අක්කර 3,000ක සංචාරක සිහිනය සහ කල්පිටියේ ‘ඇණහිටි’ යථාර්ථය!

රෂිකා හෙන්නායක මාර්තු 13, කොළඹ LNW :

ශ්‍රී ලංකා රජය මේ වන විට වෙරළබඩ ඉඩම් අක්කර 3,000ක් සංචාරක ව්‍යාපාරය සඳහා බදු දීමේ දැවැන්ත මෙහෙයුමක නිරතව සිටී. මෙය ආර්ථිකයේ 'ගැලවුම්කරුවා' ලෙස හුවා දැක්වුවද, මීට වසර 15කට පෙර ආරම්භ වූ කල්පිටිය ව්‍යාපෘතියේ අළු යට සැඟවුණු අසාර්ථකත්වය දෙස බැලීමේදී මෙය තවත් එක් 'මර උගුලක්' වීමේ අවදානමක් පවතී. හුදෙක් ඉඩම් බෙදා දීමෙන් පමණක් ආර්ථිකය ගොඩගත හැකි යැයි සිතීම, ප්‍රතිපත්තිමය වශයෙන් කරන බරපතල වරදක් බව කල්පිටියේ අත්දැකීම් අපට පසක් කරයි.

වසර 15ක නිහඬතාවය: කල්පිටිය අපට කියාදෙන බිහිසුණු පාඩම

2010 වසරේදී ‘කල්පිටිය ඒකාබද්ධ සංචාරක නිකේතන වැඩසටහන’ (KITRP) ආරම්භ වූයේ හෝටල් කාමර 4,000ක් සහ රැකියා 18,000ක් උත්පාදනය කිරීමේ දැවැන්ත බලාපොරොත්තු සහිතවය. කල්පිටිය අර්ධද්වීපයේ දූපත් 10ක් ආයෝජකයින් හත් දෙනෙකු වෙත බදු දුන්නද, අදටත් එම ඉඩම් බොහොමයක් කිසිදු ප්‍රයෝජනයක් නොගත් ‘නිහඬ බිම්’ බවට පත්ව ඇත. මේ හරහා විශාල ප්‍රාග්ධනයක් වසර 15ක් තිස්සේ සිරවී පවතින අතර, එය ජාත්‍යන්තර ආයෝජන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය බරපතල ලෙස පළුදු කර තිබේ.

"පාරිසරික යෝග්‍යතාවය, යටිතල පහසුකම් ධාරිතාව සහ ප්‍රජා පිළිගැනීම වැනි මූලික බාධාවන් නිරාකරණය නොකර, ඉඩම් බදු දීමේ පරිපාලනමය ක්‍රියාවලිය විධිමත් කිරීමෙන් පමණක් සාර්ථක සංචාරක ව්‍යාපෘති බිහි කළ නොහැක." - Smart Future මධ්‍යස්ථානයේ ප්‍රතිපත්ති වාර්තාව.

විශේෂඥ වෛද්‍යවරයකු පවා නොමැති, ඇඳන් 40ක රෝහලක් ඇති ප්‍රදේශයකට තරු පහේ සංචාරකයන් ගෙන්වා ගැනීමට සිතීම පවා විහිළුවක් නොවේද? කල්පිටිය සංචාරක කලාපයේ යටිතල පහසුකම් පවතින්නේ ඉතාම අශෝභන මට්ටමකය:

  • ජල අර්බුදය: ප්‍රදේශයේ දෛනික ජල අවශ්‍යතාවයෙන් සපුරාලිය හැක්කේ 54%ක් පමණක් වන අතර, දිනකට ලීටර් මිලියන 3.5ක හිඟයක් පවතී.
  • අපද්‍රව්‍ය අර්බුදය: දිනකට උත්පාදනය වන ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 132න් කළමනාකරණය කළ හැක්කේ මෙට්‍රික් ටොන් 5ක් පමණි.
  • සෞඛ්‍ය සේවය: මුළු ප්‍රදේශයටම ඇති රෝහලේ සේවය කරන්නේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු පමණක් වන අතර කිසිදු විශේෂඥ පහසුකමක් නොමැත.

