ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම,අත්තනෝමතික ලෙස නව රෙගුලාසි පැනවීම , සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකගවුනු නිලවරණ මාර්ග සිතියම ඒක පාර්ශවිකව කඩ කිරීම වැනි කරුණු සලකා බලා ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී පැවැත්වූ අවස්ථාවේදී රටවල් 197 ක්, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනම් පැනවීමට සහාය පලකරමින් ජන්දය ලබා දී ඇත.මේ වන විට ක්‍රීඩා පණත සම්බන්ධයෙන් ද නඩු කිහිපයක් අධිකරණයේ විභාගයට ගැනීමට තීරණය වි ඇති අතර පණතේ සංශෝධනයන් ක්‍රියාත්මකවීම ද නඩු තීන්දු ලැබෙන තෙක් ක්‍රියාත්මක කිරීම අත් හිටුවා ඇත.
විශේෂයෙන්ම මෙම සංශෝධන ද ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල එකඟතාවයෙන් බැහැරට යොමු වී ඇති අතර,ඒ සම්බන්ධයෙන් යම් විවේචන ද එල්ල වෙමින් ඇත.ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මෙම තීරණය සහ රටවල්වල එකඟතාවය වෙනත් ජාත්‍යන්තර සංගම්වලට ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් යම් තහනමක් පැනවීමට උත්තේජනයක් සපයනු ඇත.ලොව වැඩිම පිරිසක් සහභාගිවන ජනප්‍රියම ක්‍රීඩාවේ රටවල් 197 ක් ශ්‍රී ලංකාවේ පාපන්දු තහනමට එකඟවීම යනු ක්‍රීඩා අමාත්‍යවරයා මිලියන 22 ක ජනතාව වෙනුවෙන් ක්‍රීඩා පණත වෙනස් කරන බවට අධිකරණය පවා එම කටයුත්ත විභාගයට ගැනීමට තීරණය කර තිබියදී කියවමින් යමින්,ක්‍රීඩාවට කුමන හෝ සම්බන්ධයක් ඇති පිරිස් කැඳවා ප්රශස්ති ගායනා කරවීම වැනි කරුණුවලට අදාළ නොවන බව අවබෝධ කර ගත යුතුය.
අප මීට පෙර ද ලෝකයේ මිලියන ගණනක් ක්‍රීඩා කරන මිනිසුන් පොදු එකඟතාවයක් ඇති නීතිමය රාමුවකට කැඳවා,ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමෙන් පාලනය වන නීති රාමුවක් ඇතැයි පවසද්දී,පොළොන්නරුවේ වැඩිම මනාපලාභියා වීම,ලෝකය වෙනස් කරන්නට දුන් ජන වරමක් ලෙස උද්ධච්ඡ ආකාරයෙන් සිතීම මෙන්ම ඊටම හරි යන උපදේශක කැළකගේ ඇසුර ලැබීම හරහා ක්‍රිඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ජාත්‍යන්තරය ඉදිරියේ තහනම් විය හැකි මට්ටමට පත් කර ඇත.
රටේ ක්‍රීඩාව වෙනුවෙන් වැඩ කිරීම යනු ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව සඳහා සකසා ඇති රාමුවට අනුව ක්‍රියාත්මක වීම යන්න ක්‍රීඩා අමාත්‍යවරයාට තේරුම් කර දෙන්න කිසිඳු උපදේශකයෙක් ඔහු පත් කරගෙන නැති වීම ද මේ අවස්ථාවේදි අවධානයට යොමු විය යුතු කාරණයකි.ජාත්‍යන්තර ක්‍රීඩා නීතියට අනුව කටයුතු කිරීමේ දී ජාත්‍යන්තරයට ද දෙවැනි නොවි අභියෝග කිරීමේ හැකියාවක් එම රාමුව අතරේ පවතින බව ක්‍රීඩා අමාත්‍යවරයා දැනගත යුතුය.එසේ නොවී ‘අපේ රටේ හැඩේ මේකයි.ඔයාල අපිට මෙහෙම වැඩ කරන්න දෙන්න’ කිව්වාට ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට තබා රුසියාව,ඇමෙරිකාව වැනි දැවන්ත රටවලට ද නිශ්චිත රාමුවෙන් පිට වැඩ කරන්නට ඉඩක් දෙන්නේ නැත.එසේම ඒ ආකාරයට මෝඩ මතයන්හි පිහිටා වැඩ කරන රටවලට තහනමත් සමඟ එම ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලින් ක්‍රීඩාවේ අභිවෘද්ධීය පිණිස ලැබෙන ආධාර අනුග්‍රහ හිමිවන්නේ ද නැත.
ජාත්‍යන්තර සම්මේලනවලට අනුව රටේ ක්‍රීඩාව ක්‍රියාත්මක වෙන්නේනම් ඒ ඇතුළත සිට ක්‍රීඩාවේ සම්ප්‍රදායන්,සංස්කෘතීන් උල්ලංඝණය වන අවස්ථාවන් හි ජාත්‍යන්තර මට්ටමට හෝ අභියෝග කරන්නට ඉඩ ලැබෙන්නේය.උදාහරණයකට ආසියානු රගර් සභාපති පෞද්ගලික මත ගැටුමක් හරහා ශ්‍රී ලංකා සභාපතිවරයා සමඟ ඇති කරගෙන තිබෙන අර්බූදය ආසියානු සම්මේලනයම පරීක්ෂණයට එකඟවීමත්,ආසියානු සභාපතිවරයා අනුව නොගොස් ජාත්‍යන්තර සම්මේලනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමත් ගත හැකිය.
ඒ නිසා රටක් ලෝකයක් සමඟ කටයුතු කරන විට රටේ හැටියට ලෝකය හැසිරවිය නොහැකිය යන සරල තේරුම් ගැනීම හෝ ක්‍රීඩා අමාත්‍යවරයාට නොමැතිකම මෙන්ම නිහතමානීව නිවැරදි වීමට එකඟ නොවන උද්ධච්ඡකම ද ගැටළුවක් වී ඇත.ඔහු එකඟ වෙනවා වෙනුවට ක්‍රීඩාවන්හී නියැලෙන පිරිසගේ කැමත්ත නැති බංකොළොත් චරිත ගෙන්වා ගෙන මරු කීමේ ඔළු ගෙඩි ගණන වැඩි කර ගැනීමේ දේශපාලනයක නිරත වෙමින් ඇත.ලෝකයක් විසින් ගනු ලබන තීරණ ප්‍රතිපත්තිමය වශයෙන් නිශ්චිතව සකසා ඇති ආකෘතියක ගන්නා ඒවා බැවින් මිලියන 22 කේම අත්සන් රැඟෙන ගියත් ඒ සංගම් ක්‍රියාත්මක වන්නේ එළැඹි ප්‍රතිපත්තමය කාරණා මත පිහිටා නිශ්චිත හැඩයකින් බව ක්‍රීඩා අමාත්‍යවරයාට අවබෝධයක් නැතිකමෙන් තවමත් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම් කර තිබීමෙන් අත් මිදෙන්නට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමම දැක්විය හැකිය.
රට විශාල කඩා වැටීමක තිබියදී ලෝකයෙන් උදව් ගෙන නැගිටීමේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහයට ද පාපන්දු ක්‍රීඩාව පවතින ලෝකයේ රටවල් 197 ක් විරුද්ධවීම බලපාන්නේය.නමුත් ජනාධිපතිවරයාට මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලයට ද සමහර විට මේවා සෙල්ලම්වල වැඩ විය හැකිය.ක්‍රීඩා අමාත්‍යවරයාගේ නව සංශෝධන මේ මොහොත වන විටත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිත නඩු නිමිත්තක් දක්වා දුර ගොස් තිබියදී ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු ආදර්ශය තවත් ක්‍රීඩා උදාහරණයට ගතහොත් ශ්‍රී ලංකාව ක්‍රීඩා ලෝකයේ හුදෙකලා වනු ඇත.එසේම ලෝක අවධානය සහ උපකාරය අවශ්‍යය මොහොතක අයිඑම්එධොර අල්ලාගෙන නැඟෙන්නට උත්සාහ කරන රටටමත් එය බලපාන්නට හැකිය.
මන්ද, ජාත්‍යන්තර ආයතන යහපත් සහ ස්වාධීන පාලනය, මානව හිමිකම් ආරක්ශා කිරීම වැනි ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙන මෙවැනි වකවානුවේ, ක්‍රීඩාවේ ස්වාධීනත්වය දේශපාලන අරමුණ හරහා පවත්වාගෙන යාමට ශ්‍රීලංකව ගෙනයන උත්සාහය ලෝක ප්‍රජාව විසින් හෙලා දැක තිබීම රටවල් 197 ක් ශ්‍රී ලංකාවේ පාපන්දු තහනමට හේතුව බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගැඹුරෙන් සළකා බැලිය යුතු කාරණයකි.
මෙවැනි තත්ත්වයකදී රජයක් හැටියට අදාළ ජාත්‍යන්තර සංගම් සමඟ මෙන්ම,ජාතික ඔලිම්පික් කමිටුව හරහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ආමන්ත්‍රණය කර මේ රටේ ක්‍රීඩා පණත,ඒ ඒ ක්‍රීඩාවන්ට සම්බන්ධ ලෝක ක්‍රීඩා සංගම්වල ආකාරයට සකස් කිරීමේ වැඩ පිළිවෙලකට යා යුතුය.සමහර විට ජනාධිපතිවරයා මේ ගැන අවධානය යොමු නොකර සිටියහොත් ක්‍රීඩාවට දේශපාලන බලෑපෑම් ඇති රටක් හැටියට ශ්‍රී ලංකාව හංවඩු ගැසීමේ අවදානමත්,ඒ ඒ කේෂ්ත්‍රවලට දේශපාලනය බල පෑ හැකි ආකාරයේ අවධානයක් පවතින බවත් සළකා ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ගැන සැකයක් නිර්මාණය වීමට විශාල ඉඩක් ඇත.නමුත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවිමට හේතුව රනිල් වික්‍රමසිංහගේ පරාජිත සමයේ දීර්ඝ කාලයක් ඔහුට සමීපව වැඩ කළ සුදත් චන්ද්‍රසේකර මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධාන උපදේශකයාව සිටීම විය හැකි බවට ක්‍රීඩා කේෂ්ත්‍රයේ මෙන්ම දේශපාලන කේෂ්ත්‍රයේ ද මේ වන විට කතා බහට ලක් වන මාතෘකාවකි.
කෙසේ හෝ මේ යන හැටි ක්‍රීඩාවට පමණක් නොව රටට ද හොඳ නැත.ක්‍රීඩා අමාත්‍යවරයාට හරි මඟ පෙන්වීම රටේ ආණ්ඩුව භාර නොගතහොත් ඔහු ක්‍රීඩාව නොව රටම වැරදි මඟකට රැඟෙන ගොස් මං වැඩ කළේ මිලියන 22 ට කියා දේශප්‍රේමීයෙක් ලෙස ප්‍රකාශ කරද්දී අපි ලෝකයෙන් ක්‍රීඩාව කොන් කර දැමූ රටක් බවට පත් වී තිබිය හැකිය.
අප මේ තීරණයට පෙර මේ ක්‍රිඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කළාපයේ අවධානම ගැන ලියූ සටහනකට මෙතැනින් පිවිසිය හැකිය.
https://sinhala.lankanewsweb.net/03/16/47541/
නිෂ්මන් රණසිංහ