Home විශේෂාංග මනුස්සකමක් නැති මිනිස්සු දෙන්නෙක් සමඟ බල ලෝභය හා වංචා දුෂණ : බිලියන...

මනුස්සකමක් නැති මිනිස්සු දෙන්නෙක් සමඟ බල ලෝභය හා වංචා දුෂණ : බිලියන 08ක් අපේක්ෂා භංගත්වයට!

මෙතනින් අහන්න

මෙතනින් බලන්න

කොළඹ LNW:15 වැනි දිනයටත් මැද පෙරදිග යුද්ධය ක්‍රියාත්මකය. අද දවස වන විට ශ්‍රී ලංකාව තුළද ඉන්ධන ලබා ගැනීම සඳහා QR කේතය ක්‍රියාත්මක කර තිබේ. ගල්ෆ් කලාපයේ මෙම යුද්ධය ආසියානු මෙන්ම යුරෝපය පුරා බලපෑම් එල්ල කරමින් තිබෙන අතර යුද්ධය තවදුරටත් ක්‍රියාත්මක වීම තුළ ගෝලීය වශයෙන් ආර්ථික අර්බුදයක් ගොඩනැගීම මෙහි ඊළඟ අදියරයි. එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ පහර දීම දැන් ඉරානය සියතට ගෙන තිබේ. ජනාධිපති ට්‍රම්ප් බලාපොරොත්තු වූ ආකාරයට ඉරානය තුළ පාලනයේ වෙනසක් නැතහොත් රෙජීම් මාරුවක් සිදුනොවුණු අතර ඔවුන්ගේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි ඇතුළු නායකයින් නිලධාරීන්, විද්‍යාඥයින් ඝාතනය වීම තුළ ඇමරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් පළිගන්නා තැනට ඉරානය ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අනුව ඊශ්‍රායලයට මෙන්ම කලාපයේ ඇමරිකානු කඳවුරු ඇතුළු ආයතන වෙත ඉරානය ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර එල්ල කරමින් පසුවෙයි.

මෙම යුද්ධයේ බරපතලකම සෙසු කලාප වෙත දැනෙන්නට පටන් ගන්නේ හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කිරීමත් සමඟය. ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයේ ප්‍රධාන ගමන් මාර්ගයක් වන මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම තුළ ගෝලීයව විශාල ආර්ථික අලාභයක් සිදුකරමින් තිබේ. අවසරයකින් තොරව ගමන් ගන්නා නෞකා වෙත ඉරානය පහර දෙන බවට අනතුරු අඟවා තිබූ පරිදිම එය ක්‍රියාත්මක කිරීමටද පසුබට නොවුණි. මෙම තත්ත්වය මත ඊයේ දිනය වන විට ප්‍රංශය සහ ඉතාලිය මෙම මුහුදු මාර්ගයේ ගමන් කිරීම වෙනුවෙන් ඉරානය සමඟ ගිවිසුම් ගත වීමකට ද සූදානම් වන බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කර තිබුණි.

තත්ත්වය දවසින් දවස බරපතල දිශාවකට ගමන් කරමින් තිබේ. යුද්ධය නිමා වීමක් ගැන සේයාවක් හෝ නොමැති පසුබිමක ඉදිරියේදී රටක් ලෙස අපටද මුහුණ දීමට සිදුවන තත්ත්වය එතරම් සුබදායක නොවනු ඇත. ගෝලීය බල අරගලයේ ප්‍රකාශනයක් ලෙස ක්‍රියාත්මක මෙම යුද්ධය හා ඒ හා සමගාමී ප්‍රවණතා පිළිබඳව විමසීමකට මෙය අවස්ථාවක් කර ගනිමින් ඊට ප්‍රවේශය ගෙන තිබේ. ඒ අනුව එහි පළමු අදියර ලෙස පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්ලේෂකයෙක්, රචකයෙක් ලෙස ප්‍රකට හිටපු වන්නි ආඥාපති මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා විශ්ලේෂණයක් ගෙනහැර දක්වයි.

බලලෝභය සහ මනුස්කමක් නැති කමේ විපාකය!

මෙහිදී මූලික වශයෙන් මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා පවසන්නේ බලලෝභී මිනිසුන් දෙදෙනෙකු නිසා බිලියන 08ක ජනතාවක් අර්බුදයට යමින් සිටින බවයි. දේශපාලන ක්‍රියාවලිය තුළ බලය පවත්වා ගෙන යාම වෙනුවෙන් මෙන්ම ගිලිහීමට නියමිත ආධිපත්‍ය බලෙන් හෝ රැකගැනීම වෙනුවෙන් ක්‍රියාත්ක වීම තුළ රටක් කලාපයක් ලෙස නොව ලොවක් ලෙසම එහි අනිටු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවෙයි. ගල්ෆ් යුද්ධය විසින් ලෝකය රැගෙන යමින් සිටින්නේ එවන් තැනකටය.

”මේ ප්‍රශ්නය ලෝකයට එන්න හේතුව බලලෝභිකම සහ මනුස්සකම නොදත් මිනිස්සු දෙදෙනෙක් නිසා. එක්කෙනෙක් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනිත් එක්කෙනා ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතනියාහු. මේ දෙන්නට චෝදනා කිහිපයකුත් තියෙනවා. බෙන්ජමින් නෙතනියාහුට තියෙනවා වංචා දුෂණ සම්බන්ධයෙන් නඩු තුනක් ඊශ්‍රායල් අධිකරණයේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපචාර සම්බන්ධයෙන් චොදනාවක් එල්ල වෙලා තියෙනවා එප්ස්ටයින් කියන වාර්තාව යටතේ. සාමාන්‍යයෙන් දේශපාලඥයෝ බලයේ රැඳී සිටින්න තමන්ට එල්ල වෙන චෝදනා ආවම මොකක් හරි විෂයක් ඇදල ගන්නවා. මේ වෙලාවේ එයාලට ඇදල ගන්න තියෙන හොඳම තැන තමයි ඉරානය සහ ගාසා. මෙතනදී ඉරානය එක පැත්තකින් ගත්තම පරමාණු බෝම්බයක් හදන්න තීන්දු තීරණ අරන් යුරේනියම් දියුණු කරන එකට එහා ගිය දෙයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. යුද්ධය පටන් ගත්ත එකේ ඊශ්‍රායලයේ තියෙන යටි අරමුණක් තමයි ඊශ්‍රායලය ඉතා කුඩා රටක්. ලංකාව වගේ තුනෙන් එකයි. ඊශ්‍රායලය ඉරානය එක්ක ගහගන්නවා. ඉරානය ගත්තොත් ඊශ්‍රායලය වගේ 75 ගුණයක් ලොකුයි. මෙතැනදී ග්‍රේටර් ඊශ්‍රායලය කියල කතන්දරයක් තියෙනවා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ භූමිය වැඩි කර ගැනීම. පසුගිය කාලයේ කරපු යුද්ධවලින් ඊශ්‍රායලය යම් භූමී ප්‍රමාණයක් අත්කරගත්තා. ඊශ්‍රායලයට ග්‍රේටර් ඊශ්‍රායල් කියන එකට බාධාවක් තමයි තමයි ඉරානය කියන්නේ. මැදපෙරදිග රටවලින් ඊශ්‍රායලයට තර්ජනයක් තියෙන්නේ ඉරානයෙන්. අනෙකුත් රටවල් ඊශ්‍රායලය එක්ක බොහොම හිතවත්ව ඉන්නවා. ඇමරිකාවට කප්පමක් ගෙවාගෙන ඇමරිකාවත් ශේප් එකේ තියාගෙන ආරක්ෂාවත් ඔවුන්ට භාර දීලා පෙට්‍රො ඩොලර් මාර්ගයෙන් තෙල් වෙළෙඳාමත් කරගෙන ඇමරිකාවත් එක්ක කරගෙන ශේප් එකේ ඉන්නවා.”

මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා මෙම මැදපෙර දිග යුද්ධයේ ආරම්භක කේන්ද්‍රීය කාරණය එලෙස පැහැදිලි කරන විට මෙහි බරපතලම පංගුව අදාළ වෙන්නේ ඇමරිකාව නැත්නම් එක්සත් ජනපදය පාර්ශවයටය. ඩීඩොලරීකරණය හමුවේ ක්‍රමයෙන් බිදවැටෙමින් තිබෙන ඇමරිකානු වෙළෙඳ ආධිපත්‍ය මෙන්ම ලෝක ආර්ථිකයේ පෙරමුණට ඉතා වේගයෙන් පැමිණෙමින් සිටින චීනයට හරස් වීම ඇමරිකාවේ ඇති ප්‍රමුඛතම අභිලාෂයකි. එයද මෙම ගැටුම පිටුපස පවතියි.

