*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ජනතා භාව විරේචක ඔසුවක් වූ වැඩ කරන අපේ විරුවා

ඕනෑම ජන සමාජයක පැන නඟින සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද කෙරෙහි ඒ සමාජයේ සමකාලීන කලාව ඇතුළු සංස්කෘතිකාංග ද බලපාන බව ලොව පුරා දක්නට ලැබෙන අතිශය සාමාන්‍ය පොදු තත්වයකි.

මේ දිනවල අප රටේ පවත්නා දැඩි ආර්ථික අර්බුදය පදනම් කොට ගත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය කෙරෙහි ද එවැනි එක්තරා ආකාරයක කලාත්මක සංස්කෘතික සබඳතාවක් එල්ල වී ඇති බවක් පෙනේ.

ඒ වර්තමානයේ පවතින පෙට්‍රල්, ඩීසල් ආදී ඉන්ධන සේම ගෑස්, කිරිපිටි ආදී පෝලිම් වල පැය ගණන්, වරු ගණන් රස්තියාදු වන ජනතාවට විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් එක්තරා විශේෂිත ගීතයක් ඇසෙන්නට සැළැස්වීම ය.

තමන් ගේ එම පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් පෝලීම් ගැසී සිටින ජනතාව හමුවට එන තරුණ කණ්ඩායම් වාද්‍ය භාණ්ඩ සහිතව පවා ගායනා කරන සහ වාහන ආදියේ ඇති ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වාදනය කෙරෙන එම ගීතය වනුයේ 2019 ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනුණු “වැඩ කරන අපේ විරුවා” නම් ගීතයයි.

එතරම් විදග්ධ නොවූ පද රචනයකින් සහ සරල තනුවකින් සහ වෙසෙසින් ප්‍රතිභා සම්පන්න නොවූ ගායනයකින් යුතු එම ගීතය පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනානන්දනීය බවට පත්ව තිබුණේ ඒ සමයේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එවක හිමිව තිබූ සුවිසල් ජනාදරය පදනම් කර ගනිමිනි.

එම ජනපතිවරණ ප්‍රචාරක රැස්වීම් සඳහා ඔහුගේ සම්ප්‍රාප්තියත් සමඟ ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් අධික ශබ්දයෙන් යුතුව ගීතය ප්‍රචාරය වන අතරේ අති විශාල අනුගාමිකයන් ගේ ඔල්වරසන් ප්‍රීති ඝෝෂා මැදින් එවක ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා විජයග්‍රාහී ලීලාවෙන් දෑතම ඔසවා එම ජනතාවට ආචාර කරමින් රැස්වීම් වේදිකා වෙත සම්ප්‍රාප්ත වනු අපි කොතෙකුත් විද්යුත් මාධ්‍ය මගින් දැක ඇත්තෙමු.

“විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජයරාවේ”යනුවෙන් විශ්වය යනු කුමක්දැයි වගේ වගක් නොදන්නා ලෙසින් පබැඳුණු අතිශයෝක්ති වදන් පෙළකින් ඇරඹෙන ඒ ගීතයේ මුඛ්‍යපාඨය වනුයේ

වැඩ කරන අපේ විරුවා
මව් බිමට පෙමින් සැම දා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා
ගෝඨාභය
යන්නය.

අතීතයේ හෙළ රජවරුන් වෙනුවෙන් ගැයුණු ප්‍රශස්ති ගී සාහිත්‍යංගයක් වශයෙන් තවමත් අප අතරේ ශේෂ වී පවතීග නමුත් ඉහත සඳහන් වැඩ කරන අපේ විරුවා ගීතය ප්‍රශස්තියකට සේම ප්‍රයත්න ගී( Campaign songs ) නමින් හඳුන්වන ගීත කොටසට සමීප බවක් පෙනෙයි.මෙම ප්‍රයත්න ගී හුදෙක් ගී රස වින්දනකට වඩා දේශපාලන,සමාජ වැනි අරමුණක් උදෙසා මහජනතාව කුළු ගැන්වීම පිණිස යොදා ගැනෙන බැවින් සාහිත්‍යමය වශයෙන් ඒවා නිසි අගැයුමකට ලක් නොවේ.

වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරණයේ දී එක් එක් ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් මෙලෙස විශේෂිත ප්‍රයත්න ගී යොදා ගැනෙන අතර ඡන්ද දායකයන් එම අපේක්‍ෂකයා කෙරෙහි ඡන්දය දීම කෙරෙහි කුළු ගැන්වීම් ඒවායේ අරමුණ බව පෙනේ.ප්‍රථම ඇමරිකානු උප ජනාධිපති සහ දෙවන ඇමරිකානු ජනාධිපති වූ ජෝන් ඇඩම්ස් වෙනුවෙන් 1798 වසරේ ගැයුණු Adams and liberty නම් ප්‍රයත්න ගීය මෙම ගීතාවලියේ මුල්ම නිර්මාණයක් සේ සැලකෙයි.

එමෙන්ම එක් පුද්ගලයකු සම්බන්ධයෙන් සේම කිසියම් දේශපාලන ව්‍යාපාරයක් මුල් කොට ජනතාව තුළ පවතින ප්‍රබෝධය, ජවය, පන්නරය කුළු ගැන්වීම පිණිස ද මෙම ප්‍රසස්ත ගී යොදා ගැනෙයි.1935 වසරේ අරඹන ලද ලංකා සම සමාජ පක්ෂය එදා මෙදා තුර භාවිතා කරන” සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්” යන්න ද එවැනි ප්‍රයත්න ගීයකි. එය ඔවුන් ගේ ජාත්‍යන්තර ගීය වශයෙන් ද හඳුන්වනු ලැබේ.

මේ ඇතැම් ප්‍රයත්න ගී වල අරමුණ ජනතාවට යම් පුද්ගලයකු පිළිබඳ සත්‍යය සහ යථාර්ථය වටහා දීම නොවේ. ඒ ගීතය මගින් ජනතාව කුළු ගැනීම් පිණිස ඒ සඳහා අතිශයෝක්තිය ද යොදා ගන්න අවස්ථා සුලබව දැකිය හැක.”වැඩකරන අපේ විරුවා” ප්‍රයත්න ගී ගීතයේ “මව් බිමට පෙමින් සැමදා” යන්න ද එබඳු එක්තරා අතිශයෝත්තියක් යැයි ඇතැමකුට සිතෙන්නට බැරි නැත.

ජාත්‍යානුරාගය, දේශාභිමානය ආදිය යමකුගේ සිත තුළ පවතින හැඟීම්,ආවේග මත පදනම් වන්නකි. ඒ අනුව වත්මන් ජනපතිවරයා ගේ සිතේ එබඳු හැඟීම් කොතෙක් දුරට තිබේ දැයි කීමට අපට නොපුළුවන.

එහෙත්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයකු ලෙස සේවය කරමින් සිටි ඔහු එල් ටී ටී ඊ යුද්ධයේ බිහිසුණුම අවස්ථාවේ දී සෞඛ්‍යමය හුවා දක්වමින් හමුදා සේවයෙන් ඉවත් වී තම දරු පවුල ද සමඟ ඇමරිකාවේ පදිංචියට යාම හා ඔහු “සැමදා මව් බිමට පෙමින් යුතුව” සිටි බවක් පැවසීම අතර යම් පරස්පරතාවක් පැන නැගී තිබේ.

අප මේ කරුණු අනාවරණය කරනුයේ හුදෙක් මෙම ප්‍රයත්න ගී වල ස්වරූපය නිදසුන් මගින් ඔබට පෙන්වා දීම උදෙසා ය.එබැවින් කිසිවකුත් ඒ පිළිබඳව වරදවා වටහා ගත යුතු නැත.

එහි දී එම ගීතය නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිරූපය පැහැදිලි ලෙසම ඉහළ නැංවුණු අතර එසේ ඉහළ නැංවෙන එම ප්‍රතිරූපය මුල් කොට එම ගීතයට ද අතිශය ජනානන්දනීය බවක් හිමි විය.

එය ඔහුගේ ඉකුත් ජනපතිවරණ ජයග්‍රහණයට ඉවහල් වූ නියත සාධකයක් ද විය.

කිසියම් සමාජ, ආර්ථික, දේශපාලනික අස්ථායීතාවයක් හමුවේ පොදු ජනතාව විසින් සිය හැඟීම්, ආවේග පිට කරන මාධ්‍ය බොහෝ ය. ඒ අතුරින් කලාව ද එක් ප්‍රධාන මාධ්‍යයකි.

