවත් අපි ඉතාමත් හොඳින් දැනසිටියෙමු. අපි අරගලයට සහභාගි වුනේම මෙම සවිඤ්ඤාණකත්වය ඇතුවමය.
දැන් මේ රාජ්‍ය යනු කුමක්දැයි මීට බොහෝ කලකට පෙර මාක්ස්-එංගල්ස් විසින් ඉතා හොඳින් පැහැදිලි කරදෙන ලදී. රාජ්‍ය යනු මර්ධන යන්ත්‍රයන් දියත් කරන ආයතනයක් බවත් ඔවුන්ගේ ප්‍රධාන මර්ධන ටූල් සෙට් එක රාජ්‍ය යේ ගොඩනගා ඇති ආරක්ෂක අංශය බවත්, ඒ ආරක්ෂක අංශ පුරුදු පුහුණු කොට ඇත්තේම රාජ්‍ය යේ ආරක්ෂාවට මිස වෙන කිසිවකට නොවන බවත්, අණලද විගස ස්ථානය, කාලය, පුද්ගල තරාතිරම, හේතුව නොබලා මර්ධනය ඇතිකිරීම ඔවුන්ගේ “පරම” කාර්‍යභාරය බවත් මාක්ස්-එංගල්ස් ලා පැරිස් කොමියුනය පවා උදාහරණයට ගෙන පහදාදෙන ලදී.
ඒ අනුව ලොව කොතැනකහෝ පවතින්නාවූ ඕනෑම රාජ්‍ය යකට විරුද්ධව එහි මර්මස්තානයන් වන පාර්ලිමේන්තුව වැනි ආයතන වටලන්නේ නම්, රාජ්‍ය කටයුතුවලට බාධා ගෙනදෙන්නේ නම් ඔවුන් ඊට විරුද්ධව ආරක්ෂක අංශය යොදවා පහරදීම කරනු ඇත. හෙට ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ හෝ එංගලන්තයේ හෝ ඇමරිකාවේ හෝ මෙකී රාජ්‍ය මර්මස්ථාන වලට බාධා පමුණුවන කවර පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මුහුනදීමට සිදුවන්නේ එකම ඉරණමකටය. ඊටත් එහා ගොස් මේ මහා ප්‍රජාත්‍රන්ත්‍රවාදී සහ මානව හිමිකම් රකින රටවල් වල යම්කිසිවෙකු පිහි කොටයක් අතින් රැගෙන පාරේ ගියහොත් සිදුවන්නේ හමුදාව පැමිණ ඔළුවටම වෙඩි තැබීමයි. ඒ ජනතාවගේ ආරක්ෂාවට බව ඔවුන් පසුව මාද්‍ය හරහා කාරණය පැහැදිලි කරනු ඇත. ඉදින් පැවති රජයකට එරෙහිව T-56, AK-47, රිපීටර්, ෂොට්ගන්, ගල්කටස් ආදි මෙකී නොකී ආයුධ රැගෙන සංවිධානය වී සංවිධානාත්මක ව රාජ්‍ය ට විරුද්ධව ප්‍රහාර එල්ල කරන්නේනම් පවතින රජය ඊට උත්තර දෙන ආකාරය “රහසක්” නොවේ. එය වැඩිහිටියන් නොවූ, පුරවැසියන් නොවූ චූටි උක්කුං බබාලාට නොතේරුනද ඒවා රැඩිකල් දේශපාලනය කරන අය ඉතා හොඳින් දනී.
එබැවින් රාජ්‍ය ට එරෙහිව ආයුධ සන්නද්ධ වන ඕනෑම අයෙකු මේ කරුණු හොඳින්ම දනී. ඒ සියල්ල දැනගෙන “රනිල්” ඝාතකයෙක් බවට චෝදනා කිරීමේ පදනම මම ප්‍රශ්න කරන්නේ රනිල්ට ඇති ලැදියාවකට නොව වාමාංශිකයින් ලෙස මේ කරුණු හරිහැටි ලෙහාගැනීමටය.
තවත් අතකින් රනිල් ඝාතකයෙක්වී ෆොන්සේකා ඝාතකයෙක් නොවී වීරයෙක් වූයේ කෙසේද ?
ඒ මගේ ඊලඟ ප්‍රධාන තර්කයයි. රනිල් වධකාගාරවල ට අණදෙමින් ඩග්ලස් පීරිස්ලා මෙහෙයවමින් මගේ ආදරණීය ශිෂ්‍ය නායක (එවකට නිෂ්මි, ලෙනෝරා ආදීන්ගේ සංවිධායක) පියසිරි සහෝදරයා ඇතුළු සිය ගණනක් දසවදදී මරුමුවට පත්කරන්නට ඇත. අඩුමතරමින් ඩග්ලස් පීරිස්ලාට එසේ කරගෙනයාමට පහසුකම් සපයන්නට ඇත.
