එකක් නැත්තං එකක්.!!
කවද්ද නිදහසේ හුස්ම ටිකක් ගන්නෙ?.. කවදා ඉවරවෙයිද මේ කරදර.? මොකවත් නැත්තං අහක යන මරාලයක් හරි අපේ ඔළුවට කඩන් වැටෙනවා.
මේ වගේ කතා අපේ අම්මලා තාත්තලා නිතර කියනවා අපි අහලා තියෙනවා.
අපි හැමෝම වගේ බලාපොරොත්තුවෙන්නෙ, කරදර.. විපත් .. යුද්ධ කලකෝලාහල නැති ලෝකයක්.
නිදහසේ ජීවත්වෙන්න නම්.. සතුටුවෙන්න නම් ඇත්තටම නිදහස් ලෝකයක් බලාපොරොත්තුවෙන්න පුළුවන්ද?
උතුරු නැගෙනහිර යුද්ධය.. කළු ජූලිය.. 1988-89 භීෂණ යුගය.. ආගමික ගැටුම්.. සුනාමි.. පවුල් දේශපාලනය.. කෝවිඩ් වසංගතය.. තෙල් පෝලිම් .. අරගල.. පහරදීම්.. පැහැරගැනීම්.. ගංවතුර.. නායයෑම් මේ හැම එකක්ම පහුකරන්න අපිට සිද්ධවෙනවා.
ඉන් පස්සෙ මැද පෙරදිග යුද්ධය පටන් ගන්නවා.
අපි වැඩිදෙනෙක් පුරුදුවෙලා ඉන්නෙ මේ කරදරකාරී යුගය ඉවර වෙනතෙක් බලාගෙන ඉන්න නිදහසේ හුස්ම ගන්න.. විනෝදවෙන්න.. අඩුම තරමෙ පුරුදු රිද්මයට ජීවත්වෙන්නට.
ඇත්තට මේ විදිහට බලාගෙන ඉන්න එක ප්‍රායෝගිකද?
සමහරෙක්ට කියන්න පුළුවන් ලංකාවෙ අපිට විතරයි මේ ප්‍රශ්ණ මේ තරම් දරුණු කියලා.
අපි පහුගිය අවුරුදු 20 දිහා ආපහු හැරිලා බලමු.
2004- ආසියානු කලාපයේ සුනාමිය.
2008 -ලෝක මූල්‍ය අර්බුධය
2010 -2012 සෝමාලියානු ඉතියෝපියානු නියඟ.
2011- සිරියානු සිවිල් යුද්ධය හා සරණාගත ප්‍රශ්ණය.
2014 – අයිසිස් හා ඉස්ලාම් රාජ්‍ය සංකල්පයේ යුද්ධ හා ප්‍රහාර.
2016- යුරෝපා සරණාගත ගැටළුව.. නගර ප්‍රහාර.
2021- තලෙයිබාන් නැවත බලයට පැමිණීම හා ඇෆ්ඝන් සරණාගත ප්‍රශ්ණය.
2022- තුර්කි සිරියා භූමි කම්පාව. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම.
2023- හමාස් ඊශ්‍රායල් යුද්ධය / ගාසා තීරය.
2024- යේමන යුද්ධය/ හුතී සංවිධානය විසින් නැව්වලට පහරදීම.
2025- ඇමරිකානු ඉරාන යුද්ධය.
මේ ආකාරයේ අර්බුධ හා ගැටුම් ලෝකයේ හැම රටකටම පොදුයි.
සමහර ධනවවත් හා සංවර්ධිත රටවලට වුනත් මේ ගැටුම්වල බලපෑම අත් විඳින්න පුළුවන්.
අද ලෝකයේ බලවත් නායකයන් කියන්නෙ ආයුධ වෙළෙන්දන්.. තෙල් වෙළෙන්දන් හා බලයට කෑදර ඒකාධිපතියන්ගේ එකතුවක්. මේ පිරිස බලයේ ඉන්නතාක් සාමකාමී ලෝකයක් බලාපොරොත්තුවෙන්න අමාරුයි. අනෙත් අතින් ආගමික අන්තවාදය තව දුරටත් ව්‍යාප්ත වෙනවා. ලෝක දේශගුණ විපර්යාස අපි අත් විඳිමින් ඉන්නවා. මේ ආකාරයට බලනකොට අපිට පුළුවන්ද සාමකාමී ලෝකයක් නිදහස් හෙට දවසක් එනකල් බලාගෙන ඉන්න.
ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහින් වාහනේ පදවාගෙන යන හැම දවසකම දකිනවා උද්ඝෝශණයක්.. අරගලයක්.. සටනක්. මේ කකුල් තුනේ පුටුව ලඟ උද්ඝෝශණයක් නැති දවසක් නැති තරම්.
කාර්යාල සංකීර්ණයේ වගේම නගර වැසියනුත් මේ අරගලවල කොටස් කාරයන්.
ඒත් එහෙමයි කියලා මේ අවට ජීවත්වෙන මිනිස්සු සතුටු නොවී ඉන්නවද? නැහැ.. අරගල ගැටුම් කියන්නෙ ජීවිතේම එක කොටසක් විතරයි.
අපේ කුඩා කාලෙ අපි ඉගෙන ගත්තෙ සීතල හිම කුණාටුවලින් පස්සෙ වසන්තය එන බවයි. එතෙක් ඉවසාගෙන සිටිය යුතු බවත් කියනවා. ඒ තමයි අපි රැවටුණු තැන. වසන්තය එනකල් සිටිය යුතු නෑ.. සීත කාලෙ වුනත්.. වැහි කාලෙ වුනත් අපි දැනගන්න ඕනෙ ජීවත්වෙන්න.. සතුටුවෙන්න.
“Life isn’t about waiting for the storm to pass… It’s about learning to dance in the rain.”
~ Vivian Greene.
ජීවිතය කියන්නෙ කුණාටු පහුවෙනකල් බලාගෙන ඉන්න එක නෙවේ.. නමුත් වැස්සට යටින් නටන්න, විනෝදවෙන්න පුරුදුවන එකයි.
ජීවිතය කියන්නෙ… සතුටුවෙන.. නිදහසේ ඉන්න දවස්වල වගේම කරදර විපත් පිරුණු.. පීඩනයෙන් ගෙවෙන දවස්වල එකතුවක්.
කෙනෙක් ජීවත්වෙන්න මරණින් මතු ජීවිතයක් ගැන හිතමින්. තව කෙනෙක් ජීවත්වෙන්නෙ මේ ප්‍රශ්ණයට විසඳාගත් ගමන් මම සතුටු වෙනවා.. ජීවත්වෙනවා කියන අදහසින්.
ඒත්..ජීවිතය ගෙවෙන්නෙ අද.. මේ මොහොතෙ.
ජීවිතය කියන්නෙ අද.. මේ මොහොත ….
~ Malcolm Sang


