*
Monday, December 23, 2024
spot_img

Latest Posts

දෙසිය හැටෙන් පසු ජීවිතය

ආර්ථික අර්බුදය ගැන ලියා ගෙන ආ ලිපි මාලාවේ දැනට ලියා තිබෙන අවසන් කොටසේදී මම ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය ගැන මේ විදිහේ ප්‍රකාශයක් කළා.

“ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වෙනවා. දැන් තත්ත්වය අනුව වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ එක්කම විණිමය අනුපාතය පාවෙන්න අරින්න වෙනවා. එහිදී ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ට්මකටවත් යා හැකියි. ඒ එක්කම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගිහින් උද්ධමනය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය තවත් ඉහළ යනවා. අවසානයේදී ඩොලරයක මිල රුපියල් 300 පමණ මට්ටමකට යා හැකියි. එහිදී ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යන එකත් නොවැලැක්විය හැකියි.”

ඉහත ප්‍රකාශය සඳහන් ලිපිය වියුණුවේ පළ කළේ මාර්තු තුන් වෙනිදා. දවස් හතරක් යද්දී ඔය කියපු දේවල් වලින් සෑහෙන කොටසක් වෙලා. ආණ්ඩුව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් නැහැ. එය දවසකින් දෙකකින් කළ හැකි දෙයක් නෙමෙයි. මාධ්‍ය වාර්තා අනුව මේ වැඩේ සිදු වෙමින් පවතිනවා. කොහොම වුනත්, විණිමය අනුපාතය මේ වෙද්දී පාවෙන්න ඇරලා. දින දෙකකට පසුව ඩොලරය රුපියල් 260 සීමාවේ නැවතී තියෙනවා. ආනයනික භාණ්ඩ වල මිල දැනටමත් ඉහළ ගිහින්, ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයද වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඔය ලිපිය අවසන් කරමින් “විසඳුම් ගැන තෙවන ලිපි මාලාවෙන් කතා කරමු” කියා සටහන් කරද්දී මම බලාපොරොත්තු වුනේ රටේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් යෝජනා කරන්න නෙමෙයි. ඒ ප්‍රශ්න මොන විදිහකින් හෝ විසඳුනාට පස්සේත් ඉතිරි වන දිගුකාලීන ප්‍රශ්න වලට විසඳුම් යෝජනා කරන්න. ඊට පැහැදිලි හේතුවක් තිබුණා.

රටේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කළත් ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබුණේ මේ ආණ්ඩුවට පමණයි. නමුත්, අපට යෝජනා කළ හැකිව තිබුණු විසඳුම් හා මේ ආණ්ඩුව විසින් අනුගමනය කළ ආර්ථික වැඩ පිළිවෙළ අතර තිබුණු මූලික මට්ටමේ ප්‍රශ්න නිසා ඒ වැඩේට මහන්සි වෙන එකේ කිසිම තේරුමක් තිබුණේ නැහැ. හැබැයි ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා.

ආණ්ඩුව ඇතුළේ හිටපු ජාතික සමාජවාදීන් හා වෙනත් ඇතැම් “වියතුන්” මේ වන විට ආණ්ඩුවේ බල කේන්ද්‍රයෙන් එළියට විසි වෙලා බව පේනවා. අනෙක් දේවල් කොහොම වෙතත් ඩොලරයට සාපේක්ෂ නිදහසක් ලබා දී තිබෙනවා. ආණ්ඩුව විසින් එතැනින් එහාට කළ යුතු අනෙක් වෙනස්කම් කරයිද කියන එක ගැන කිසිදු සහතිකයන් නැතත්, අඩු වශයෙන් අප විසින් යෝජනා කළ පළමු පියවර ක්‍රියාත්මක කර තිබෙන මේ මොහොතේ ප්‍රශ්නයෙන් ගොඩයාමට ගත යුතු ඊළඟ පියවර ගැනත් සටහන් නොකළොත් එය අප කරන වැරැද්දක්.

ඩොලරය පා කරන්න කියා කියපු අය දැන් පැත්ත පළාතක නෑ කියලා සමහර අය චෝදනා කරනවා. අපි නම් මෙහේ ඉන්නවා. ඒ වගේම, ආණ්ඩුව හා අප අතර කිසිම සම්බන්ධයක් නැතත් මේ කළ දෙය සම්බන්ධව කාට හෝ ප්‍රශ්න තිබේනම් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් අපි සූදානම්. අපි විවේචන කරන්නෙත්, යෝජනා කරන්නෙත් පුද්ගලයින් දිහා බලාගෙන නෙමෙයි. අපේ යෝජනා හා විවේචන සම්බන්ධව අප වගකීම ගන්නවා.

ඩොලරය ඇත්තටම පා කරලද කියන එක තවමත් පැහැදිලි නැහැ. දැන් ඩොලරයේ මිල නැවතී තිබෙන රුපියල් 260, මට පෙනෙන හැටියට, මාර්ගෝපදේශිත සීමාවක්. ඩොලරයට නිදහසේ ඔහේ ඉහළ යන්න දුන්නත් මේ වෙලාවේ බොහෝ විට රුපියල් 300 ඉක්මවන එකක් නැහැ කියා මම හිතනවා. ඒ මට්ටමට වඩා ඉහළ යාම ආණ්ඩුව විසින් දරා ගනීද කියන එකත් සැක සහිතයි.

කෙසේ වුවත්, කිව යුතු වැදගත්ම කරුණ ඒක නෙමෙයි. ඩොලරය මේ මොහොතේ කවර හෝ මට්ටමකට ඉහළ ගොස් නැවතුනා කියලා එය ඒ මට්ටමේ දිගටම නවතින්නේ නැහැ. ඒ වගේම, ඒ කවර හෝ මට්ටමේ ඩොලරය තියා ගන්න උත්සාහ කළොත් නැවත ප්‍රශ්නයේ මුලට එනවා. ප්‍රශ්නය විසඳිය හැක්කේ ඩොලරයේ මිල ඉහළ යාමට හේතුවන සාධක ඉවත් කිරීමෙන් පමණයි.

ඩොලරය ඉහළ යද්දී බඩු මිල වැඩි වී උද්ධමනය ඉහළ යනවා. උද්ධමනය ඉහළ යද්දී ඩොලරයේ මිල මත වන පීඩනය වැඩි වෙනවා. මෙය චක්‍රීය ලෙස සිදු වන දෙයක්. හරි තැනින් අල්ල ගත්තේ නැත්නම් මේ චක්‍රය කඩන්න බැහැ. මේ සියල්ලට සමාන්තරව විශාල විනාශයකින් අවසන් විය හැකි සමාජ-දේශපාලන අර්බුදයක් අත වනමින් ඉන්නවා.

මෙය කාටවත් බොර දියේ මාළු බාන්න අවශ්‍ය නැති, බොර වූ දියේ ඉන්න මාළු පීනාගෙන වැල්ලට එන වෙලාවක්. ඒ වගේ වෙලාවක වග කිවයුතු අයෙකු විසින් කළ යුත්තේ ගොඩට එන මාළු අල්ලා නැවත වතුරට වීසි කරන එක වුවත්, තුනපහ දමපු වතුර හට්ටියට ගින්දර දමමින් හට්ටියට මාළු ඇවිද ගෙන එන තුරු බලා සිටින අය මිසක් මාළුන්ව නැවත වතුරට දමන අය අඩුයි. ඒකට කාටවත් වරදක් කියන්නත් බැහැ.

මෙය විසඳිය හැකි ප්‍රශ්නයක්. මේ විෂම චක්‍රය කැඩිය හැකියි. එහෙත්, ඒ සඳහා ගෙවිය යුතු මිල මේ මොහොතේ ගෙවන්න වෙනවා. නිවැරදි වැඩ පිළිවෙලක් නැතිව ආණ්ඩුව එලවලා ගෙදර යැවුවා කියලා මෙහි වෙනසක් වෙන්නේ නැහැ. විස්තරාත්මකව ලිවිය හැකි හා ලිවිය යුතු දිගුකාලීන විසඳුම හා එකඟ වන, මේ මොහොතේ අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ පිළිබඳ කෙටි සාරාංශයක් මේ ලිපියෙන් අප ඉදිරිපත් කරනවා.