ඒ අතර තුරදී සරත් ෆොන්සේකා ඔය කියන තරමේ වීරයෙකු වූයේ කෙසේද? ඔහු 89 අති භීෂණකාරී තත්වය තුල කන්තලේ ප්‍රදේශය භාරව සිටි ප්‍රධාන හමුදා නිලධාරියා බව රහසක් නොවේ. ඔහුගේ පාලනය යටතේ තිබූ කන්තලේ ප්‍රදේශය සහ ත්‍රිකුනාමලයේ අල්ලාගත් ජවිපෙ සහෝදරවරුන්ට බුරියානි කුකුළ් මස් සමග තුන්වේල ආහාර ලබාදී TV නරඹමින් පුටු උඩ වාඩිවී සිට නැවත හමුදා වාහනවලින්ම ගෙවල් වලට ඇරලවා ඔවුන් කරගෙන යන දේශප්‍රේමී අරගලයට සිය ප්‍රනාමය පුද කලාද? නැත, කිසිසේත්ම නැත. ඇත්තටම එවක ලුතිනන් කර්නල් වරයෙකුව සිටියදී ත්‍රිකුනාමලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් සිටි සරත් ෆොන්සේකා මහතා භාරයේ තිබුනු කන්තලේ සීනි කම්හලේ වධකාගාරය තුලදී පමණක් එදා ජවිපෙ අරගලයේ සිටි සොයුරන් 80 ක් පමණ වදදී මරාදමන ලදබව ධර්මන් වික්‍රමරත්න මහතාගේ “සටනින් සටන” ජවිපෙ දෙවන කැරැල්ල ග්‍රන්ථයේ පෙන්වා දෙයි.
ෆොන්සේකා කලේද එදා රනිල්ලා කල හරියමය. ත්‍රිකුනාමලයේ ජවිපෙ පූර්ණකාලිකයෙක් ලෙස කටයුතු කරමින් සිටි පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ පළමුවසර ශිෂ්‍ය යෙකුව සිටි හෙට්ටිපොල රණසිංහ සොයුරා හමුදාවමගින් පැහැරගෙන ගොස් ෆොන්සේකා අණදුන් කන්තලේ කඳවුරේ රඳවාගෙන වතුර පවා නොදී දරුනු ලෙස පහරදී මරාදැමුවේ කෙසේද?
ඔය කියන දැනට අවුරුදු දෙකකට ප්‍රථම 69 ලක්ෂයක් ජනතාවගේ චන්දෙන් පත්වී රටබේරාගැනීමට පැමිණි සපුමල් කුමරා 89 දී මාතලේ හමුදා අණදෙන නිලධාරියා වශයෙන් සිටියදී මාතලේ ජවිපෙ ක්‍රියාකාරීන් විවිධ හමුදා කඳවුරු තුලට සහ රෙඩ්බානා කඳවුර, තානායම් ගොඩනැගිල්ල, නාඋල අරංගල වී ගබඩාව වැනි තැන්වලට ගාල් කරමින් සිදුකලේ කුමක්ද? ඒත් රනිල්ලා එදා කරපු හරියමය. ඊට දශමයකින්වත් වෙනස් යමක් නොවේ.
එසේම උඩුගම්පොලලා, ගඩාෆිලා, අපිට ඝාතකයින් වී උතුරේ තරුන සංහාරය දියත්කල කොබ්බෑකඩුවලා, විජය විමලරත්නලා, කමල් රණතුංගලා, ශවේන්ද්‍රලා අපිට වීරයින් වූයේ කෙසේද? තවත් එහි දිගුවක් ලෙස ගත්විට දකුණේ අරගල නායකයින් සිය ගණනක් වදදී මරාදැමූ මුතාලිෆ්ලා අපිට එක් නිමේශයකදී ඝාතකයින්වී ඔවුන්ම උතුරේ තරුණයින් ඝාතනය කරනවිට අපට ඔවුන් වීරයන් වන්නේ කෙසේද?
එසේම අපගේ 89අරගලයේ අවිදැරූ අප සගයින්ද විරුද්ධවාදීන්ගේ ගෙවල් වලට ගොස් කලේ කුමක්ද? අපගේ අරගලයට විරුද්ධ ලෙස අපදුටු 6000ක් දෙනාට අපගේ අත්වල තිබූ අවිවලින් අපි කලේ කුමක්ද? හමුදාවන් මගින් කලදේම නොවේද? එවිට අපි වීරයන් වී අපව මැරූ අයපමණක් ඝාතකයින් වන්නේ කෙසේද? විජයකුමාරතුංග, සාගරිකා ගෝමස්, දයා පතිරණලා මියගියේ සර්පයන් දෂ්ඨ කිරීමෙන් නොව ඒවාද ඝාතන බව අපි පිලිගත යුතුව ඇත.
තවත් අතකින් බැලූවිට උතුරු-නැගෙනහිර දිග්ගැසුනු සිවිල් යුද්ධය සඳහා ලෝක බලවත් ජාතීන්ගේ අනුදැනුම ඇතිව යුද්ධය සඳහා සාම සැලැස්මක් සමග යුද්ධයට දේශපාලන විසඳුමක් ගෙනපැමිණි රනිල් ද්‍රෝහියෙක් වනවිට, දහස් ගණනකට මරුකැඳවමින් උතුරු නැගෙනහිර අමුසොහොනක් කරමින් යුද්ධය ලේ වලින් නිමාකල මහින්ද ඝාතකයෙක් නොවී වීරයෙකු වූයේ කෙසේද? යුද්ධය දිනූ පසු ලලිත්-කූගන්, සන්ඩේ ලීඩර් කර්තෘ ඇතුළු විශාල ප්‍රමාණයක් සුදු වෑන් මගින් පැහැරගෙන ගොස් මරාදැමූ බව එවකට බලයේ සිටි මහින්ද නොදැන සිටීමට තරම් තොත්ත බබෙක්ද?
තවත් අතකින් දැන් හොඳාකාරව පෙනෙන පරිදි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය මගින් ගොඩනගන “විශ්‍රාමික හමුදා සහ පොලිස් විරුවන්ගේ සංසදයන්” තුල ඉහලින් සිටින්නේ කව්ද? එදා 89 දී අරගලය ලෙයින් යකඩින් චප්පකරමින් තරුනයින් දහස් ගණනක් ඝාතනය කල, තරුණියන් සිය ගණනක් දූෂණය කොට මරාදැමූ එවකට ප්‍රදේශ පුරා මර්ධනය දියත්කල කඳවුරු භාරව සිටි සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්ලා, ලෙෆ්ටිනන්ට්ලා, කැප්ටන්ලා, මේජර්ලා, කර්නල්ලා නොවේද? පොලිසියේ සිටි එස් අයි ලා අයි පී ලා, ඒඑස්පී ලා නොවේද? කොටින්ම එදා රෝහණ විජේවීරට පළමු වෙඩිල්ල බොරැල්ල ගෝල්ෆ් පිටියේ තැබූ තෝරදෙනියලා දැන් සිටින්නේ ජාතික ජනබලවේගය තුල උත්සවවල පොල්තෙල් පහන් දල්වමින් නොවේද? ඔහු විජේවීරගේ ඝාතකයා නොවේනම් කවුරුන්ද?
කරුණු මෙසේ හෙයින් අප වාමාංශිකයින් ලෙස මේ වඳුරු කුණුහරුපය හරියාකාරව වටහාගෙන නොගෙන එන එන අවස්ථාවට උචිත ලෙස ඒ ඒ සංදර්භයන් තුලදී පුද්ගලයින්ට වීරයෝ ලෙස හෝ ද්‍රෝහීන් ලෙස ලේබල් ඇලවීමට ගියහොත් එම ලේබල් ඇලවීමටත් කලියෙන් ගැලවීමට සිදුවන බවත්, ගැලවීමටත් කලියෙන් නැවත ඇලවීමට සිදුවනබවත් අප තරයේ මතක තබා ගතයුතුය.
එබැවින් අප ගෙනහැරපානා මෙම ම්ලේච්ඡත්වය රනිල් ගෙදරින් ගෙන ආ දෙයක්දැයි අප විමසා බැලිය යුතුය. දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නැතුවා වගේම සදාකාලික ද්‍රෝහීන් මෙන්ම සදාකාලික වීරයන්ද නොමැත. තවත් සරලව කියන්නේනම් පළාත්සභා ගිවිසුමට පක්ෂවී පළාත් සභා තේරීපත්වූ මංත්‍රීවරු අපගේ අරගලය තුලදී අප අතින්ම ඝාතනයවූ නමුත් ඊට වසර ගණනාවකට පසුව අපිත් මහත් උජාරුවෙන් පළාත් සභා තරඟකොට මන්ත්‍රීවරු පත්කරගත්තේ කුමන පදනමක් යටතේද? පළාත් සභා හොඳ විසඳුමක් බව අපි පිළිගත්තේ එතරම් ප්‍රමාදවීද? එවිට ඊට කලින් මියගිය පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පවුල් වලට අපට කීමට ඇත්තේ කුමක්ද?
මාක්ස් කීවාක් මෙන්ම සමහර සංදර්භයන් තුලදී වීරයන් මතුවෙන්නේ ඊලඟට මතුවන වීරයන් අතින් බිම ඇඳවැටීමට නියමිතවය. ඔය කියන ද්‍රෝහීන්ද එසේමය. ඔය කියන ඝාතකයින්ද එසේමය. ඝාතකයෙකු වීරයෙකු බවට පත්වීමට යන්නේ බලපාන්නාවූ කොන්දේසීන්වල වෙනස් වීමක් පමණි. එදා කන්තලේදී හමුදා නිලධාරියෙකු ලෙස අපව තිරශ්චීන ලෙස මර්ධනය කල ෆොන්සේකා අද අරගලවලට සුදු ඇඳගෙන පැමිණිවිට අපටම ඔහුව වීරයෙකු වන්නේ එබැවිනි.
අපිදැන් රනිල් කවුදැයි හඳුනාගනිමු. රනිල් යනු වෙනින් කවුරුත් නොව ධනේශ්වරයේ අංක එකේ ඒජන්තයාය. ලාංකීය ධනේශ්වර හෙජමොනිය තුල ඔවුන්ගේ අංක එකේ වීරයාය. දැනට ලංකාවේ සිටින අති සූක්ෂම ලෙස දේශපාලනය හසුරුවන්නා මොහුය. බොහෝ වාමාංශිකයින් සිතා සිටින ලෙසත්, විග්‍රහ කරගන්නා ලෙසත් රනිල් යනු තනිවම ජනාධිපති පුටුවට ආවෙක් නොවේ. ඔහු පිටුපස බටහිර ධනවාදී රටවල් සිටිබවත් ඉදිරියේදීද ඔවුන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවත් අපි අවබෝධ කොටගත යුත්තෙමු.
ඇත්තටම අපි 88-89 වකවානුව තුලදී JR ගේ භූමිකාව වැරදිලෙස තේරුම් ගත්තා හෝ වැරදිලෙස අවතක්සේරු කොටගත් බවක් මම දකිමි. එලෙසින්ම මේ වනවිට වාමාංශිකයින් සහ අරගල කරුවන් රනිල්ව වැරදි ලෙස කියවා ගත් බවත් වැරදි ලෙස අවතක්සේරු කරගත්බවත් මම දකිමි. රනිල් ගෝඨාභය එළවූ තැන් පටන් එක ආසනයකින් පාර්ලිමේන්තුවේ එල්ලී සිටිමින් ජනාධිපති පුටුව කරා පැමිණි අයුරුත් ඊට සතියකට පමන පසු ගෝල්ෆේස් අරගල වාෂ්ප වූ අයුරුත්, ගෝඨාභයට දීමට නොහැකිවූ තෙල් ගෑස් එකදිගට ඔහු නිකුත් කිරීමට සමත්වූ අයුරුත්, එතැන් පටන් IMF හරහා ණය ගෙවීම් සහ රටේ බංකොලොත් තත්වය සමහන් කරගත් අයුරුත් සලකා බැලූකල එදා JR සෑදූ ව්‍යවස්ථාව අද දක්වා වෙනස් කරගැනීමට නොහැකිවාක් මෙන්ම රනිල්ගෙන් පසු බලයට එන ඕනෑම බලවේගයකටද අනුගමනය කලහැකිව ඇත්තේද, අනුගමනය කලයුතුව ඇත්තේද රනිල් අනුගමනය කල ක්‍රමවේදයම බවට පත්ව ඇතිවාට කිසිදු සැකයක් නොමැත. ඔහු එසේ වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට වෙනත් බලවේගයකට ඉඩතබා නික්ම යන්නේද නැත.
ජාතික ජනබලවේගය බලයට පැමිණියද, සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය බලයට පැමිණියද ඔවුන් හමුවේ ඉතිරිව පවතින යථාර්තය වන්නේද IMF ගොස් ඔවුන්ගේ යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව රනිල් පරදා ඉදිරියට බලයට එන බලවේගද රනිල් අනුගමනය කල ක්‍රමවේදයම අනුගමනය කරගෙන යද්දී දැන් රනිල්ට හත්පොලේ දමාගෙන බනින ජනතාව හුරේ දමමින් තමන්ගේ බලයට පැමිනි බලවේග රනිල්ගේ වැඩපිලිවෙල ම කරගෙන යද්දී ඔල්වරසන් දෙනු ඇත. ඒවා “මාර” වැඩලෙස හුවාදක්වනු ඇත. රනිල් නිහඩවම තම වැඩපිලිවෙල බලයට පැමිණි අළුත් බලවේගද ක්‍රියාත්මක කරන අයුරු නිසංසලේ නිවසට වී බලාසිටිනු ඇත.
රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක් වේද? -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අරගලයේ සිටි අරගල කරුවන් ප්‍රමුඛ වාමාංශිකයින් සිතා සිටියේ 69 ලක්ෂයේ ගෝඨාභය එළවූ විදියට වඩා ඉතාම පහසුවෙන් එක් ආසනයක් පමණක් ඇතිව ජනපතිවූ රනිල් එළවා දැමිය හැකි බවය. ඒ අනුව ධනවාදය වැඩකරන ආකාරය මොවුනට තවමත් හිතාගැනීමටවත් නොහැකි බව එයින් පැහැදිලිවේ. රනිල් එළවීමේ සටන රනිල් බලයට පැමිණි සිටදා ඇරඹුවද එය අද දක්වාම පුස්සක් බවට පත්විය. ඉදිරි මාස 6 ටත් එය එසේම වනු ඇත. එයට හේතුව ධනවාදය අපට ලංකාවේ පමණක් පරාජය කොට අවසන් කිරීමට හැකිදෙයක් නොවීමය. ධනවාදය යනු ගෝලීය ප්‍රපංචයකි. එය අතික්‍රමනය කිරීම කලහැක්කේ තවත් ගෝලීය ප්‍රපංචයක් මගින් පමණකි. ලංකාව ඇත්තේ ලෝකය තුල නොව ලෝකය ඇත්තේ ලංකාව තුල බව සිතන අයට ධනවාදය පරාජයකිරීම තබා ඊට අලගු තැබීමට හෝ නොහැක. රනිල්ලා සමඟ අපට බොහෝ ඇරියස් බේරාගැනීමට ඇතිබව සැබෑය. නමුත් ඒවා බේරාගැනීමටනම් අප කලයුත්තේ රනිල්ලාට වඩා දියුණු මට්ටමින් සිතන වඩාත් දියුනු කටයුතු වලින් ඊට මැදිහත්වීමයි.
මර්මිලෝ වර්ගයේ ග්ලැඩියේටර් කෙනෙකු එරීනාවට පැමිණිවිට අමුඩය ගසාගෙන අතපය හතර පමණක් ඇතුව එරීනාවට ගොඩවී ග්ලැඩියේටර් වරයාව වහසිබස් පමණක් තෙපලමින් පිටුදැකිය නොහැක. ගම්වල කසිප්පු බීගෙන තරහ කාරයින්ගේ ගෙවල් ඉදිරියට පැමිණ සරම කැසපට ගසමින් “එලියට වරෙන් ඩෝ”, “කපනව ඩෝ” වගේ වහසිබස් පිඹීමෙන් හෝ “පොර ටෝක්” දීමෙන්වත් රනිල්ලා පරාජය කිරීමට නොහැක. රනිල් කලිසම අඳින විදියෙන් හෝ ළමයින් නොමැති හේතුවෙන් හෝ රනිල් පරාජය කිරීමට හෝ ඔහුගේ වැඩපිලිවෙල පරාජය කිරීමට නොහැක.
සමහරවිට රනිල්ලා පරාජය කරනු කෙසේ වෙතත් ඊලඟට බලයට එන බලවේග උද්ඝෝෂකයින්ගේ බෙලිකපා රනිල් ගෙනගිය වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කරනවිටත්, රයිස් කුකර් වලින් උයන ගැහැණුන් එකමිටට දර මිටට හුරුකරන විටත්, ඒවටත් එක්කම තමා අපට බලය දීල තියෙන්නේ කියන විටත්, ගෑස් පෝලිම්වල රවාගෙන සිටීමත් තහනම් වී හිනාවේගන සිටීමට නියම වනවිටත් රනිල්ගේ භූමිකාව ප්‍රමාදවී හෝ අවබෝධ වීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වීමටද ඉඩඇත. බාගෙදා ඉදිරියේ පත්වන බලවේගය කරනු ලබන ජනතා විරෝධී ක්‍රියා සහ මර්ධනයන් වලට මුහුණ දීමට රනිල් පවා එකතුකරගත් සන්ධානයන්ද ගොඩනගාගැනීමට සිදුවීමට ඉඩ ඇත.
~ රංජන සේනානායක
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අධ්‍යයන කවය)
“89- සහෝදරත්වය”
[email protected]
RN