මෙවැනි මූලික පහසුකම් පවා නොමැතිව සුඛෝපභෝගී සංචාරක පාරාදීසයක් ගැන සිහින මැවීම ප්‍රායෝගික නොවන බව ප්‍රතිපත්ති සම්පාදකයින් තේරුම් ගත යුතුය.

කල්පිටියේ බදු දුන් දූපත් බොහොමයක් පහත් මට්ටමේ පිහිටි, ගංවතුරට නිරන්තරයෙන් නිරාවරණය වන අවදානම් සහගත බිම් කොටස් වේ. මීට පෙර සිදුකළ මත්ස්‍ය වගා කටයුතු (Aquaculture) හේතුවෙන් කලාපයේ පාරිසරික සමතුලිතතාවය දැනටමත් බිඳී ගොස් ඇති අතර, නැවත රෝපණය කළ කඩොලානවලින් නොනැසී පවතින්නේ 18-22%ක් වැනි සුළු ප්‍රමාණයකි.

  • 31%ක වාර්තාවල දත්ත ලබාගත් මූලාශ්‍ර පවා සඳහන් නොවේ.
  • 45%ක වාර්තාවල සමාජීය බලපෑම් මැනීම සඳහා කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කර නැත.
  • 79%ක වාර්තාවල හානි අවම කිරීමේ පියවරවල සඵලතාවය පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් දක්නට නැත.

සුපිරි හෝටල්ද? සංචාරක අවශ්‍යතාද?

වත්මන් රජයේ සැලසුම් සහ ක්ෂේත්‍රයේ සැබෑ ඉල්ලුම අතර පවතින්නේ විශාල පරතරයකි. කල්පිටියට පැමිණෙන සංචාරකයින්ගෙන් 50%ක් පමණ සරුංගල් සර්ෆින් (Kite surfing) වැනි ක්‍රීඩාවලට ලැදි පරිසර හිතකාමී සහ අඩු පිරිවැය සංචාරකයින් (Budget travelers) වේ. එසේ තිබියදී, වෙල්ලයි දූපත්වල යෝජිත ‘ජලය මත ඉදිවන බංගලා’ (Overwater bungalows) වැනි සුපිරි ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වසර 15ක් තිස්සේ ඇණහිට ඇත්තේ ඒ සඳහා නිසි ඉල්ලුමක් නොමැති බැවිනි.

ඉඩම් දීමට පෙර කළ යුතු විධිමත් විමර්ශනය

මෙම අවුල ලිහා ගැනීමට නම්, පර්යේෂකයන් වන ආශානි කොට්ටගේ සහ ටෙහානි චන්ද්‍රසේන පෙරේරා යෝජනා කරන ‘පූර්ව-බදු රෝග විනිශ්චය රාමුව’ (Pre-leasing diagnostic framework) අත්‍යවශ්‍ය වේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (CCD), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) වැනි ආයතන අතර පවතින විසිරුණු පාලනය වෙනුවට ඒකාබද්ධ ප්‍රවේශයක් මෙහිදී යෝජනා කෙරේ. එහි ප්‍රධාන කුළුණු හතරකි: පාරිසරික ගැළපුම, යටිතල පහසුකම් සූදානම, පාලන හැකියාව සහ ප්‍රාදේශීය ප්‍රජාවගේ කැමැත්ත.

සංචාරක සංවර්ධනය යනු සිතියම් මත ඉරි ඇඳ ඉඩම් බෙදා දීම නොවේ. කල්පිටිය යනු සැලසුම් රහිත සංවර්ධනය විසින් රටකට උරුම කර දෙන අසාර්ථකත්වයේ ජීවමාන ස්මාරකයකි.