”ඇමරිකාවේ තියෙන ප්‍රධානම රාජ්‍ය තාන්ත්‍රික අරමුණ තමයි චීනයේ නැගිටීම නැවත්වීම. චීනය තමයි ලෝකයේන් 30%ක් භාණ්ඩ නිෂ්පානය කරන පවර් හවුස් එක. චීනය ආර්ථිකමය වශයෙන් උඩට එන අයුරු දකිද්දී චීනය ලොව බලවත් වෙන්න යන බව කාටවත් පේනවා. ඒක නැවැත්වීමේ අරමුණින් තමයි ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළේ. ඊට කලින් වෙනිසියුලාවේ මදුරෝ අත්අඩංගුවට ගත්තෙත්. ඉරානයට ගහපු එකේ බලාපොරොත්තුව ඉටු වුනා නම් ඒ කියන්නේ දවස් හතරක් ඇතුලේ අයතුල්ලා අලි කමේනි ඇතුළු දේශපාලන නායකයෝ විද්‍යඥයෝ වගේ අය 40කට ආසන්න ප්‍රමාණයක් මරල බලාපොරොත්තු වුණේ රෙජීම් චේන්ජ් එකක්. ඒක වුණේ නැහැ. ඉරානය වැටුණා නම් ඉරානයට ඇමරිකානු බලය ඇතුල් වෙනවා. ඇමරිකානු හිතවාදී ආණ්ඩුවක් මාර්ගයෙන් ඉරානය පාලනය කරලා තෙල් ටික ඒගොල්ලන්ගේ අතට ගන්නවා. ඉරානයේ තෙල් ටික ගියා නම් වෙනිසියුලාවේ තෙල් ටික දැනටමත් ගිහින් තියෙන්නේ. චීනයට මහ විශාල ආර්ථික ප්‍රශ්නයක් එනවා. චීනයට අඩුවට තෙල් ගන්න තැනක් නැති වෙනවා. මොකද චීනය තෙල් ගත්තේ වෙනිසියුලාවෙන්, ඒවගේම ඉරානයෙන්. අඩුවට තෙල් ගන්න බැරි වුණොත් අඩුවට භාණ්ඩ නිෂ්පාදනය කරන්න චීනයට බැරුව යනවා. චීනයේ ලේබර් කෝස්ට් වුණත් ලාබයි. චීනය මුළු ලෝකයටම බඩු දෙන්නේ ඉතාම ලාබෙට. ඒ මාර්කට් එකට චැලේන්ජ් කරන්න කාටවත් බැහැ. තෙල්වලට ප්‍රශ්නයක් දාලා තෙල් සැපයුම අඩු වුණොත් චීනය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි චීනය බලාපොරොත්තු වෙන ලෝකයේ සුපිරි බලවතා වීමේ ඉලක්කයට ප්‍රශ්නයක් එනවා. ඕක තමයි මේ යුද්ධය පිටුපස්සේ තියෙන ඇත්තම කතන්දරේ. නමුත් යුද්ධය දැන් 15 වෙනි දවසටත් එළඹිලා තියෙනවා. ලංකාව තුළත් අද පේන්න තියෙනවා QR කෝඩ් එක පටන් අරන් තියෙනව තෙල් සඳහා. ෂෙඩ් ළඟ පෝලිම් තියෙනවා. මේක ඉන්දියාව ඇතුළු ආසියාවේත් තියෙනවා. යුරෝපයටත් මේ ප්‍රශ්නය බලපානවා. ගෑස් සහ තෙල් ප්‍රශ්නය කියන දෙකම.” යනුවෙන් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා පැහැදිලි කරනු ලබයි.

දෙන්නෙක් නිසා බිලියන 08 ජනතාව අමාරුවේ!

කෙසේවෙතත් ඇමරිකාව සහ ඊශ්‍රායලය බලාපොරොත්තු නොවුණු ආකාරයට ඉරානය නැගී සිටීම හමුවේ දැන් ආපස්සට හැරීමට ඇති නොහැකියාව විසින් විශේෂයෙන් ජනාධිපති ට්‍රම්ප් ලක්ව සිටින අර්බුදය පෙනෙන්නට තිබේ. අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසු ඉරානයේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඇමරිකාව මැදිහත්වනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් වහසි බස් පවසන ආකාරය ලෝකයටම ප්‍රදර්ශනය වුවද අවසානයේ ඉරානය සිය රෙජීමය දශමයකින් හෝ වෙනසකට ලක් නොකර ඇමරිකාවට අභියෝගයක් වෙමින් පසුවෙයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය කළ වරදට පළිගැනීමේ අයිතියක් තමන්ට ඇති බවට ඉරානයේ ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පැහැදිලිව පවසා තිබේ. ඒ අනුව යුද්ධය නතර කිරීමට ඉරානය විසින් කොන්දේසි දමන තැනට මෙම ගල්ෆ් යුද්ධය ඉරානය විසින් හරවා ඇති බවද අමතක කළ යුතු නැත. ඒ අනුව මේ යුද්ධය නවතා දැමීමට නම් නැවත ප්‍රහාර එල්ල නොකිරීමට වගවීමත්,වන්දි වශයෙන් බිලියන 500ක් ගෙවිය යුතු වීමත්, රටේ ආරක්ෂාවට ජාත්‍යන්තර සහතියක් ලැබිය යුතු වීමත් දක්වා තිබේ. මෙයට කොතෙක් දුරට ඇමරිකාව එකඟවනු ඇත්ද යන ප්‍රශ්නය මතුවන අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ඉරානය යටත් විය යුතු වන අතර නැතහොත් මරණය නියත බවයි.

එක් අතකින් පවතින තත්ත්වය සමඟ එක්සත් ජනපදය කොතරම් ව්‍යාකූල වී ඇත්ද යන්න ඉරාන නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්ටාබා කමෙනි ඇතුළු දස දෙනෙකු ගැන තොරතුරු සපයන්නේ නම් ඩොලර් මිලියන 10ක් ලබා දෙන බවට කර තිබෙන නිවේදනයෙන් පෙනී යයි.

ඒ අනුව මේ වන විට ඉරානයේ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර බලවත් බව මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා කියා සිටියි. එය ගුවන් ප්‍රහාරක යානාවලට වඩා බලවත් බවයි ඔහු පවසන්නේ.

”ඉරානය යුද්දෙට සූදානම් වුණේ අවුරුදු 20ක 25ක ඉදන්. මොකද ඉරානයට සම්බාධක දැම්මා. ඔවුන්ට දියුණු වෙන්න දුන්නේ නැහැ. ඉරානයේ මිනිස්සු දුක්වින්දා. ඉරානයේ ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන හින්දා ඉරානය ෆයිට් කරන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට. ජීවත් වෙන්න. ඇමරිකාව ෆයිට් කරන්නේ වෙන අරමුණකට. ඇමරිකානු සෙබළු දන්නේ නැහැ අරමුණ මොකක්ද කියල. ඊශ්‍රායලය ෆයිට් කරන්නේ අනුන්ගේ භුමිය අල්ලගන්න සහ තමුන්ගේ නායකයාගේ දුෂණ වහගන්න. සාමාන්‍යයෙන් මෙහෙම තත්ත්වයක රැකියාව නිසා මිස සෙබළු කැමැත්තෙන් සටන් කරන්නේ නැහැ.” (මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා)

හෝමුස් ගැන ට්‍රම්ප්ගේ ආතතිය!

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් කට කියෙව්වද තවදුරටත් එම මුහුදු මාර්ගය විවෘත කර ගැනීමට හැකි වී නැත. එහි සම්පූර්ණ බලාධිකාරිය ඉරානය විසින්ම පවත්වාගෙන ගෙන යමින් සිටියි. එම මර්හය තුළ අවසට නොගෙන ගමන් කරන්නේ නම් පහර දෙන බවට කළ ප්‍රකාශය අනුවම ඉරානය නෞකාවලට පහර දීමද සිදුකර තිබුණි. ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියු පමණටම දෙයක් කරගැනීමට තවමත් හැකි වී නැත. ඒ අනුව ඉරානයේ ශක්තිය පිළිබඳව ද කතාවක් ලෝකයට දර්ශනය වෙමින් තිබේ.

”හොමුස් සමුද්‍ර සන්ධිය වහල තියෙන නිසා ඇමරිකානු ජනාධිපතිවරයා කියල තියෙනවා ඇමරිකාවේ යුධ නැව් දාලා ගමනාගමනයට ආරක්ෂාව දෙනවා කියල. නමුත් ඇමරිකානු නාවික හමුදාවෙන් එය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද ඒක භයානක වැඩක්. හොමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර 23ක් තමයි පරතරය තියෙන්නේ. ඒ ටිකේ බෝම්බ හයි කරලා තියෙනවා. ඒ වගේම මරාගෙන මැරෙන බෝට්ටු, මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල වෙනවා. දැනටමත් අවසරයක් නැතුව යන්න හදපු නැව් කිහිපයකටම ගහල තියෙනවා. මේ වගේ තත්ත්වයක ඇමරිකාවේ වගේම ඊශ්‍රායලයේ සෙබලුත් රැකියාව වශයෙන් කියන දේ කරන්න පෙළඹෙනවා මිසක් හදවතින් ෆයිට් කරන්නේ නැහැ. නමුත් ඉරානයේ සෙබළු එකතු වෙලා ඉන්නවා අලි කමෙනි ඝාතනය කිරීමත් එක්ක. තව පැත්තකින් ඉරාන ජාතිය අනතුරේ. ආගම අනතුරේ, ඉරාන සංස්කෘතිය අනතුරේ. ඒ නිසා ශක්ත්මත්ව ඔවුන් එකතු වෙලා ඉන්නේ.” යනුවෙන් ඒ සම්බන්ධයෙන් බොනිෆස් පෙරේරා මහතා අදහස් දක්වන ලදී.

ඒ අනුව පවතින මැදපෙරදිග යුද්ධය හමුවේ ලෝක බල දේශපාලනය තුළ සංධිස්ථානයක් සනිටුහන් වීම වැළැක්විය නොහැකිය. බලසම්පන්නභාවය ගැන අධිතක්සේරුවෙන් පසුවන ඇත්තන්ට ද මේ තාක්ෂණ යුද්ධය හොඳම පාඩමකි. ඉරානය වැනි භූමියකට ගොඩබිමින් ඇතුළු වී යුද කොට ජයග්‍රහණය කිරීමට ඇමරිකාවට සිහිනයකි. ඉරානයේ භූමියේ පිහිටීම විසින් එම භූමිය රකින බව ඉරාන විරෝධී පෙරමුණ හොඳින්ම දන්නා කාරණයකි. එක පැත්තකින් ගෝලීයව අර්බුදයන්ට ලක්කරමින් බලය පිළිබඳ ප්‍රශ්නය ලිහා ගැනීමට සිදුව තිබේ. මැදපෙරදිග යුදමය තත්ත්වය දිගුවක් වන්නට වන්නට ඊට සෙසු ආර්ථික බලවතුන්ටද විවිධාකාරයෙන් අත නොදා සිටීමට නොහැකි වනු ඇත. දැනටමත් මෙකී යුද්ධය නතර විය යුතු බවට චීනය සහ රුසියාව ප්‍රමුඛ රාජ්‍යයන්ගෙන් ප්‍රකාශ වී තිබෙන පසුබිමක එය තවදුරටත් දිගුවක් වීම තුළ රාජ්‍ය තාන්ත්‍රික තීන්දු තීරණ එළිබසිනු ඇත. මෙකී යුද්ධය අවසන් වීම ගෝලීය අපේක්ෂාව වුවද යුද්ධය මෙන්ම යුද්ධය තුළ සිදුවන මනුෂ්‍ය ඝාතන අපේක්ෂා නොකරන තැනකට වුව තල්ලු විය හැකිය.

කෙසේවෙතත් ඉතා සීමිත පුද්ගල තීන්දුවක් මත ලෝකයම ගිනිගොඩකට තල්ලු කර හමාරය. ගින්නෙන් බේරෙමින් ගින්න නිවා ගැනීම දැන් පවතින එකම අභියෝගයයි.

සටහන – ආශිකා බ්‍රාහ්මණ