එජාපය ආණ්ඩුව හා එක් වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කසුකුසුවක්ද ඇහෙනවා. මෙය එජාපය විසින් රේල් පාර දිගේ දුවගෙන ගොස් බ්‍රේක් නැතුව අපායට යන කෝච්චියක ගාඩ් පෙට්ටියේ එල්ලීමක් වුවත් මේ වෙලාවේ රට ගැන හිතනවානම් කළ හැකි හොඳ වැඩක්. එවැනි ආණ්ඩුවකට අප යෝජනා කරන ආකාරයේ විසඳුමකට එකඟ වීම අපහසු නොවෙන්න පුළුවන්.

දළ වශයෙන් ගත්තොත් එජාපය විණිමය අනුපාතය පා කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. දිගින් දිගටම විණිමය අනුපාතය පා කිරීම වෙනුවෙන් පෙනී සිට ඇති අයෙකු වුවත්, මේ මොහොතේ ඕනෑම කොන්දේසියක් යටතේ ඕනෑම තරමකට ඩොලරයේ මිල ඉහළ යන්න ඉඩ ඇරීම වෙනුවෙන් මා පෙනී සිටින්නේ නැහැ. ලේන්නු හිටිය යුත්තේ කැලේ මිසක් කූඩු වල නෙමෙයි. එහෙත්, කූඩුවක කාලයක් තිස්සේ හැදූ ලේන් පැටියෙක් එකවර කැලේට අත ඇරියොත් වෙන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

මේ වෙලාවේ විණිමය අනුපාතය කීයට ගියත් උන්ඩියල් නවත්තන්න බැහැ. උන්ඩියල් ගනුදෙනු කියන්නේ තනිකරම නිදහස් ගනුදෙනු. ඊට සාපේක්ෂව නියාමනය කියන්නේ කෘතීම දෙයක්. මිනිස්සු උන්ඩියල් ක්‍රම භාවිතා නොකර බැංකු පද්ධතිය භාවිතා කරන්න ප්‍රධානම හේතුවක් වුනේ අතිශයෝක්තියට නංවා තිබුණු උන්ඩියල් ක්‍රම වල අවදානම නිසා ඇතිව තිබුණු බොරු බියයි. මහ බැංකුව විසින් මේ වන විට මිනිසුන් තුළ වූ ඒ බිය පහ කර තිබෙනවා.

ටවුමේ බාර් එකෙන් වැඩි මිලට සීල් බෝතලයක් බොන හැමෝම ඇළ ලඟ ගෙදර ගුණේ පෙරන කසිප්පු බොන්න යන්නේ නැහැ. ඒ අය කොලිටියක් නැති කසිප්පු බොන්න බය නිසා වැඩි මිලක් ගෙවලා, ආණ්ඩුවට බදු ගෙවලා සීල් බොනවා. සීල් විතරක්ම බොන, නීති විරෝධී මත්පැන් කවදාවත් නොබීපු කෙනෙක් දංකොටුව ස්පෙෂල් ගැන හිතන්නෙත් ඇළ ලඟ ගෙදර ගුණේ පෙරන කසිප්පු වගේ දෙයක් කියලා.

ආණ්ඩුව හිටපු ගමන් බාර් වහනවා. දැන් කොහෙන් හෝ නීති විරෝධී මත්පැන් බෝතලයක් හොයා ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. ඔහොම හොයා ගෙන යද්දී දංකොටුව ස්පෙෂල් බෝතලයක් හම්බ වෙනවා. ඒක ඇළ ලඟ ගෙදර ගුණේ පෙරන කසිප්පු වගේ දෙයක් නෙමෙයි. කලින් බීපු සීල් බෝතලේ එක්ක බැලුවහම පේන්න කිසිම වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ ගෙවිය යුතු මිලේ විතරයි. මෙච්චර දවස් ආණ්ඩුවට බදු ගෙවලා තියෙන්නේ නිස්කාරණේ!

පහුගිය කාලයේ උන්ඩියල් වලට පුරුදු වුනු මිනිස්සු දැන් උන්ඩියල් අත අරින්නේ නැහැ. එය බලෙන් නවත්වන්නත් කිසිම පුළුවන්කමක් නැහැ. උන්ඩියල් නැති වෙන්නේ ලංකාවේ ඕනෑම කෙනෙකුට ළඟ බැංකුවට ගිහින්, ලියකියවිලි කිසිවක් නොපෙන්වා, රුපියල් ගෙවා ඩොලර් හෝ වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදලක් මිල දී ගන්න හැකි වූ දවසටයි. පොළෙන් වට්ටක්කා ගන්නවා වගේ ඕනෑම කෙනෙක්ට ඒ විදිහට ඩොලර් ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ කවදාවත් තිබුණේ නැහැ. කවදාවත් නොතිබුණු එවැනි තත්ත්වයක් මේ වගේ වෙලාවක ඇති කරන්න බැහැ.

රට ඇතුළේ ඩොලර් අවශ්‍ය හැමෝටම නිදහසේ ඩොලර් මිල දී ගන්න නොහැකි තාක් කල් උන්ඩියල් ඩොලර් වලට ඉල්ලුමක් තිබෙනවා. ඒ ඉල්ලුම තිබෙන තුරු උන්ඩියල් සැපයුමද නවතින්නේ නැහැ. බැංකු වල මිල කීයට ගියත් උන්ඩියල් කරුවෝ ඊට වඩා රුපියලක් හරි ගෙවනවා. එහෙම තියෙද්දී මෙතෙක් කල් ගොඩක් අය අඩුවට ලංකාවට ඩොලර් එවුවේ උන්ඩියල් වලට තිබුණු බය නිසා. දැන් ගොඩක් අය ඒ බය ඇරගෙන. වැඩි අවදානමක් නැත්නම් එක රුපියලක් හෝ අඩුවෙන් ලබා ගන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ.

හැබැයි එයින් අදහස් වෙන්නේ රුපියල අවප්‍රමාණය කරපු එකේ කිසිම තේරුමක් නැහැ කියන එක නෙමෙයි. මම මීට පෙර ලිපියකත් කිවුවා වගේ, ඩොලරයේ මිල ඉහළ යන්න නොදීම නිසා ලංකාවට එන එක නැවතුණු ඩොලර් ප්‍රමාණයක් තියෙනවා. මේ විදිහට ඩොලර් එවන එක නැවැත්වූ හෝ පමා කළ අය නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. කීයට හෝ ගිහින් ඉදිරි සතිය තුළ ඩොලරයේ මිල ස්ථාවර වීමෙන් පසුව ඔවුන් නැවත ලංකාවට ඩොලර් එවයි. මෙය විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමේ ක්ෂණික හා සෘජු වාසියක්. ඒ ඩොලර් ටික රටට අද්ද ගන්න මේ වෙද්දී සිදු වුනු අවප්‍රමාණය වීම හොඳටම ප්‍රමාණවත්.

ඉදිරි සතිය තුළ ඩොලරයේ මිල ස්ථාවර වීමෙන් පසුව කළ යුත්තේ, සැලසුමක් ඇතිව, අවම වශයෙන් මසකට 2-3% අතර ප්‍රමාණයකින් ඩොලරයේ මිල ඉහළ යන්නට සැලැස්වීමයි. එසේ ඉඩ හරිමින්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත යුතුයි. ඉදිරි වසර තුළ උද්ධමනය 24-36% මට්ටමකට යාම නොවැලැක්විය හැකියි. ඒ කියන්නේ මාසයකට 2-3%කින් රුපියලේ දේශීය අගය පිරිහීමක්. රුපියලේ විදේශ අගය තුළද ඒ වෙනස පිළිබිඹු විය යුතුයි. යම් හෙයකින් උද්ධමනය මීට වඩා වැඩි වන්නේනම් ඩොලරයේ මිලද අනුරූපී ලෙස ඉහළ යාමට සැලැස්විය යුතුයි. මෙය අවම අවශ්‍යතාවයක්. ඩොලරය මීට වඩා වැඩියෙන් අවප්‍රමාණය වන්නේනම් එය වඩා සුදුසුයි.

අවම වශයෙන් 2023 මාර්තු මාසය දක්වා උද්ධමනය ඉහළ මට්ටමක පැවතෙනු ඇති බැවින් ඒ කාලය තුළ මේ අයුරින් ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ හැරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඉන් පසුව, එන හැටියට මේ පරාමිතීන් සීරුමාරු කර ගත හැකියි. වෙළඳපොළට අවශ්‍ය වන්නේ ස්ථාවරත්වයයි. ඩොලරය කීයක් වෙයිද යන අවිනිශ්චිතතාවයට සාපේක්ෂව මසකට 2-3% අතර ප්‍රමාණයකින් ඉහළ යාම ස්ථාවර තත්ත්වයක්. 1997-2006 පමණ දක්වා මෙන්ම 2015-2019 අතරද තිබුණේ අඩු වැඩි වශයෙන් එවැනි ස්ථාවරත්වයක්.

ගෙවුම් ශේෂ ප්‍රශ්න වලින් ස්ථිර ලෙසම මිදෙන්නටමනම් ලංකාව ඩොලර් බිලියන 50ක පමණ විදේශ සංචිතයක් ගොඩ නගා ගත යුතුයි. මේ වෙලාවේ සිහිනයක් සේ පෙනුණත්, විණිමය අනුපාතය හිර කර ගෙන රට ගොඩ නැගිය හැකිය යන “වියත් බාගයේ” ප්‍රඥාව ඉවත ලීමෙන් පසුව මෙය පැහැදිලි ලෙසම කළ හැක්කක්. නිසි මාර්ගයේ යන්නේනම්, කැට හොලවා විදේශික ශ්‍රී ලාංකිකයින්ගෙන් සල්ලි එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩොලර් ඉතිරි කරන්න ඇපල් මිදි තහනම් කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ.

මහ බැංකුව විසින් වසර පහක කාලයක් පුරා මසකට ඩොලර් මිලියන 500 බැගින් වෙළඳපොළෙන් මිල දී ගත්තොත් වසර පහක් යද්දී ඩොලර් බිලියන 30ක් එකතු වෙලා. ඩොලර් බිලියන 30ක සංචිතයක් හදාගත්තොත් ඉතුරු ඩොලර්බිලියන 20 රටට එන්නේ පියඹාගෙනයි. ඔය වැඩේ කළොත් රටේ ආනයන අපනයන පරතරය නිකම්ම නැති වෙලා යනවා.

මාසයකට ඩොලර් මිලියන මිලියන 500ක් කියා කියන්නේ සාමාන්‍යයෙන් රටට මාසයකට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා, මෙය කළ හැක්කක්. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් ටික වෙළඳපොළෙන් ඉවත් කර ගත් විට වෙළඳ ගිණුමට හා සේවා ගිණුමට සමතුලිත වෙන්න සිදු වෙනවා. ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී, අපනයන ආදායම් වැඩි නොවුනත්, ආනයන වියදම් පහළ යාම නිසා ඔය වැඩේ වෙයි. ආනයන තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින අයට මේ ක්‍රමයට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. පරපෝෂිත මධ්‍යම පංතියට ටිකක් නෙමෙයි ගොඩක් රිදෙයි!

සංචිත ගොඩ නගා ගැනීම පැත්තකින්ම තිබ්බත් ඉදිරි වසර වල වසරකට ඩොලර් බිලියන පහ හයක ණය ගෙවන්න තිබෙන නිසා ඔය ඩොලර් ප්‍රමාණය කොහොමටත් වෙළඳපොළෙන් ඉවත් කර ගන්නම වෙනවා. ණය ගෙවන්න තිබෙන දවස් දන්න නිසා මහ බැංකුවට මේ වැඩේ කලින් සැලසුම් කරන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල වෙන්නෙත්, නිදන් අරමුදල් ක්‍රමය අහෝසි කරන තුරු ලංකාවේ වුනෙත් ඔය වගේ වැඩක්.

ඩොලරයේ මිල ඉහළ යද්දී මිනිස්සු ආයෝජනයක් විදිහට වැඩි වැඩියෙන් ඩොලර් මිල දී ගන්න පෙළඹෙනවා. ඒ නිසා, ඩොලරයේ මිල කීයට ගියත් රටේ ඩොලර් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය නොවිසඳා කොහොමටවත්ම ඉදිරියට යන්න බැහැ. අනෙක් ප්‍රශ්න වගේම මේ ප්‍රශ්නයත් විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි.

ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ දෙන්න සිදු වී තිබෙන මේ මොහොතේ අනිවාර්යයෙන්ම කරන්නට සිදු වන ඊළඟ දෙය පොලී අනුපාතික 28-40% පමණ මට්ටමකට හෝ ඊට වඩා වැඩි මට්ටමකට ඉහළ දැමීමයි. මෙම පොලී අනුපාතික අවම වශයෙන් වසරක කාලයක් දක්වා එම මට්ටමේ පවත්වා ගන්න වෙනවා. රටේ ඩොලර් ඉල්ලුම පාලනය කර, උන්ඩියල් ක්‍රම අධෛර්යමත් කර, ඩොලරයේ මිල දිගින් දිගටම පාලනයකින් තොරව ඉහළ යාම වලක්වා ගත හැකි එකම ක්‍රමය එයයි. ආණ්ඩුව හෝ මහ බැංකුව විසින් කීයටවත් පොලී අනුපාතික මෙවැනි මට්ටමකට වහාම ඉහළ දමයි කියා මම හිතන්නේ නැහැ. හැබැයි එසේ නොකළොත්, අන්තිමට හිර වෙලා ඩොලරය අත ඇරියා වගේම, පොලී අනුපාතිකත් ඉහළ දමන්නම වෙනවා. ඥානක්කා පල්ලා සහතිකයි!

පොලී අනුපාතික එලෙස ඉහළ දැමිය යුත්තේ ඇයි?

මේ වෙලාවේ රටේ ඩොලර් වලට ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් තියෙන්නේ ඩොලරයේ මිල ඉදිරි කාලයේදී දිගින් දිගටම ඉහළ යාම අනිවාර්ය බව කාට වුවත් පැහැදිලිව පේන නිසයි. පළමුව මේ වෙළඳපොළ අපේක්ෂාවන් නිශ්චිත සීමාවක බැඳ තැබිය යුතු බව මම කිවුවා. මා යෝජනා කළ සීමාව මසකට 2-3%කින් ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ හැරීමක්. වසරකට 24-36%ක වැඩි වීමක්. මෙහිදී රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන ඩොලර් අතේ තියා ගන්නා අයෙකුට වසරකට 24-36%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. නමුත්, පොලී අනුපාතික 28-40% මට්ටමේ ඇත්නම්, මේ රුපියල් රුපියල් ලෙස බැංකුවක තියා ගැනීමෙන් ඊට වඩා 4%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ නිසා, ඩොලර් මිල දී ගැනීම පාඩුයි. මේ පරතරය මීටත් වඩා වැඩි කළ හැකිනම් ප්‍රතිඵල තවත් ඉක්මන් වෙයි.

ඩොලරයක මිල ස්ථාවර කර ගැනීම සඳහා මේ මොහොතේ ක්ෂණිකව ගත යුතු, අවශ්‍යම හා වැදගත්ම දෙවන ක්‍රියාමාර්ගය පොලී අනුපාතික විශාල ලෙස වැඩි කිරීමයි. ඒ හරහා, විණිමය අනුපාතය පාලනය කිරීමට අමතරව මුදල් සැපයුම පාලනය කිරීම හරහා උද්ධමනයද පාලනය කළ හැකියි. මේ දේවල් කරද්දී මතු වන අතුරු ප්‍රශ්න තිබෙනවා. ඒ අතුරු ප්‍රශ්න ගැන අප දැනුවත්. ඒ අතුරු ප්‍රශ්න වලටද විසඳුම් තිබෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan