යුද්ධයේ තීරක බලකාය ඉරානය දෙසට හැරෙද්දී මොජ්ටාබා කමෙනි ඇතුළු 10 දෙනෙකුගේ හිසට ට්‍රම්ප් මිල තීරණය කරයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්ටාබා කමේනි ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා සහ බුද්ධි නිලධාරීන් පිළිබඳ තොරතුරු සඳහා ඩොලර් මිලියන 10 ක් දක්වා ත්‍යාගයක් පිරිනැමීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව, මෙම ත්‍යාගය ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සම්බන්ධ නිලධාරීන් 10 දෙනෙකු ඉලක්ක කර ඇත. ඉරානයේ 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව නිර්මාණය කරන ලද හමුදා බලකාය උත්තරීතර නායකයාට පක්ෂපාතී වන අතර ෂියා පූජක සංස්ථාපිතය ආරක්ෂා කිරීමේ කාර්යය භාරව සිටී.

පසුගිය පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ඒකාබද්ධ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලදී අයතුල්ලා අලි කමෙනි කමේනි සහ තවත් ඉහළ ඉරාන නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු මොජ්තාබා කමේනි මෑතකදී ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පත් විය. ඔහුටද ප්‍රහාරවලින් තුවාල ලැබූ බවට විශ්වාස කෙරෙයි. කෙසේවෙතත් ඔහු පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ පළමු නිල ප්‍රකාශයද නිකුත් කළේය.

උත්තරීතර නායකයාට අමතරව, එක්සත් ජනපදය ඉරානයේ ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි, බුද්ධි අමාත්‍ය එස්මයිල් කට්බිබ්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්කන්දර් මොමේනි සහ කමේනිගේ කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු සොයමින් සිටියි.

ඉරානයේ නායකත්වය භූගතව “ආවරණය” කරන බවට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ ප්‍රකාශය නොතකා, ටෙහෙරානයේ පැවති රැලියකට සහභාගී වෙමින් ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සමඟ ලරිජානි සිකුරාදා පෙනී සිටියේය.

IRGC අණදෙන නිලධාරියා සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ඇතුළු තවත් නිලධාරීන් හතර දෙනෙකු ත්‍යාග වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇත. නමුත් ඔවුන්ගේ නම් හෝ ඡායාරූප ඇතුළත් නොවේ.

“මෙම පුද්ගලයින් ලොව පුරා ත්‍රස්තවාදය සැලසුම් කරන, සංවිධානය කරන සහ ක්‍රියාත්මක කරන IRGC හි විවිධ අංග අණ කරන සහ මෙහෙයවයි,” ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ එලෙසය.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන්නෙකු වීම ඉරානය ප්‍රතික්ෂේප කරන අතර එක්සත් ජනපද ත්‍රස්තවාදී චෝදනා පදනම් විරහිත දේශපාලන ප්‍රහාර ලෙස ඉරාන නිලධාරීන් නිතිපතා ප්‍රතික්ෂේප කරන අතර, වොෂින්ටනය එවැනි ප්‍රකාශ මතු කරන්නේ පීඩන ව්‍යාපාර හෝ සම්බාධක සාධාරණීකරණය කිරීම සඳහා යැයි තර්ක කරයි.

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ආරම්භ කරන ලද ගැටුම දැන් ඉරානය විසින් මෙහෙයවමින් සිටින අතර ගෝලීය දේශපාලන විචාරකයින්ට අනුව දැන් අමිකවට හා ඊශ්‍රායලයට මෙම යුද්ධය නතර කරගැනීමට අවශ්‍යව ඇතත් දැන් තීරක බලය ඉරානය අතට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.