Home පුවත් බදාදාට පොදු ප්‍රවාහනයත් සීමා වෙයි!

බදාදාට පොදු ප්‍රවාහනයත් සීමා වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කරනතෙක් හෙට (18) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ සතියේ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය.

නිවාඩු දිනය තෝරා ගැනීමේදී විකල්ප කිහිපයක් සලකා බලා ඇති අතර සිකුරාදා සිට ඉරිදා දක්වා දින තුනක් නිවාඩු ලබා දීමෙන් රජයේ කාර්යාල කටයුතු සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට බාධා ඇති විය හැකි හෙයින් නිවාඩු දිනය බදාදා ලෙස තෝරා ගැනුණු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

බදාදා දිනය නිවාඩු ලෙස නම් කිරීමෙන්, සඳුදා හා අඟහරුවාදා දිනවලත්, බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලත් රජයේ කාර්යාල ක්‍රියාත්මක වීමට හැකි වන අතර එමඟින් මහජන සේවාවන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි ඔහු කියා සිටියේ.