*
Sunday, March 16, 2025
spot_img

Latest Posts

කාලයේ වැලිතලාවෙන් මැකී ගිය ශ්‍රී ලාංකේය කුයර රංගධරයා – ලක්මාල් ෆොන්සේකා

මේ දරුවා පොඩ්ඩක් ගන්න පුළුවන් ද මට මගේ මේ රෙද්ද හදා ගන්න..? නෑ.. ඔයා දරුවා තියා ගන්න, මම ඔයාගේ රෙද්ද හදන්නම්…,” මෝහිණී වෙසින් පැමිණි මැණිකේ අත්තනායකට හෝටලේ වේටර්වරයකු වූ ලක්මාල් ප්‍රතිචාර දැක්වූයේ එසේය. (රාජභවන; කතාංගය 11; නිර්මාණය: බර්ට්‍රම් නිහාල්; තිරරචනය: ආර්.ආර් සමරකෝන්, කේ.බි . හේරත්, එඩ්වින් පීරිස්)

ඉසුරු පරාක්‍රම

ලක්මාල් ෆොන්සේකා යනු ශ්‍රී ලාංකීය රංගන ශිල්පියෙකි. 1962 වර්ෂයේ උපන් ලක්මාල් 80 දශකයේ අග භාගයේ පටන් සහශ්‍ර වර්ෂයන් ගේ මුල් කාලය දක්වා සිනමාව, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය තුළ රංගන කටයුතු වල නියැලුනු අතර, ඔහු බොහෝ විට රංගනයෙන් දායක වූයේ සුළු චරිත වලට ය.

ඔහුගේ රංගන ප්‍රතිභාව මත බොහෝ විට උත්ප්‍රාස රංගන විලාශයක් සිනමාව සහ පුංචි තිරය මත දැක්වූ අතර, ඔහුට ආවේණික අනන්‍යතාවයක් පවත්වා ගැනීමටත් ඒ තුළින් රංගන ක්ෂේත්‍රයේ යම් සන්දිස්ථානයක් සනිටුහන් කිරීමටත් ලක්මාල් සමත් විය.

සිනමාව සහ පුංචි තිරය තුළ ලක්මාල් ෆොන්සේකා ගේ භාව ප්‍රකාශයන් බොහෝ විට සුළුතර ලිංගික අනන්‍යතාවයක් ගම්‍ය කළ අතර, මෙය ඔහු දායක වූ සිනමා හා ටෙලි සිත්තම් වල තිරපිටපත් රචකයන් ගේ අවශ්‍යතාව මත සිදූවූයේ ද යන්න පැහැදිලි නැත. කෙසේවෙතත්, ලක්මාල් යනු සිය ලිංගික දිශානතිය (Sexual Orientation) සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී ප්‍රකාශනය (Gender Expression) කිසිවිටක සැඟවූ පුද්ගලයකු නොවන අතර, ඔහුගේ එම විවෘතභාවය සිනමාව හා ටෙලිසිනමාව තුළ නිශ්පාදකයන් භාවිතයට ගන්නට ඇති ය යැයි උපකල්පනය කළ හැකිය.

ලක්මාල් පාසල් අධ්‍යාපනය හදාරා තිබුණේ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ය. සහෝදරියන් තිදෙනෙකු සහ එක් සහෝදරයකු ගෙන් යුත් පවුලක බාලයා වූ ලක්මාල් ජීවත් වූයේ බම්බලපිටිය ඩික්මන් මාවතේ ද ෆොන්සේකා පෙදෙසේ වූ නිවසක තම මව සමඟ ය. මවගේ අභාවයෙන් පසු බම්බලපිටියේ මැජෙස්ටික් සිටි ඉදිරිපිට වූ තම සහෝදරියකගේ නිවසේ පදිංචියට පැමිණි ලක්මාල් ලංකාවේ එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයකි. ක්‍රොස්ඩ්‍රෙසිං හෙවත් හරස් විලාසිතාවන් හි ප්‍රවීණත්වයක් දැරූ ලක්මාල් කා අතරත් හඳුනා ගෙන තිබුණේ ඉතා කරුණාවන්ත විනෝදකාමී පුද්ගලයකු ලෙස ය. ලක්මාල් ගේ සොහොයුරා දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පුද්ගලයකු වන අතර, මවගේ අභාවයෙන් පසු බම්බලපිටියේ මැජෙස්ටික් සිටි ඉදිරිපිට සිය සොයුරියක ගේ නිවසේ පදිංචියට පැමිණීමත් සමඟ ලක්මාල් ජීවත් වූ ඩික්මන් මාවතේ නිවසේ වර්තමාන හිමිකාරීත්වය ලැබෙන්නේ ඔහුගේ සොයුරුට ය.

ලක්මාල් සිනමාවට පිවිසෙන්නේ 1989 වර්ෂයේ තිරගත වූ හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ ‘නොම්මර 17’ නම් චිත්‍රපටයේ ‘සූප්පුවා’ නම් චරිතය හරහා ය. සමස්ත චිත්‍රපටය පුරාවට ඔහු නියෝජනය කළේ උත්ප්‍රාසය මතුකරන සුළු චරිතයක් මුත්, එම පිවිසුම හරහා ලාංකේය සිනමාව තුළ සිය අඩිතාලම සකස් කර ගැනීමට ලක්මාල් සමත් විය. එතැන් පටන් විවිධ සිනමා පට, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය වලට ලක්මාල් රංගනයෙන් දායකත්වය සැපයීය.

රංගන ක්ෂේත්‍රයෙන් ඔබ්බට ලක්මාල් මානව හිමිකම් පිළිබඳව ද යම් අධිවාචන ක්‍රියාදාමයකට සහභාගී ව සිට ඇතැයි මානව හිමිකම් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පවසන අතර, ඔහු ශ්‍රී ලංකාවේ සමරිසි මානව හිමිකම් ආමන්ත්‍රණය කිරීම සඳහා බිහිවූ පළමු සංවිධානය (1994) වන ගමන්මගේ සහකරුවෝ (Companions On A Journey) සංවිධානයේ ආරම්භක සාමාජිකයකු ලෙස කටයුතු කළ බව ද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පැවති බොහෝ හරස් විලාසිතා උත්සව අවස්ථාවන් වල ලක්මාල් ගේ සහභාගීත්වය අනිවාර්ය අංගයක් විය. ශ්‍රී ලංකාවේ පළමු පෙළ එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජාවේ සාමාජිකයන් සමඟ සමීප සබඳතාවක් පවත්වා ගත් ලක්මාල් එවකට දිවයිනේ සිටි සෑම රූපලාවන්‍ය හා වේශ නිරූපණ ශිල්පියකු හා ශිල්පිනියකම පාහේ හොඳින් දැන හැඳින සිටියේය.

ඔහු වරක මෙවන් හරස් විලාසිතා සංදර්ශන තරඟයකින් ජයග්‍රහණය කළ අතර, සිය ජය සැමරීම සඳහා ගමන්මගේ සහකරුවෝ සංවිධානය විසින් පළකළ ‘ගමන’ (Journey) නම් සඟරාවේ එක් කලාපයක පිටකවරය හරස් විලාසිතාවෙන් හැඩගැන්වී අලංකාරවත් කළ අයුරු ශ්‍රී ලංකාවේ එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ අදටත් සිහිපත් කරති. මේ පිළිබඳව එවකට දිවයිනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක් ද තොරතුරු වාර්තා කිරීමට කටයුතු කර තිබිණි.

සිය රංගන දිවිය තුළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, සබීතා පෙරේරා, දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක, රෙක්ස් කොඩිප්පිලි, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, විමල් කුමාර ද කොස්තා, රන්ජන් රාමනායක, ලාල් වීරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, ලකී ඩයස්, සොමී රත්නායක, බර්ටි ගුණතිලක, විල්සන් කරූ, දීපානි සිල්වා, ඩිලානි අබේවර්ධන, සුසිලා කෝට්ටගේ, ටෝනි රණසිංහ, හයසින්ත් විජේරත්න, විජේරත්න වරකාගොඩ, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනෝජා බිබිලේ, සුනිල් හෙට්ටිආරච්චි, ආනන්ද වික්‍රමගේ, කුසුම් රේණු, මර්සි එදිරිසිංහ, මැණිකේ අත්තනායක, ගීතා කාන්ති ජයකොඩි, රවීන්ද්‍ර යසස් ඇතුළු රංගන ක්ෂේත්‍රයේ බොහෝ දැවැන්තයන් සමඟ ලක්මාල් කටයුතු කර ඇති අතර, 2004 වර්ෂයේ දී ඔහු දිවියෙන් සමුගන්නා විට රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 20 ක් පමණ විය. තම දිවියේ අවසාන වකවානු වල රෝගාතුරව පසුවූ ලක්මාල් මිය යන විට හතලිස් දෙහැවිරිදි වියේ පසුවිය.

ලක්මාල් රංගන දායකත්වය ලබා දුන් වේදිකා නාට්‍ය අතර ලාල් ප්‍රේමරත්න ගේ ‘නාඩගම් රාළ’ (1994) සහ ටෙලි නාට්‍ය අතර අතර සුමිත්‍රා රාහුබද්ධ ගේ ‘දළ රළ පෙළ’ (1998), බර්ට්‍රම් නිහාල්ගේ හාස්‍යොත්පාදක ටෙලිනාට්‍යයක්වන ‘රාජභවන’ (1999), සහ සුනිල් රත්නායකගේ හාස්‍යොත්පාදක ටෙලිනාට්‍යයක්වන ‘පෙරේරාට එරෙහිව කුරේරා’ බොහෝ සෙයින් ජනප්‍රිය ය.

ලක්මාල් ෆොන්සේකා රඟපෑ චිත්‍රපට අතර, නොම්මර 17 (1989), පාරාදීසේ (1991), චෙරියෝ ඩොක්ටර් (1991), හිතට දුකක් නැති මිනිහා (1991), ආසයි බයයි (1991), සුවදෙන සුවඳක් (1991), බජාර් එකේ චන්ඩියා (1992), සක්කර සූත්තර (1992), සිංහ රජා (1992), සාගර තිලිණ (1993), සූර වීර චන්ඩියෝ (1993), පුදුමයි ඒත් ඇත්තයි (1995), මම බය නෑ ශ්‍යාමා (1995), චෙරියෝ කැප්ටන් (1995), මනමෝහිණී (1996), මල් හතයි (1996), සීත රෑ (1999), දඩබිම (2000), කවුද බොලේ ඇලිස් (2000), කොළඹ කොලොප්පන් (2001) සහ ඔබ මගේම වේවා (2001) ප්‍රමුඛ ය.

ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ එකම කුයර නියෝජනය ලක්මාල් ද?

ශ්‍රී ලාංකේය කලා සාහිත්‍යය තුළ සුළුතර ලිංගික නියෝජනය විශාල වශයෙන් පැවති බවට සඳහන් වේ. විශේෂයෙන් ම නවකතා, වේදිකා නාට්‍ය, සංගීත පද පෙළ සහ චිත්‍රපට අතර ධනාත්මක හෝ සෘණාත්මක අර්තනිරූපණයකට යටත් කරමින් සුළුතර ලිංගික අනන්‍යතාවයන් ආමන්ත්‍රණය කිරීම 1960 දශකයේ පටන්ම ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ දක්නට ලැබිණි. කෙසේවෙතත්, සුළුතර ලිංගික අනන්‍යතා පැවති, සහ ඒ පිළිබඳව විවෘත චරිත – නැතහොත් යුරෝපීය ජන සමාජය හැඳින්වූ පරිදි කුයර කලාකරුවන් (Queer Artists) – ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ හඳුනා ගැනීමට ලැබීම අතිශයින් විරල ය. යුරෝපීය බෝල්රූම් සංස්කෘතිය ට (Ballroom Culture) සමාන සුළුතර ලිංගික සංස්කෘතියක් කොළඹ ඇතුළු නාගරික ‍පෙදෙස් වල ද පැවති අතර, කුයර අනන්‍යතා දැරි කලා ක්ෂේත්‍රයේ පුද්ගලයන් මෙම සංස්කෘතිය තුළ වඩාත් කැපී පෙනෙන චරිත විය.

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ වඩාත්ම කැපී පෙනෙන කුයර නියෝජනය වූයේ ටවර් හෝල් යුගයේ සිටි නර්තන ශිල්පී ටී. එච්. ෂෙරීෆ් හෙවත් සරලා බායි ය. විධුර ජාතකය, මාණාභරණ, උම්මග්ග ජාතකය, පද්මාවතී, පණ්ඩුකාභය, රාමායනය, ඔතැලො, මායාදුන්නේ, පරංගි සංහාරය, රොඩි කෙල්ල, මගුල් කපුවා, ආදී නාට්‍ය සිය ගණනක ‘නළඟන’ ලෙසත් ස්ත්‍රී භුමිකා රංගනයෙනුත් දායකත්වය ලබා දුන්නේ සරලා බායි ය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය සැලකූ විට සුළුතර ලිංගික ප්‍රජා නියෝජනයට අමතරව, සිනමා ක්ෂේත්‍රය හා ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමට සුළුතර ලිංගික ප්‍රජාව සමත්ව ඇති බවට පැරණි සිනමා පට ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. විශේෂයෙන්ම සිනමාවේ වේශ නිරූපණය, කොණ්ඩා සැකසුම්, ප්‍රාසාංගික නර්තන, හරස් විලාසිතා ඇතුළු කටයුතු සඳහා එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජා සාමාජිකයන්ගේ නොමඳ සහාය ලැබී ඇති බවට නිරීක්ෂණය කළ හැකිය. සුළුතර ලිංගික ප්‍රජාවන් ට විවිධ සමාජ තලයන් වල සිදුවන හිංසනයන්, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් පිළිබඳව වර්තමානයේ ශක්තිමත් සංවාදයක් ගොඩනැගී තිබුණ ද, ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ එල්ජීබීටීකිව්අයිඒ+ අනන්‍යතාවයන් ට පැවති පිළිගැනීම සහ සිස්-සමාජභාවී විෂමරිසි ප්‍රජාව ඔවුන් සමඟ පවත්වා ගත් සහජීවනය ආමන්ත්‍රණය කිරීමට අප අසමත් ව තිබේ.

මීට අමතරව, මාධ්‍යකරණය, පුවත්පත් නිවේදනය සහ රංගනය තුළ කැපීපෙනෙන භූමිකාවක් ඉටු කළ රිචර්ඩ් ද සොයිසා ද ප්‍රමුඛය. ඝාතනයට ලක්වූ රිචර්ඩ් ද සොයිසා ගේ සමකාලීනයන් ප්‍රකාශ කරන අන්දමට ඔහු සිය සමරිසිභාවය කිසිදු විටක සඟවා ගෙන ජීවත් වීමට කටයුතු කළ පුද්ගලයකු නොවීය. නිහාල් නෙල්සන් මහතා ගායනා කළ ‘සරමට හරි හැඩයි එයා’ නම් ගීතය හරහා කියවෙන ඔල්ගා දේවී නම් චරිතය ද එම ගීත නිර්මාණය හරහා මුහුණට මුහුණ හඳුනා නොගත් කුයර චරිතයක් යැයි යම් අර්තනිරූපණයකට යටත් කළ හැකිය. චාර්ල්ස් නයිජල් ද සිල්වා යනු මේ හා සමානම භූමිකාවක් ශ්‍රී ලංකාවේ කලාව හා මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ එක හා සමානව දැක්වූ චරිතයකි. කෙසේවෙතත්, ලක්මාල් ෆොන්සේකා ශ්‍රී ලාංකේය පුංචි තිරය හා රිදී තිරය තුළ ඉටුකළ භූමිකාව බොහෝ දෙනෙකුට අමතකව තිබීම කණගාටුවට කරුණකි.

ලක්මාල් ලා මහජන දෘෂ්ඨියෙන් මැකී යාම

සිංහල සිනමාවේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් හි බොහෝ නොමැකෙන චරිත පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන්නන් හට භෞතික ලේඛනාරක්ෂණ ක්‍රියාවලියෙන් පරිබාහිරව පිහිටට ඇති ප්‍රභලතම මෙවලම වන්නේ අන්තර්ජාලයයි. අන්තර්ජාලයේ ඇති අසීමිත ඉඩ ප්‍රමාණය තුළ ගබඩා කළ හැති තොරතුරු ප්‍රමාණය ද අසීමිත ය. ශ්‍රී ලාංකේය කලාව පිළිබඳ සමාජ මාධ්‍ය ජාල ඇතුළු අන්තර්ජාල අවකාශය පිරී ඉතිරී යන තරමේ තොරතුරු ප්‍රමාණයක් ඉතා පහසුවෙන් පරිශීලනය කිරීමට හැකිව තිබිය දී, මෙම ලිපිය ලියවෙන මොහොත තුරුම ලක්මාල් ෆොන්සේකා පිළිබඳ විස්තරයක් තබා ඡායාරූපයක් වත් අන්තර්ජාලය තුළින් සොයාගැනීමට නොමැති තරම් ය. 90 දශකයේ සිනමාව අත්විඳි වර්තමානයේ ද ජීවත් වන සිනමාලෝලීන්ගේ සිත් තුළ ලක්මාල් ගේ රුව කොතැනක හෝ තවමත් සේයා වී තිබෙනු ඇති බවට අපට විශ්වාස ය. නමුත් යුග තුනක් පසුකර සිටින මේ මොහොතේ ලංකාවේ සමරිසි ප්‍රජාවට ගොඩනැඟී එන (එහෙත් මන්දගාමී) මහජන පිළිගැනීම තුළ කුයර අනන්‍යතා දරන තරුණ කලාකරුවන් ට තවමත් ආදර්ශමත් චරිත – නැතහොත් රෝල් මොඩල (Role Model) – නොසිටීම ඛේදවාචකයකි. ශ්‍රී ලාංකේය කලාව තුළ පැවති කුයර නියෝජනය මෙසේ මහජන දෘෂ්ඨියෙන් මැකී යාම, හෝ ඒ පිළිබඳව නිසි ඇගයීමක් ලබා නොදී තිබීම සමරිසිභාවය විදේශකරණය කිරීමට වෙරදරන න්‍යායාචාර්යවරුන්ට රන් ආකරයක් සෑරීමට ලබා දෙන සවලක් වැනිය.

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස ලැබීමත් සමඟ බිහිවූ පසමිතුරු දේශපාලන සංස්කෘතිය විසින් නිර්මාණය කරන ලද ප්‍රභලතම මායාවක් වන්නේ එල්ජීබීටීකිව්අයිඒ+ අනන්‍යතාවයන් ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනි බවයි. ලංකාවට ආවේණික කුයර අනන්‍යතාවය රැකගැනීම සහ ලේඛනගත කිරීම සිස්-සමාජභාවී විෂමරිසි ප්‍රජාවට වඩා කුයර ප්‍රජාව වෙතම පැවරෙන වගකීමක් විය යුතුය. නමුත් ජීවත් වීමේ නිදහස මූලික අයිතිවාසිකමක් යැයි ව්‍යවස්ථාපිතව හඳුනා නොගන්නා රටක් තුළ කුයර අනන්‍යතාවයන් දසඅත විසිරී තිබීම සහ පොදු අරමුණක් කරා ඒකරාශී වීමේ මදකම අරුමයක් නොවන්නා සේම, එදා කලාව තුළ පැවති ප්‍රභල කුයර නියෝජනයට නිසි වටිනාකමක් ලබා නොදී තිබීම පිළිබඳව ද අප පුදුම නොවිය යුතුය. අදටත් ජීවතුන් අතර සිටින ලක්මාල් ගේ සමකාලීන ප්‍රජා මිතුරන් ඔහුගේ හදිසි වියෝව සිහිපත් කරන්නේ නෙතට කඳුලක් එක්කරමිනි. නමුත් ඒ ලාංකේය කුයර කලාවේ තවත් එක් වැසූ පරිච්ඡේදයක් පමණි.

ලක්මාල් සිනමාව තුළ විහිලුවට ලක්වූවා ද?

ලක්මාල් ෆොන්සේකා ගේ රංගනයේ කැපී පෙනෙනම ලක්ෂණය වූයේ ලාලිත්‍යයට බර භාවප්‍රකාශනයන් දැක්වීමයි. ඔහු ඒ තුළින් වේෂ නිරූපණ ශිල්පියකු, හරස් විලාසිතාකරුවකු, බජාර් එකේ චන්ඩින්ගේ ආවතේවකම් කරන්නකු, ධනවත් ව්‍යාපාරිකයකුගේ මටසිලිටු පුතු, වීදි නර්තන ශිල්පියකු, පවුලේ කරදරකාර සහෝදරයකු, සිදාදියේ ළිඳ ලඟ සංගමයේ සාමාජිකයකු, ෆැක්ටරියක වැඩකරන ‘බුද්ධිය අඩු’ කම්කරුවකු, බිරිඳගේ ‘බිරිඳක් මෙන් සුවච කීකරු’ ස්වාමිපුරුෂයා, හෝටලයක වේටර්වරයකු ආදී සුළු චරිත නිරූපණය කළේය. එහෙත් ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන රංගනය ඇතුළත් වූයේ හේමසිරි සෙල්ලප්පෙරුම විසින් අධ්‍යක්ෂණය කළ ‘මනමෝහිණී’ (1996) චිත්‍රපටයේ ‘ලොලිපොප්’ නම් චරිතය තුළ ය. එම චරිතය හුදෙක් සුළු චරිතයක් නොවූ අතර, ලාලිත්‍යයට බර භාව ප්‍රකාශනය උපායමාර්ගිකව යොදා ගැනීම හරහා කතාවස්තුවේ වැදගත් පරිච්ඡේදයන් කිහිපයක් ම පුරවමින් සමස්ත සිනමා පටය පුරාවටම නොමැකෙන රංග ප්‍රතිභාවක් නිරූපණය කිරීමට ලක්මාල් ‘ලොලිපොප්’ තුළින් සමත් වෙයි.

වර්තමාන චින්තනය අනුව සුළුතර ලිංගික අනන්‍යතාවයන් මෙවන් චරිත වලට පමණක් ලඝු කිරීම සහ උත්ප්‍රාසය දැනවීමට යොදා ගැනීම බරපතල අන්දමින් ප්‍රශ්න සහගත වූව ද, ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ කුයර නියෝජනය අභාවයට නොයවා මෙතෙක් කාලයක් පවත්වා ගැනීමට ලක්මාල් වැන්නවුන් සමත් විය. ලක්මාල් රංගන දායකත්වය ලබා දුන් සෑම චරිතයක් ම පාහේ සිනමාව තුළ යොදා ගැනුනේ උත්ප්‍රාසය මතු කිරීමටය. අතරින් පතර තම ලිංගිකත්වය හැඟවෙන අන්දමේ දෙබස් ද ඇතැම් සිනමා පට වල අන්තර්ගත වන අතර, හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ ‘සූරවීර චන්ඩියෝ’ (1993) නම් චිත්‍රපටයේ ලක්මාල් නියෝජනය කළ චරිතය අසන යම් පැණයකට, ලාල් වීරසිංහ රංගනයෙන් දායක වන චරිතය, “උඹ කියන්නේ ඕවා බයිස්කෝප් වල දාලා මේක තහනම් කර ගන්නද?” යැයි ලබා දෙන පිළිතුරෙන් සහ රන්ජන් රාමනායන රංගනයෙන් දායක වන චරිතය, “මගේ පාර්ට්නර්කමට උඹව ගන්න? උඹ හිතුවේ මමත් උඹේ ජාතියේ එක්කෙනෙක් කියලා ද?” යැයි ලබා දෙන පිළිතුරෙන් මෙය වඩාත් තහවුරු වෙයි. වර්තමානය වන විට තනි තටුවෙන් පියාඹන්න (2003), සයපෙති කුසුම (2013), මායා (2016), ෆනී බෝයි (2020) ඇතුළු සිනමා පට හරහා සුළුතර ලිංගික චරිත හුදෙක් එම නියෝජනයට සීමා නොවී ඔවුන්ගේ අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීම දක්වා වර්ධනය වී තිබෙන මුත් ලාංකේය සිනමාවේ ඉතිහාසය තුළ සුළුතර ලිංගික අනන්‍යතාවයන් ට ලබා දී තිබුණේ මෙවන් සුළු චරිත ම පමණකි. ලක්මාල් ගේ රංගන දිවිය තුළ ඔහුට නිසි තැන නොලැබුනේ හෝ උපහාසයට පමණක්ම ලක්වූයේ යැයි තර්ක කර සිටීම නිශ්ඵල ක්‍රියාවක් වන්නේ එල්ජීබීටීකිව්අයිඒ+ අනන්‍යතාවයන් පිළිබඳව ඔහුගේ යුගයේ පැවති ජන විඥාණය තුළින් මීට වඩා ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.

එහෙත් ලක්මාල් ජීවත් විය, සිය ජීවිතයේ අවසාන මිනිත්තුව දක්වා පුද්ගල සබඳතා ගොඩනඟා ගත්තේය. ඔහු හා සමානවම ශ්‍රී ලාංකේය කලාව තුළ විවිධ භූමිකාවන් ඉටුකළ කුයර අනන්‍යතා පැවති පුද්ගලයහු සිස්-සමාජභාවී විෂමරිසි ප්‍රජාව සමඟ යම් සහජීවනයක් පවත්වා ගත්හ; අදටත් පවත්වා ගනිති. අප ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය වන්නේ සිනමාව තුළ ලක්මාල් වැන්නවුන් හුදෙක් විසිලු සපයන කවටයන් වූවා ද යන්න නොව, ලාංකේය සිනමාව තුළ එල්ජීබීටීකිව්අයිඒ+ නියෝජනය පැවති ඒ ඉතිහාසය අමතක කර දැමීමට තරම් ශ්‍රී ලාංකික එල්ජීබීටීකිව්අයිඒ+ ප්‍රජාව සාහසික වූවා ද යන්නයි.

ස්ත්‍රීත්වය හෑල්ලු කරන පුරුෂාධිපත්‍යය

ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ සුළුතර ලිංගික ප්‍රජා නියෝජනය සුළුතර ලිංගික ප්‍රජාව විසින් ම එසේ අමතක කර දමන විට, ඊටත් වඩා උඩුදිවයන දැවැන්ත සමාජ අරගලයක් කෙරේ අප අවධානය යොමුකළ යුතු ය. ලාංකේය ජන විඥාණය කුයර අනන්‍යතාවයන් කෙරේ කුමන අන්දමේ ආකල්ප ඇති කර ගත්ත ද, ලාලිත්‍යය, ස්ත්‍රීත්වය හෝ පුද්ගලයකු සතු වනිතා ලක්ෂණ හෑල්ලුවට ලක්කිරීමට තිබෙන පදනම කුමක්ද යන්න අප ප්‍රශ්න කළ යුතුය. එදා සිනමාව තුළ ලක්මාල් වැන්නවුන් ගේ රංගන ප්‍රතිභාව මතුවූයේ ලාලිත්‍යය මුසු භාවප්‍රකාශනයන් ඔස්සේ ය. වානිජ සිනමාව තුළ හරස් විලාසිතාව, හෝ ස්ත්‍රීත්වය මුසු කළ පිරිමින්ගේ රංගනය උත්ප්‍රාස තේමාවට නතු කළේ ඇයි? ස්ත්‍රීත්වය හෑල්ලුවට ලක්කළ යුත්තක් ද? එය හාස්‍යය දනවන්නක් ද? අදටත් පුරුෂයකු කාන්තාවක ලෙස වෙස්ගෙන පුංචි තිරය (හෝ රිදී තිරය) වෙත පියමනින්නේ ප්‍රේක්ෂකාගාරය සිනා සයුරක ගිල්වීමේ අරමුණින් යුතුව ය. පුරුෂයකු කාන්තාවක ලෙස පෙනීසිටීම හා සමානවම කාන්තාවක පුරුෂයකු ලෙස පෙනීසිටීම හාස්‍යයට තුඩු දේ ද?

ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාවය (Gender Equality) ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්කයන්ගේ අනිවාර්ය අංගයකි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ද ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ආරක්ෂා වන බවට අර්තනිරූපණ අපමණ පවතී. නමුත් අදටත් අපයෝජනයේ වින්දිතයකු ඇගේ ස්ත්‍රීත්වය මත අපයෝජනය වූවා යැයි තර්ක කරමින් අපයෝජන සංස්කෘතිය සාධාරිනීකරණය කරන පුරුෂ-මූලික සමාජයක අප ජීවත් වේ. ඒ අනුව සැබවින්ම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවයක් අප අතර තිබෙනවා ද යන්න ප්‍රශ්න සහගත නොවේද? ස්ත්‍රීත්වය, ලාලිත්‍යය හෝ වනිතා ලක්ෂණ යනු හාස්‍යය ට තිබෙනා සමානාර්ථපද බවට පත්කරමින් සහ හරස් ප්‍රකාශනයන් දැක්වීම පුරුෂත්වයට නුසුදුසු බව හඟවමින් ලාංකේය සිනමාව, ටෙලිනාට්‍ය ඇතුළු කලා වේදිකාවන් තුළ ද පොළෝ පත්ලේ ඇති මැග්මා දියර මතුපිටට පැමිණෙන්නාක් මෙන් ගිනි පුපුරු විද මතුවන්නේ මේ පුරුෂාධිපත්‍යය ම නොවේද? ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය සිටි රාජ්‍යය යැයි උදම් ඇනීමට ඉතිහාසයක් ඉතිරිකර දුන්, කාන්තාව උතුම් කොට සලකන සමාජයක් ඇතැයි උදම් ඇනීමට සංස්කෘතියක් උරුමකර දුන් ශ්‍රී ලංකාව තුළ තවමත් බලපැවැත්වෙන්නේ හුදෙක් ලිංගික අවයවයක් මත පදනම් වූ මෙම පුරුෂෝත්තරීතරභාවය ම (Male Supremacy) නොවේද?

සුළුතර ලිංගික ප්‍රජාව යනු එහි එක් වින්දිතයකු පමණක් නොවේද? 90 දශකයේ ලක්මාල් ලා ද, නූතන කලාවේ විසා, භූමි, බ්‍රැන්ඩන් ලා ද නොකියා කියා පාන්නේ එය නොවේද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan