*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

මහ බැංකු මහ පොලියෙන් බැංකු බංකොලොත් වෙයි ද? නව මහ බැකුව එය වළක්වයි ද?

මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ මහ බැංකු විසින් තම මූල්‍ය ප්‍රතිපත්ති යටතේ පොලී අනුපාතය ඉහළ මට්ටමක පවත්වා ගැනීම හේතු කොට, බැංකු බිඳ වැටීම් සහ බුන්වත් වීම් මෙන්ම මූල්‍ය අර්බුදයන් හට ගැනීමට ඇති දැඩි අවදානම කෙටියෙන් ඉදිරිපත් කිරීම යි.

ලිපියේ පසුබිම 

මෙම ලිපියට පසුබිම සැපයෙන්නේ ඇමෙරිකාවේ පසුගිය මාර්තු 8  දින සිල්වර්ගේටේ බැංකුව ද, ඊට දින දෙකකට පසුව මාර්තු 10  දින සිලිකන්වැලි බැංකුව ද තැන්පත් කරුවන් විසින් කඩිමුඩියේ මුදල් ආපසු ගැනීම හේතු කොට බිඳ වැටීමේ සිද්ධිය මගිනි. මෙය 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදයේ දී සිදු වූ ආකාරයට ඉදිරියේ දී බැංකු සහ මූල්‍ය අර්බුදයක් ලෙස ව්‍යාප්ත විය හැකි බවට අනතුරු අඟවන මූල්‍ය වෘත්තිකයන් විසින් පවසන්නේ මෙම බැංකු දෙක බිඳ වැටීමේ සහ ඉදිරි බැංකු අර්බුදයේ වගකීම ඇමෙරිකානු මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය භාර ගත යුතු බව යි.  එවැනි අර්බුදයක් හට ගැනීම නිවැරදි ලෙස පුරෝකතනය කළ නොහැකි වීමත්, එවැනි අර්බුදයන් හට ගැනීමේ අවදානම නිරන්තරයෙන් පැවතීමත්, හේතු කොට එවැනි අනතුරු සංඥාවන් නිකුත් කිරීමේ දෝෂයක් නොමැත. ඊට හේතුව, අදාළ රාජ්‍ය බලධාරීන්ගේ ඇස් ඇරවීමට ඒවා උපකාරී වන බැවිනි.

ඕනෑම බැංකුවක් පවතින්නේ තැන්පතු හිමියන්ගේ විශ්වාසය මත ය. එය කුමන මොහොතේ බිද වැටේ ද? යන්න පැවසීමට ජගතුන් නොමැත. තැන්පතු හිමියන් රැසක් එකවර මුදල් ආපසු ගැනීමට පෙළඹීම හේතු කොට මහජනයාගේ ඇස් ඉදිරිපිට බැංකුවක් බිද වැටේ. එහෙත්,  එසේ වීමට හේතූන් බැංකුවේ මුදල් කළමනාකරණය කිරීමේ දුර්වලතාවන් සහ බැංකු පද්ධතියේ ව්‍යාපාරික හැසිරීමේ ජාලය තුළින් කාලයක් තිස්සේ වර්ධනය වන සිද්ධි දාමයකි. එබැවින්, බැංකුවක් බිඳ වැටීමෙන් පසු විශ්ලේෂකයන් විසින් එම හේතූන් ජනිත වූ ආකාරය විචිත්‍ර ලෙස ගෙන හැර දැක්වීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. එය ඉහත දැක්වූ බැංකු දෙක පිළිබඳ ව ද මේ දිනවල දැකිය හැකිය.

සිල්වර්ගේටේ බැංකුව යනු ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය පදනම් කර ගෙන බැංකු ව්‍යාපාරික කටයුතු කළ බැංකුවකි. සිලිකන්වැලි බැංකුව යනු තොරතුරු තාක්ෂණ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙහි ආරම්භ ව්‍යවසායකයන්ට ප්‍රාග්ධන අරමුදල් සැපයීම ආශ්‍රිතව බැංකු ව්‍යාපාරික කටයුතු කළ බැංකුවකි. එය 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු බිඳ වැටුන දෙවන විශාලතම බැංකුව වන අතර වත්මන් ඇමෙරිකාවේ 16 වැනි විශාලතම බැංකුව වෙයි. 

තවමත් බිඳ නොවැටුන ද, තැන්පතු හිමියන්ගේ මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයට, එනම්, බූන්වත් තත්ත්වයට පත් වී ඇති බැංකු රාශියක් පැවතිය හැකිය. එහෙත්, බැංකුවක් බිඳ වැටීම ලෙස මාධ්‍යය සහ මහජනයා විසින් දකින්නේ තැන්පතු හිමියන් එකවර මුදල් ආපසු ගැනීමට පෙළඹීම හේතු කොට දොරවල් වසා දමන බැංකුය. එසේ දොරවල් වැසීම බැංකු නියාමකයන් විසින් සිදු කරනු ලැබේ.

මෙම බැංකු දෙක වැසී යාමට මෙන්ම ඉදිරියේ දී බැංකු සහ මූල්‍ය අර්බුදයක් හට ගත හැකි වීමේ අවදානම පැවතීමට හේතූන් ලෙස දැක්වෙන සාධකයන් අතර ඇමෙරිකානු මහ බැංකුව විසින් පසුගිය මාස 11 ක් තුළ පොලී අනුපාතය 0.25% සිට 4.75% දක්වා අටවරක දී වේගයන් ඉහළ දැමීමත්, ඉදිරියටත් තවත් ඉහළ දමන බවට ප්‍රකාශ කිරීමත් හේතු කොට ආර්ථික සහ මූල්‍ය පද්ධතියේ හට ගෙන ඇති ආතතිය සහ කම්පනය තුළින් හට ගෙන ඇති බව ආර්ථික විද්‍යාඥයන් සහ මූල්‍ය විශාරදයන් රැසක් ප්‍රකාශ කොට ඇත. 

මහ බැංකු පොලී අනුපාතය ඉහළ දැමීමේ වත්මන් පසුබිම 

2022 වර්ෂය ආරම්භයේ සිට ලෝකය පුරා මහ බැංකු විසින් ශීත කාමරවල සිට තම පරිගණකවල යාවත්කාලින වන ඉලක්කම් දෙස බලමින් තරගකාරීව පොලී අනුපාතයන් ඉතිහාසයේ නොවූ විරූ වේගයෙන් ඉහළ දමමින් සිටී. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ අධික ලෙස ඉහළ යන උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතයන් ඉහළ දමන බව යි. මහ බැංකු විසින් උද්ධමනය ලෙස සලකන්නේ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ප්‍රතිශතක ඉහළ යාම යි. එබැවින්, ඔවුන් විසින් මාසික පාරිභෝගික මිල දර්ශක ඉලක්කම දෙස බලමින් පොලී අනුපාතය ඉහළ දැමීම සිදු කෙරේ. එසේම, පොලී අනුපාතය ඉහළ යාම සඳහා ආර්ථිකයට සැපයෙන මුදල් ප්‍රමාණය ද පහළ දැමීමට ද මහ බැංකු ක්‍රියා කෙරේ. ඊට හේතුව, පොලී අනුපාතය යනු මුදලේ මිල බැවින් මිල ඉහළ දැමීමට සැපයුම පහළ දැමීම අවශ්‍ය වීම යි.

පොලී අනුපාතය ඉහළ යාම තුළින් ආර්ථිකය මුහුණ දෙන අපහසුකම් පිළිබඳ ව මහජනතාව මැසිවිලි නගන විට, මහ බැංකු ඉහළ නිලධාරීන් පවසන්නේ රජය විසින් මහ බැංකුව වෙත නියම කොට වගකීම වන්නේ ආර්ථිකයේ මිල ස්ථායිතාවය පවත්වා ගැනීම බවත්, ඒ සඳහා තමන්ට ඇති ප්‍රතිපත්ති මෙවලම වන්නේ පොලී අනුපාතය ඉහළ දැමීම බවත් ය. ඔවුන්ට අනුව මිල ස්ථායිතාවය යනු උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගෙන යාම යි. එම මට්ටම සංවර්ධිත රටවල 2% ක් ද, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ 4%-6% ක් ද වෙයි. එබැවින්, කොතරම් මහජන මැසිවිලි නැගුව ද, මහ බැංකු විසින් රෝබෝට්වරු මෙන් උද්ධමනය එම මට්ටමට පහළ බසින තෙක් පොලී අනුපාතය ඉහළ දැමීම නවතන්නේ නැත.

ඉහළ මහ බැංකු පොලී අනුපාතයේ අන්තරා දායක අතුරු ප්‍රතිඵල

ඉහළ පොලී අනුපාතයේ ප්‍රතිඵල මහජනතාව හොඳින් දනී. ඉහළ පොලී අනුපාතය තුළින් තැන්පතු හිමියන්ට තාවකාලික සතුටක් ලැබුණ ද, ඔවුන් ද කෙටි කලකින් ආර්ථික දුක් රැල්ලට හසු වනු ඇත. පොලී අනුපාතය ඉහළ යන විට නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, නිෂ්පාදනය පහළ යාම, රැකියා අහිමි වීම, ආදායම් පහළ යාම, බහුතර මහජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටීම, ඉහළ ආදායම් ස්ථරයේ ආදායම් ඉහළ යාම, ආදායම් ව්‍යාප්ති විෂමතාවය ඉහළ යාම සහ දරිද්‍රතාවය ඉහළ යාම යනාදිය ආර්ථිකයන් සාමාන්‍යයෙන් අත් විදින ප්‍රතිඵල බව පොදු දැනීම යි. මෙය, රටේ මහජන කැළඹීම් හට ගෙන, දේශපාලන ස්ථායිතාවය කැඩී, රජයන් බිද වැටීමට ද හේතු වෙයි. එය, සමස්ත ආර්ථිකයම අස්ථායි කෙරෙන තත්ත්වයකි. වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රාශියක මෙම තත්ත්වය දැකිය හැකිය.

එහෙත්, මහ බැංකු පවසන පරිදි උද්ධමනය පහළ බසින බවට ඔවුන් දරන ගෝත්‍ර වාදී මුදල් සංකල්පය හැර වෙනත් සැබෑ ලෝකයේ දත්ත නොමැත.

ඉහළ පොලී අනුපාතය කාලයක් පුරා පැවතීම තුළින් බැංකු බිඳ වැටීම සහ බංකොලොත් වීම සිදු විය හැකිය. එමගින්, ආර්ථිකයන් බංකොලොත් වීමේ දෙවන රැල්ලක් හට ගැනීමේ දැඩි අවදානමක් පවතින අතර ඒ පිළිබඳ ව බහුතර ජනතාව නොදනී. එහෙත්, මෙය සැබෑ අවදානමක් බව සංවර්ධිත රටවලින් පවා තොරතුරු එමට පවතී. බැංකු අර්බුදයන් ලෙස හැඳින් වෙන්නේ එවැනි අවස්ථාවන් ය. මෙය අවබෝධ කර ගැනීම සඳහා බැංකුවල ව්‍යාපාරික කටයුතු සහ එය කළමනාකරණය කෙරෙන ආකාරය වටහා ගත යුතුය.

බැංකුවල ව්‍යාපාරික කටයුතුවල ස්වභාවය 

බැංකුවල ව්‍යාපාරික මොඩලය ඉතා සරලය. එනම්, මහජනයාගෙන් තැන්පතු රැස් කර ගෙන එම අරමුදල්වලින් ණය සැපයීම යි. එම ණය යනු ගිවිසුම් හරහා දෙන ණය සහ රාජ්‍ය සුරැකුම්පත් වැනි ආයෝජන සුරැකුම්පත් මිල දී ගැනීම යනාදිය යි. මෙහි දී, ණය දීම සඳහා භාවිතා කෙරෙන්නේ තැන්පතු මුදල්වලින් කොටසකි. අනෙක් කොටස එදිනෙදා බැංකුවේ ගෙවීම් සහ  මහ බැංකුව විසින් නියම කෙරෙන  සංචිත පවත්වා ගෙන යාම සඳහා භාවිතා කෙරේ. එම මුදල් ප්‍රමාණවත් නොවන විට වෙනත් බැංකුවලින් සහ මහ බැංකුවෙන් අතමාරු ණය ලබා ගැනේ. 

ඒ අනුව, බැංකු විසින් කරනු ලබන්නේ තමන් වෙත නොමැති මුදල් වෙළෙඳාමකි. මෙහි දී, බැංකුවල අයිතිකරුවන්ගේ කාර්යය කුමක් ද? යන්න ගැටළුවක් ඇති වෙයි. අයිතිකරුවන් සපයන මුදල් බැංකු ප්‍රාග්ධනය ලෙස හැඳින් වෙන අතර එම මුදල් බැංකුවලට සිදු වන අලාභ උකහා ගැනීමටත්, බැංකුවේ ප්‍රසාරණයට අවශ්‍ය වියදම් පියවා ගැනීමටත් භාවිතා කෙරේ. එහෙත්, බැංකුවලට තැන්පතු මගින් ව්‍යාපාරික කටයුතු සඳහා අරමුදල් සපයා ගත හැකි බැවින් බැංකුවල මුළු වත්කම් වටිනාකමට සාපේක්ෂව ප්‍රාග්ධනය කුඩා ප්‍රතිශතයකි.

මෙම ව්‍යාපාරික මොඩලයේ ස්වභාවය වනුයේ, කෙටි කාලීන අරමුදල් ඊට වඩා වැඩි කාලීන ණය දීම සඳහා භාවිතා කිරීම තුළින් ලාභ ලැබීම යි. එම ලාභය යනු කෙටි කාලීන අරමුදල් සඳහා ගෙවන පොලියට වඩා වැඩි පොලියක් ණය සඳහා අය කිරීමෙන් ලබන පොලී අතිරික්තය යි. එම පොලී අතිරික්තය බැංකුවේ කළමනාකරණ වියදම් පියවා ගැනීමෙන් පසු ශුද්ධ ලාභයක් ලැබීමට තරම් ප්‍රමාණවත් විය යුතු ය. එබැවින්, බැංකුවක් විසින් තම ණය පොලී අනුපාතය තීරණය කරන්නේ, තැන්පතු පොලී අනුපාතය, කළමනාකරණ වියදම් සහ ලාභ ප්‍රතිශතය සැලකිල්ලට ගෙන ය. ලාභයේ හිමි කරුවන් වන්නේ බැංකු අයිතිකරුවන් ය.

එහෙත්, මෙම ව්‍යාපාරික මොඩලය දැඩි අවදානම් සහිත එකකි. ඊට හේතුව, බැංකුව විසින් රැස් කර ගන්නා තැන්පතු අරමුදල් සහ බැංකුව විසින් දෙනු ලබන ණය මුදල් අතර පවතින වෙනස යි. ඊට හේතු දෙකකි.

  • පළමුව, තැන්පතු අරමුදල් තැන්පතු හිමියන් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක බැංකුව විසින් ආපසු ලබා දිය යුතුය. එබැවින්, තැන්පතු අරමුදල් බැංකුවල ද්‍රවශීල වගකීම් ලෙස දැක්වෙයි.
  • දෙවනුව, ණය යනු ණය ගිවිසුම්වල දැක්වෙන පරිදි බැංකු වෙත කොටස් වශයෙන් අනාගතයේ දී ආපසු ලැබීමට නියමිත මුදල් ය. එබැවින්, ණය යනු බැංකුවල අද්‍රවශීල වත්කම් ලෙස දැක්වෙයි.

එබැවින්, බැංකු විසින් මුහුණ දෙන ද්‍රවශීල වගකීම් සහ අද්‍රවශීල වත්කම් අතර පවතින වෙනස හේතු කොට මුහුණ දෙන අවදානම ආවරණය කර ගැනීම සඳහා රාජ්‍ය සුරැකුම්පත් වැනි ඉක්මනින් වෙළෙඳපොළේ අළෙවි කොට මුදල් ආපසු ලබා ගත හැකි ආයෝජනවල ද බැංකු විසින් තම අරමුදල්වලින් කොටසක් භාවිතා කෙරේ. මෙම ආයෝජන ද්‍රවශීල වත්කම් ලෙස හැඳින් වෙයි. එහෙත්, ද්‍රවශීල වත්කම්වලින් ආපසු මුදල් ලබා ගැනීමේ දී අලාභ සිදු වීම වැනි අවදානම් පවතී.

මහ බැංකුව විසින් පොලී අනුපාතය වේගයෙන් ඉහළ දැමීම සහ ඉහළ මට්ටමක කාලයක් පවත්වා ගැනීම තුළින් ඉහත දැක්වූ බැංකු ව්‍යාපාරික මොඩලය ආතතියට සහ අස්ථායිතාවයට පත් වනු ඇත. බැංකු බිඳ වැටීම් සහ බංකොලොත් වීම් එහි ප්‍රතිඵලයකි.

ඉහළ මහ බැංකු පොලී අනුපාතය තුළින් බැංකු කෙරෙහි ඇති කෙරෙන අවදානම්

මහ බැංකු විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රමයෙන් දැඩි කිරීම, පොලී අනුපාතය ක්‍රමයෙන් ඉහළ දැමීම සහ මුදල් ප්‍රසාරණය පහළ දැමීම තුළින් බැංකු ව්‍යාපාරික මොඩලය ක්‍රමයෙන් කඩා වැටෙනු ඇත. එය මූලයන් කිහිපයක් හරහා සිදු වෙයි.

  • තැන්පතු පොලී අනුපාතයන් ක්ෂණිකව ඉහළ යාම. මෙහි දී, ස්ථිර තැන්පතු හිමියන් විසින් තම වත්මන් තැන්පතු අවලංගු කොට, ඉහළ පොලී අනුපාතයන් මත නව තැන්පතු ආරම්භ කරනු ලැබේ. එමගින්, බැංකුවල අරමුදල් පිරිවැය ක්ෂණිකව ඉහළ යනු ඇත.
  • මහ බැංකු විසින් ක්‍රමයෙන් පොලී අනුපාතය ඉහළ දමන බැවින්, ඉදිරියේ දී පොලී අනුපාතයන් තවත් ඉහළ යන බවට අපේක්ෂණය හේතුවෙන්, තැන්පතු හිමියන් විසින් ඉතා කෙටි කාලීන තැන්පතු ගිණුම් අරඹනු ඇත. එබැවින්, ඉතා කෙටි කාලීන තැන්පතු සඳහා බැංකු අතර තරගයක් හට ගෙන, එම පොලී අනුපාතයන් අධික ලෙස ඉහළ යනු ඇත.
  • බැංකු විසින් නව ණය සඳහා පොලී අනුපාතයන් ඉහළ දමනු ඇත. එසේම, දැනටමත් වාරික ගෙවන ණය සඳහා පොලී අනුපාතයන් ද ඉහළ දැමීම දැකිය හැකිය. මේ හේතු කොට ආර්ථිකයේ ණය පිරිවැය ඉහළ යනු ඇත.
  • ඉහළ පොලී අනුපාතයන් හේතු කොට ආර්ථිකයේ ව්‍යාපාරයන් පහළ ගොස් රැකියා හිඟය ඉහළ යනු ඇත. එබැවින්, පවතින ණය ආපසු ගෙවීම පැහැර හැරෙනු ඇත. දැනටම පවතින ණයවල පොලී මුදල ඉහළ යාම ද, ණය පැහැර හැරීමට හේතුවක් වනු ඇත.
  • පොලී අනුපාතයන් ඉහළ යන විට ආයෝජන සුරැකුම්පත්වල වෙළෙඳපොළ මිල ගණන් පහළ යනු ඇත. එවිට, බැංකුවල ද්‍රවශීල වත්කම් වටිනාකම පහළ යනු ඇත.
  • ණය පැහැර හැරීමත්, ආයෝජන වත්කම්වල වටිනාකම පහළ යාමත්, හේතු කොට බැංකුවල වත්කම් වටිනාකම පහළ යන අතර බැංකුවල ආදායම් ප්‍රවාහය පහළ යනු ඇත.
  • එහෙත්, තැන්පතු ඉතා කෙටි කාලීන තැන්පතු බවට පත් වී, පොලී වියදම සහ වියදම් ප්‍රවාහය ඉහළ යනු ඇත. 
  • වත්කම් සහ ආදායම් පහළ යාමත්, තැන්පතු වගකීම් පහළ නොගොස් පිරිවැය ඉහළ යාමත් හේතු කොට බැංකු බූන්වත් වනු ඇත. එනම්, වගකීම් ගෙවා දැමීමට ප්‍රමාණවත් වත්කම් නොමැති වීම යි.  
  • බූන්වත් වන විට බැංකුවල අරමුදල් ගෙවීම් ප්‍රවාහය සහ අරමුදල් ලැබීම් ප්‍රවාහය අතර හිඟය ඉහළ යන අතර එම හිඟය පියවීම සඳහා මුදල් වෙළෙඳපොළෙන් නිරන්තරයෙන් හදිසි ණය ලබා ගැනීමට සිදු වෙයි. අරමුදල් හිඟය පියවා ගැනීමේ මාර්ගයක් ලෙස බැංකු සතු ආයෝජන සුරැකුම්පත් විකිණීමේ දී විශාල පාඩු සිදු වනු ඇත. ඊට හේතුව, ඉහළ මහ බැංකු පොලී අනුපාතය හේතු කොට ඒවායේ වෙළෙඳපොළ මිල ගණන් පහළ ගොස් තිබීම යි.
  • බැංකු මුහුණ දෙන අලාභ සහ බූන්වත් වීම හේතු කොට බැංකු ප්‍රාග්ධනය ක්ෂය වී යනු ඇත. බූන්වත් වීම වැලැක්වීම සඳහා නව ප්‍රාග්ධනය සපයන ලෙස බැංකු අයිතිකරුවන්ට නියම කළ ද, ආර්ථිකයේ පවතින දුර්වල ව්‍යාපාරික තත්ත්වය සහ අරමුදල් හිඟය හේතු කොට කඩිනමින් නව ප්‍රාග්ධනය සැපයීමට ඔවුන්ට හැකියාවක් නොමැත.
  • මෙම දුර්වල අරමුදල් තත්ත්වය බැංකු පද්ධතියටම පොදු තත්ත්වයකි. එබැවින්,  බැංකු අතර පවතින විශ්වාසය පළුදු වී බැංකු අතර කෙරෙන දෛනික ණය ගනුදෙනු සිමා වනු ඇත.
  • අවසාන ණය දෙන්නා ලෙස මහ බැංකුවෙන් ණය ගැනීමට බැංකු විසින් මැලිකමක් දැක්වෙයි. ඊට හේතුව, ඒ බව මහජනයාට සැල වුව හොත් බැංකුවෙහි මුදල් අර්බුදයක් පවතින බවට ඇති වන සැකය හේතු කොට තැන්පතු ආපසු ලබා ගැනීමට ඔවුන් පෙළඹීම යි. පසුගිය ජනවාරි මැද සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් ඇපය මත  බැංකුවලට සැපයෙන එක් දින ණය ප්‍රමාණය සිමා කිරීම හේතු කොට හදිසි  ණය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ බැංකුවලට අහිමි වී ඇත.

ඒ අනුව, බැංකු බූන්වත් වීමේ අවදානම සමස්ත බැංකු පද්ධතිය පුරා පැතිරී යනු ඇත. මෙහි දී, ඒ ඒ බැංකුවේ අරමුදල් ප්‍රවාහයන් කළමනාකරණයේ දී පවතින ඉහළ සංකේන්ද්‍රණයන් හේතු කොට බූන්වත් වීමේ වේගය සහ පරිමාව ඉහළ යනු ඇත. ඉහත දැක්වූ  ඇමෙරිකාවේ බැංකු දෙක එවැනි බැංකු දෙකකි. ආරම්භයේ දී තැන්පතු හිමියන්ට මුදල් ගෙවීම සඳහා අරමුදල් සපයා ගැනීම පිණිස බැංකුවේ ද්‍රවශීල වත්කම් විකිණීමේ දී විශාල පාඩු සිදු වීම ද එම බැංකු දෙක වැසී යාමට අතිරේක හේතුවක් විය.

තැන්පතු ආපසු ගැනීමේ අර්බුදය

බැංකු ගනුදෙනුකරුවන්ට තම බැංකුවේ අරමුදල් තත්ත්වය පිළිබඳ ව ගණකාධිකරණ දැනුමක් නොමැති වුව ද, ඔවුන්ට බැංකුවේ ව්‍යාපාරික තත්ත්වය පිළිබඳ ව යම් හැගීම් පවතී. එසේම, පොලී අනුපාතයන් ඉහළ යාම හේතු කොට ණය බර ඉහළ යාම හරහා හට ගන්නා ව්‍යාපාරික සහ ජීවන මට්ටම කෙරෙහි ඇති කෙරෙන ආතතිය සහ කම්පනයන් ඔවුන් විසින් ද අත් දකී. 

එබැවින්, සමස්ත ආර්ථික පසුබැසීම් සහ ණය අර්බුදයන් හට ගන්නා අවස්ථාවල, යම් හෝ හේතුවක් මත යම් තැන්පතු හිමියන් පිරිසක් තම තැන්පතු ආපසු ගැනීමට පෙළඹීමෙන් බැංකුවේ බූන්වත් භාවය වැඩි වී කඩා වැටෙනු ඇත. එය සාමාන්‍යයෙන් කුඩා බැංකුවල සිදු වනු ඇත. එහෙත්, එය විශාල බැංකුවල හට ගැනීම පිළිබඳ ව ද ලෝකයේ  තොරතුරු පවතී.

මෙවැනි අවස්ථාවල , ඒවා කුඩා බැංකු බවත්, බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධනය ශක්තිමත් බවත්,  මහ බැංකු සහ බැංකු නියාමකයන් විසින් ආරම්භයේ දී පැවසීම සාමාන්‍ය පුරුද්දකි. එහෙත්, මෙම ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධනය යනාදිය බැංකුවල පැරණි ගිණුම් මත ගණකාධිකරණ සංකල්පයන් අනුව තමන්ගේ සැනසීමට බැංකු නියාමකයන් විසින් සකසා ගන්නා ඉලක්කම් ය. එසේම, නිසි පරීක්ෂාවකින් සහ පසුවිපරම්කින් තොරව මුදල් තැන්පත් කිරීම පිළිබඳ ව තැන්පතු හිමියන්ට වැරදි පැටවීම ද දැකිය හැකිය. එහෙත්, මෙතරම් නියාමනයක් සහ පරීක්ෂණයක් පැවතිය ද, බැංකුව හදිසියේ බිද වැටීම පිළිබඳ ව මහ බැංකු කිසිම වගකීමක් භාර ගන්නේ නැත.

එබැවින්, ආර්ථිකයේ ඉහළ මහ බැංකු පොලී අනුපාතය සහ මුදල් සැපයුම සංකෝචනය හේතු කොට බැංකු පද්ධතිය කෙරෙහි හට ගත හැකි ඉහත දැක්වූ බලපෑම දෙස බලන විට, සත්‍ය වශයෙන් සියළුම බැංකු බූන්වත් වී හෝ බූන්වත් දොරකඩ හෝ සිටින බව මෙම විෂය දන්නා අය හොඳින් දනිති. ආර්ථිකයේ ණය අර්බුදයක් පවතින විට මෙම අවදානම කුමන මොහොතක හෝ පුපුරා යනු ඇත.

මෙහි දී, පිට පිට කුඩා බැංකු කිහිපයක් කඩා වැටෙන විට, අර්බුදය අනෙක් බැංකුවලට පැතිරීමට වැඩි දිනක් ගත නොවේ. 2007/09 ගෝලීය මූල්‍ය අර්බුදය හට ගත්තේ ඇමෙරිකාවේ කන්ට්‍රිවයිඩ් ෆිනෑන්සියල් සහ එංගලන්තයේ නොදර්න් රොක් යන කුඩා නිවාස ණය බැංකු දෙකක් කඩා වැටීමෙනි. එය ආරම්භයේ දී ද, මහ බැංකු පැවසූයේ බැංකු පද්ධතිය ශක්තිමත් බවත්, කලබල වීමට දෙයක් නොමැති බව ත් ය. එහෙත්, අර්බුදය වර්ෂ ගණනාවක් පුරා පැතිරී ගිය අතර ඉන් ගොඩ ඒමට දශකයක පමණ කාලයක් ගත විය.

මහ බැංකු හැසිරීමේ වගකීම් විරහිත භාවය 

මූල්‍ය ප්‍රතිපත්තිය සහ බැංකු නියාමනය යන කාර්යයන් දෙකම මහ බැංකුවල වගකීම් වෙයි.  එසේ නම්, මහ බැංකු විසින් බැංකු පද්ධතිය අර්බුදයට පත් වන බව දැන දැනම මෙසේ පොලී අනුපාතයන් ඉහළ දමන්නේ ඇයි ද? යන්න ගැටළුවකි. මෙම අවදානම් පිළිබඳ ව බැංකු නියාමන අංශය විසින් මහ බැංකු අධිකාරීන් වෙත වාර්තා කරනු විය හැකිය. 

එහෙත්, බොහෝ විට නියාමන නිලධාරීන්ට මූල්‍ය ප්‍රතිපත්ති සංකල්පයන් සහ එහි සාර්ව ආර්ථික බලපෑම පිළිබඳ ව එතරම් දැනුවත් බවක් නොමැති අතර, ඔවුන් ද වත්මන් මූල්‍ය ප්‍රතිපත්තියට අනුව පොලී අනුපාතයන් ඉහළ දැමීම සහ ණය සංකෝචනය කරන ලෙස බැංකුවලට විවිධාකාරයෙන් බලපෑම් කිරීම කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති අංශය විසින් යොදා ගන්නා බව දැකිය හැකිය. 

එබැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු නියාමන අංශය ද විකල්ප උපකරණයක් වශයෙන් මහ බැංකු විසින් නිල නොවන පරිදි භාවිතා කිරීම දැකිය හැකිය. මෙහි දී, මූල්‍ය ප්‍රතිපත්ති අංශය මහ බැංකුවේ සුපිරි අංශය බවත්, බැංකු නියාමන අංශය බාල සේවා අංශයක් බවත් පිළි ගැනෙන බැවින්, බැංකු අවදානම් පිළිබඳ නිසි දැනුමක් ඇති බැංකු නියාමන නිලධාරීන් ද පසුගාමී වෙයි. මූල්‍ය ප්‍රතිපත්තියේ සාපල්‍යතාවය පිළිබඳ ව ප්‍රශ්න කෙරෙන නිලධාරීන් නිශ්ශබ්ද කිරීමේ දඩුවම් ක්‍රම ද ඔවුන් සතුව පවතී.

බැංකු අවදානම් සහ අර්බුදයන් හට ගන්නා අවස්ථාවල  මූල්‍ය ප්‍රතිපත්ති මහ බැංකුව විසින් දෙන ඍජු පිළිතුර වනුයේ බැංකු සහ මූල්‍ය ස්ථායිතාවය නියාමනයේ කාර්යයක් බවත්, ඒ සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය හෝ පොලී අනුපාතය යොදා ගැනීම අයෝග්‍ය බවත් ය. එහෙත්, මෙය සාවද්‍ය මතයක් වන්නේ ඉහත දැක්වූ පරිදි බැංකු සහ මූල්‍ය ව්‍යාපාරික අංශයේ ලාභ සහ අවදානම් තීරණය වීම කෙරෙහි මූල්‍ය ප්‍රතිපත්තිය බලපාන බැවිනි. ඊට හේතුව, මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකය කෙරෙහි සම්ප්‍රේෂණය වන්නේ බැංකු පද්ධතිය හරහා බැවින් මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් ආර්ථිකයේ මූල්‍ය තත්ත්වයේ සිදු වන වෙනස්කම් ඍජුව බැංකු පද්ධතිය කෙරෙහි බලපානු ඇත. මීට හොඳම උදාහරණය මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් හට ගන්නා වත්කම් මිල බුබුළුවලට බැංකු පද්ධතිය හසු වීම යි. ඊට හේතුව, වත්කම් වෙළෙඳපොළවල් මග හැර බැකු ව්‍යාපාරික කටයුතු කළ නොහැකි බැවිනි.

රජය ද උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ වගකීමක් බව පවසා තම ඇග බේරා ගැනීමට උත්සාහ කිරීම දැකිය හැකිය. විරුද්ධ පක්ෂ දේශපාලන පක්ෂ නායකයන් විසින් භාණ්ඩ සේවා මිල ගණන් පාලනය කිරීමට මහ බැංකුවට ඇති හැකියාව කුමක් ද? යන්න ප්‍රශ්න කළ විට, මහ බැංකු අධිපති විසින් දෙන සුපුරුදු න්‍යායාත්මක මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ සහ උද්ධමන දේශනය අවබෝධ නොවීමෙන්, ඔවුන්ගේ ද මුව වැසී යනු ඇත. එහෙත්, මහ බැංකුවට උද්ධමනය පාලනය කළ හැකි නම්, මහ බැංකුව බලා සිටිය දී උද්ධමනය ඓතිහාසික මට්ටමකට මෙතරම් ඉහළ ගියේ ඇයි ද? යන්න කිසිවෙකු විසින් ප්‍රශ්න කරන්නේ නැත.

එබැවින්, ආර්ථිකය කඩා වැටුන ද, බැංකු පද්ධතිය කඩා වැටුන ද, මහ බැංකු විසින් පාරිභෝගික මිල උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතය ඉහළ දැමීම රෝබෝට්වරු මෙන් කර ගෙන යාම දැකිය හැකිය. උද්ධමනය පහළ දැමීම සඳහා ආර්ථිකය සංකෝචනය වී සේවා වියුක්තිය ඉහළ යා යුතු බව මහ බැංකු විසින් ප්‍රසිද්ධියේ පිළි ගැනෙන ප්‍රතිපත්තියකි. මෙය නුතන ලෝකයේ ප්‍රජාතන්ත්‍ර වාදයට සහ සමාජ සාධාරණත්වයට එරෙහි රාජ්‍ය ප්‍රතිපත්තියකි. තව ද, ඉහළ පොලී අනුපාතය හේතු කොට ආර්ථිකය සංකෝචනය වෙයි නම්, ආර්ථිකය සමඟ එකට බැඳී පවතින බැංකු පද්ධතිය සංකෝචනය නොවී ශක්තිමත් ලෙස පවතින බව දැක්විය නොහැකිය.

එහෙත්, මහ බැංකු විසින් වුවමනාවෙන්ම අමතක කොට ඇති කරුණක් වන්නේ, මිල ස්ථායිතාවයට අමතරව රටේ ආර්ථික වර්ධනය සහ බැංකු/මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය ද මහ බැංකුවල ව්‍යවස්ථාපිත අරමුණු වන අතර ඒ සඳහා මහ බැංකු වෙත ව්‍යවස්ථාපිත බලතල සහ උපකරණ රාශියක් රජය විසින් ලබා දී ඇති බව යි. පොලී අනුපාතය යනු ඉන් එකක් පමණි.

කාලීන නිර්දේශයක් 

එබැවින්, ආර්ථිකය සහ මහජනයා වෙත මහ බැංකුවලට ඉටු කළ හැකි පරමාර්ථයන් සහ වගකීම් මොනවා ද? යන්න රජයන් විසින් නැවත විමර්ශනය කොට, මිල ස්ථායිතාවය සහ ආර්ථික ස්ථායිතාවය වැනි න්‍යායාත්මක සහ ප්‍රයෝගිකව ඇගයිය නොහැකි වගකීම් මහ බැංකුවලින් ඉවත් කළ යුතුය.

මහ බැංකු ආරම්භ වූයේ නිල මුදල් මුද්‍රණය සහ සැපයුම හරහා ආර්ථිකයේ කොදු නාරටිය වන බැංකු මුදල් පද්ධතියේ ස්ථායිතාවය ආරක්ෂා කිරීමේ අරමුණ සඳහා ය. එය මහ බැංකු  විසින් බැංකුවල බැංකුව සහ බැංකු නියාමනය හරහා සිදු කෙරේ. එබැවින්, මහ බැංකුවෙන් ආර්ථිකය සහ පොදුජනයාට ප්‍රයෝගික සේවයක් ලබා ගැනීමට නම්, යෝජිත මහ බැංකු පනතෙහි දැක්වෙන අර්ථ නිරුපනයක් නොමැති දේශීය මිල ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය වැනි න්‍යායාත්මක අරමුණු සහ වගකීම් ප්‍රතික්ෂේප කළ යුතුය.

යෝජිත නව ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව මූල්‍ය අර්බුද අවස්ථාවල දී මහ බැංකු ඉතිහාසය පුරා භාවිතා කොට ඇති අවසාන ණය දෙන්නාගේ කාර්යය හෙවත් බැංකුවලට හදිසි ණය සැපයීමේ බලතල නව මහ බැංකුවෙන් ඉවත් කොට ඇති අතර එවැනි ණය දීමක් අවශ්‍ය විට රාජ්‍ය මූල්‍ය ඇපය ලැබීම අනිවාර්ය කොට ඇත. එබැවින්, යෝජිත නව ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍ය පද්ධති ස්ථායිතාවය ආරක්ෂා කිරීමේ අරමුණ ස්වාධීනව ඉටු කිරීමේ හැකියාවක් නොමැත.

එබැවින්, ආර්ථිකයේ සමස්ත සහ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා සම්පත් ගවේෂණය, උපයෝජනය සහ ඵලදායිතාවය ඉහළ දැමීමට දායක වන පරිදි ණය ව්‍යාප්තියක් පවත්වා ගැනීම මහ බැංකුවේ අරමුණ සහ වගකීම විය යුතුය. ආර්ථික ස්ථායිතාවය, සේවා නියුක්තිය, ආයෝජන ප්‍රවර්ධනය, ජීවන වියදම පාලනය සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය වැනි අරමුණු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අයත් වගකීම් විය යුතුය. ලෝකයේ සෑම රටකම ප්‍රයෝගිකව සිදු වන්නේ එය යි.

එබැවින්, ආර්ථිකය නැවත ස්ථායී වී ඇති බවත්, උද්ධමනය අඛණ්ඩව පහළ බසින බවත්, ශ්‍රී ලංකා රුපියල ප්‍රතිප්‍රමාණය වී ලෝකයේ ශක්තිමත් මුදලක් බවට පත් වී ඇති බවත්, මහ බැංකුව විසින් ඩොලර් මිලියන 308 ක් මිල දී ගෙන ඇමෙරිකන් ඩොලරය කඩා වැටීම පවා වැලැක් වූ බවත්, මහ බැංකු පොලී අනුපාතය ඉහළ යද්දී පවා මූල්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයන් පහළ යන බවත්, නැවත ආර්ථික අර්බුදයන් හට ගැනීම වැලැක්වීම සඳහා මහ බැංකුවට පූර්ණ ස්වාධීනත්වය/ස්වෛරීත්වය ලබා දිය යුතු බවත්, වැනි වහසි බස් පවසමින් මහජනයා මුලා කිරීමට උත්සාහ නොගෙන, දැනට ආර්ථිකයේ  20%-30% මට්ට්ටමට ඉහළ ගිය පොලී අනුපාතයන්, රාජ්‍ය ණය අර්බුදය සහ ආර්ථික සංකෝචනය යනාදිය හේතු කොට ඉදිරියේ දී ඇති විය හැකි බැංකු  සහ මූල්‍ය කඩා වැටීමක් වැලැක්වීම සහ පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් කුමක් ද? යන්න දැන්ම සිටම විමසා සුදානම් වීම අදාළ රාජ්‍ය බලධාරීන්ගේ වගකීම යි. 

ඊට හේතුව, එවැනි අර්බුදයක දී තම මුදල් බේරා ගැනීමට බැංකු ඉදිරිපිට පෝලිම් ගැසීම හැර අර්බුදය නිරකරණය කිරීමට මහජනයාට කළ හැකි දෙයක් නොමැති වීමත්, එවැනි අර්බුදයක සමාජ ආර්ථික ආදීනව ඉතා බියකරු වීමත්, යෝජිත නව ශ්‍රී ලංකා මහ බැංකුවට ආර්ථිකයේ කිසිම ස්ථායිතාවයක් ආරක්ෂා කිරීමට හැකි ප්‍රයෝගික ප්‍රතිපත්ති මෙවලම් කළඹක් නොමැති වීමත් ය.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Economy Discovery: https://economydiscovery.blogspot.com/2023/03/blog-post.html

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan