රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සදහා සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රට තුළ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතා අතර හදිසි හමුවක් අද (13) දහවල් අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාල බිඳවැටීමට විසඳුමක් ලෙස රුසියානු තෙල් මිල දී ගැනීමට අවසර දෙමින් පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟ එම සාකච්ජාව කැඳවා තිබේ.

රට තුළ අඛණ්ඩව ඉන්ධන සැපයුම සිදුකිරීම වෙනුවෙන් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා එහිදී සාකච්ජා කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානු රජයට දැන්වීමට තානාපතිවරයා එකඟතාව පළ කර ඇත. එමෙන්ම අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් මීට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවට ද තානාපතිවරයා පොරොන්දු වී තිබේ.

මෙම සාකච්ඡාව අතරතුර රුසියානු තානාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක රුසියාවේ සහාය හිමිවන බවයි.

මෙම හමුවට කම්කරු, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සහ අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම නිලධාරීහු ද එක්ව සිටියහ.