ලොව පුරා සමාජ, ආර්ථික දේශපාලන අර්බුද හමුවේ සෑම සමාජයකින්ම දැකිය හැකි කලාව ජනතාකරණයට ලක්ව වීදි බැසීමේ ක්‍රියාදාමය තුළින් ශ්‍රව්‍ය ද්‍රශ්‍ය කලා මාධ්‍යයයන් ඔස්සේ පවත්නා දේශපාලන ක්‍රමය හෝ පාලකයන් දැඩි ලෙස විවේචනයට ලක් කෙරෙන අවස්ථා බොහොමයකි.

එමගින් පවත්නා සමාජ ආර්ථික සන්දර්භය කෙරෙහි එල්ල වන ජනතා ප්‍රතිරෝධය තමන් තම පැවැත්මට අතිශය හානිකර බව වටහා ගත් ඇතැම් පාලකයන් එම ජනතා ප්‍රතිරෝධයන් මර්දනය කළ සේම ඇතැම් විට ඒවාට එක් වූ ජන කොටස් ඝාතනයට පවා ලක් කළ අයුරු එදා මෙදා තුර අසන්නට ලැබේ.

එහෙත්, 2019 ජනපතිවරණය ඔස්සේ වැඩ කරන අපේ විරුවා යන විරුදාවලී සහිතවමෙරට ඡන්දදායකයන් ජනපති පුටුව වෙත කැඳවා ගෙන පැමිණි ගෝඨාභය රාජපක්ෂයන් ගේ පදවි ප්‍රාප්තියයන් මෙතරම් කෙටි කලක් තුළ ජනතාවට අත් විදීමට සිදු වූ අනේක විධ දුක් පීඩා හමුවේ අප රටේ එවැනි ජනතාවාදී වීදියේ කලාවක් මෙතෙක් බිහි වී නැත.

එහි දී යම් යම් පිරිස් සිදු කරනුයේ ඒ ජනපතිවරණ අපේක්‍ෂ සමයේ ප්‍රයත්න ගීතය ස්වරූපයෙන් ගෝඨාභය රාජපක්‍ෂ යන් උදෙසා ගැයුණු ප්‍රශස්ති ගීතය එලෙසින්ම සමාජ කරලියට ගෙන ඒම පමණි.

එහෙත්, එවැනි ජනතාව පීඩාවට ලක් කෙරෙන ස්ථානවල එම ගීතය ගායනය වාදනය කිරීම අවභාවිතාවක් ලෙස අඟවමින් එම ජනතා හඬ යටපත් කිරීමේ,මර්දනය කිරීමේ ක්‍රියාවලියකට රජය අවතීර්ණ වී ඇති බවක් නොනිල වශයෙන් දැන ගන්නට තිබේ.

එබැවින් මැත භාගයේ රජය විසින් ගනු ලැබූ නොයෙකුත් අදූරදර්ශී දේශපාලන ක්‍රියාමාර්ග මුල් කොට ඇති ව තිබෙන ජනතා පීඩනය මෙලෙස තාර්කික සහ අහිංසක ලෙසින් පිට කිරීමට ඔවුනට ඉඩ දිය යුතු බව අපගේ වැටහීම ය මක් නිසා ද යත් එය ඔවුන්ගේ මානසික පීඩනය අවම කෙරෙන භාව විරේචන( Catharsis) ක්‍රියාවලියක් ද බැවිනි.

එසේ නොමැතිව වර්තමානයේ දහසකුත් එකක් ප්‍රශ්න ගැටළු අර්බුද වලින් පීඩා විඳින ජනතාවට තම දුක් පීඩා උපහාස මාධ්‍යයෙන් හෝ පිට කර ගැනීමට ඉඩ නොදීමේ අදූරදර්ශී දේශපාලනමය ක්‍රියා මාර්ග මත අනාගතයේ දී පාලකයන්ට සේම රටේ ජනතාවට වඩාත් අප්‍රසන්න සහ බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවන සමාජ පරිසරයක් ගොඩ නැගීමේ පැහැදිලි අවකාශයක් තිබේ.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan