සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 17, (LNW)කොළඹ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන සිව්දින තරගාවලියේ පළමු සතිය නිමා වුණේ පිතිකරුවන් විසින් ශතක හයක් වාර්තා කරමින්.ඒ අතරින් වැඩිම ලකුණුලාභියා වූයේ ගාල්ල කණ්ඩායම වෙතින් පළමු ඉණිමේ පරාජයක් හිමිකර ගත් මහනුවර කණ්ඩායමේ කමිල් මිශාර යි.ඔහු ලකුණු 158 ක් රැස් කරන්නට සමත් වුණා.ශතක හයක් වාර්තා වුව ද ඉණිමක කඩුලු 5 ඉක්මවා දවා ගැනීමට සමත් වූ පන්දු යවන්නන් වාර්තා වුණේ දෙදෙනෙකු පමණක් වූ අතර එම ගෞරවය ජෙෆ්රි වැන්ඩර්සේට සහ නිශාන් පීරිස්ට හිමි වුණා.
කමිල් මිශාර ශතකය රැස් කළ තරගයේදී ක්‍රියාත්මක වූ ඉණිම තුන තුළ ශතක හතරක් වාර්තා වුණා.පළමුව පන්දුවට පහර දුන් ගාල් කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු 602 සඳහා නිපුන් ධනංජය රැස් කළ ලකුණු 137 සහ රමේෂ් මෙණ්ඩිස් රැස් කළ ලකුණු 121 අයත් වුණා.ඊට පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායම සිය පළමු ඉණිමට ලකුණු 350 ක් රැස් කරනු ලැබුවා.කමිල් ගේ ශතකය අයත් වුණේ එම ඉණිමටයි.දෙවන ඉණිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම ඉණිම නිමා කරන විට කඩුලු 5 ට ලකුණු 265 ක් රැස් කළ සිටි අතර එම තරගයේ වාර්තා වූ සිව්වන ශකතය වාර්තා වුණේ එහිදී යි.එම ගෞරවය ගාල්ල කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර ට හිමි වුණා.
මෙම තරගයේ දී පන්දු යවන්නන් අතරින් යම් කැපී පෙනෙන දස්කමක් ඉදිරිපත් කරන්නට සමත් වුණේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයෙක් වන මිලාන් රත්නායකයි.ඔහු ගාල්ල කණ්ඩායම වෙනුවෙන් මහනුවර කණ්ඩායමේ ඉණිම ලකුණු 350 ට සීමා කරන්නට මුල් වෙමින් ලකුණු 65 ට කඩුලු 4 ක් දවා ගනු ලැබුවා.
කොළඹ සහ යාලනය කණ්ඩායම් අතර පැවති තරගයේදී කොළඹ කණ්ඩායම ලකුණු 87 ක් ජයක් හිමි කර ගනු ලැබුවා.එහිදී පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි කොළඹ කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 144 ක් රැස් කරනු ලැබුවා.පළමු ඉණිමේ කොළඹ කණ්ඩායම රැස් කළ ලකුණු 386 ට සම්මාදම් වෙමින් අවිශ්ක එම ලකුණු ප්‍රමාණය රැස් කරන්නට සමත් වුණා.
පිළිතුරු ඉණිමට යාපනය කණ්ඩායම රැස් කළේ ලකුණු 246 ක් පමණයි.දෙවන ඉණිමේදී කොළම කණ්ඩායම කඩුලු 6 ට ලකුණු 313 ක් රැස් කර යාලනය කණ්ඩායමට ජය ගන්නට ලකුණු 424 ක ඉලක්කයක් ලබා දුන්නා.එම ලකුණු ප්‍රමාණය හඹා ගිය යාපනය ඉණිම ලකුණු 336 ට සීමා වූ අතර සතියේ හයවන ශතකය වාර්තා කරමින් එහිදී රවිඳු රුෂාන්ත ලකුණු 107 ක් රැස් කරන්නට යෙදුණා.
මෙම තරගයේදී දඟ පන්දු යවන්න් වශයෙන් ජෙෆ්රි වැන්ඩර්සේ සහ නිශාන් පීරිස් සතියේ හොඳම පන්දු යැවීම් වාර්තා කරන්නට සමත් වුණා.කොළඹ කණ්ඩායම පළමු ඉණිමට ලකුණු 386 ක් රැස් කරද්දී යාලනය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක් සිඳු කළ ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 86 ට කඩුුලු 6 ක් දවා ගන්නට සමත් වුණා.පිළිතුරු ඉණිමේදි යාපනය ලකුණු 246 ට සීමා කරමින් කොළඹ කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම සිඳු කළ නිශාන් පීරිස් ලකුණු 59 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් වුණා.
