*
Saturday, March 22, 2025
spot_img

Latest Posts

පියුමි හංසමාලි ගැන විමර්ශනය : CIDයට විනිසුරුගෙන් තරයේ අවවාද. කඩිනමින් විමර්ශනය අවසන් කරන බවට OIC පොරොන්දු වෙයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයට අදාළ නඩුව අද (21) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 4 හමුවේ කැඳවනු ලැබිණි.

අද දිනයේදී පියුමි හංසමාලි අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි අධිනීතීඥ සුමුදු හේවගේ මහතා සඳහන් කළේ ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදෙස්ගත වී ඇති බැවින් අද දිනයේ අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වූ බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නීතීඥවරයා සඳහන් කළේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් තම සේවාදායිකාවගේ ව්‍යාපාරික කටයුතු බිඳවැට්ටවීමේ අරමුණින් යුතුව අයථා ලෙස කටයුතු කරන බැවින් වහාම මෙය නැවැත්වීමට අධිකරණය මැදිහත් විය යුතු බවයි.

ඊයේ දිනයේදී මාධ්‍ය සහ සමාජමාධ්‍යවල “දවසේ මාතෘකාව” බවට පත්ව තිබුණේ තම සේවාදායිකාව බවත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට දවසක් පුරාම අපහාස උපහාස එල්ල වූ බවත් පැවසූ නීතීඥවරයා ඊට හේතුව ඇයගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් CID නිලධාරීන් මාධ්‍ය වෙත ලබාදී ඇති තොරතුරු බවත් සඳහන් කළේය. පියුමි හංසමාලි නිරූපණ ශිල්පිනියක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කර, විවිධ දුෂ්කරතා මැද පියවරෙන් පියවර මෙම ව්‍යාපාරය ගොඩනංවාගෙන මෙතැනට පැමිණි බව සිහිපත් කළ නීතීඥවරයා එය කිසිදු ආකාරයකින් වරදක් නොවන බවත් CID නිලධාරීන් මෙම විමර්ශනයේදී පෙන්වන ආකාරයට නිරූපණ ශිල්පිනියක් හැමදාම නිරූපණ ශිල්පිනියක් ලෙස පමණක්ම සිටිය යුතුය කියා දෙයක් නොමැති බවත් සඳහන් කළේය.

එසේම කනිෂ්ඨ නීතීඥවරයකු රුපියල් 2500ක් ලබාගෙන අධිකරණය හමුවේ කරන කරුණු දැක්වීම සිදුකිරීමටම ජනාධිපති නීතීඥවරයකු රුපියල් මිලියන කිහිපයක් අය කළ හැකි බවත් එහි කිසිදු නීතිවිරෝධී තත්වයක් නොමැති අතර ඔහු එසේ අය කරන්නේ ඔහුගේ කීර්ති නාමය වෙනුවෙන් බවත් පැවසූ නීතීඥවරයා පියුමි හංසමාලිගේ ව්‍යාපාරයටත් එය බලපාන්නේ ඒ අයුරින්ම බවත් පැවසීය. එමෙන්ම ව්‍යාපාරකින් ලාබ ලැබීම අපරාධයක් නොවන බව පැවසූ නීතීඥවරයා ව්‍යාපාරකින් ලාබ ඉපයීමට එරෙහිව කිසිදු නීතියක් නොමැති බවත් ප්‍රකාශ කළේය.

තම සේවාදායිකාව අලෙවි කරන ආලේපන වර්ග මිලදී ගත්තේ කීයටද, ඇය ඒවා විකුණුවේ කීයටද යන්න CIDයට අදාළ දෙයක් නොවන බවත් පැවසූ නීතීඥවරයා මෙම නඩුවේ මුල් බී වාර්තාව ගොනුකර ඇති ආකාරය අනුව විමර්ශන සිදුකෙරෙන්නේ නීතිවිරෝධී වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් නම්, එහිදී ඇය මුදල් උපයා ඇති ආකාරය පැහැදිලිව පෙනේ නම්, ඒ මුදල් බැංකුවලට ලැබී ඇත්නම් මෙහි නීතිවිරෝධී වත්කම් ඉපයීමක් සිදුව නොමැති බව තහවුරු වන හෙයින් කඩිනමින් මේ විමර්ශනය මෙතැනින් අවසන් කළ යුතුව ඇති බවත් අවධාරණය කළේය.

එහෙත් CID නිලධාරීන් එසේ නොකරන බව පැවසූ නීතීඥ සුමුදු හේවගේ මහතා තම සේවාදායිකාවට එරෙහිව කරුණු සොයාගැනීමට අපොහොසත් වී සිටින ඔවුන් දැන් මාධ්‍ය උපයෝගී කරගෙන ඇයට එරෙහිව මඩ ගැසීමට අවස්ථාව සලසා ඇති බවත් පෙන්වා දුන් අතර ඔවුන් මෙහිදී අවභාවිතා කරන්නේ අධිකරණය හරහා ලබාගත් නියෝග බැවින් ගරු අධිකරණය මෙම විමර්ශනයට සහාය දීම වහා නතර කළයුතු බවත් පැවසීය. ඒ අනුව අධිකරණ නියෝග අවභාවිතා කරමින් තම සේවාදායිකාව සහ ඇගේ පාරිභෝගිකයින් පීඩාවට පත්කිරීමට CID නිලධාරීන් ගෙනයන ක්‍රියාදාමය වහාම නැවැත්වීමට මැදිහත් වන මෙන් ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තම සේවාදායිකාවට එරෙහිව නඩුවක් ගොනුකර ඇත්නම් ඇයට මෙහිදී සිදුවන අපහාසයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 වැනි වගන්තිය ප්‍රකාරව වන්දි ඉල්ලා සිටිය හැකි බව පැවසූ නීතීඥවරයා මෙම සිද්ධියේදී නඩුවක් ද ගොනුකර නොමැති බවත් හුදෙක් විමර්ශන නිලධාරීන් විමර්ශනයක් පමණක් ආරම්භ කර ඇයට අපහාස කරන බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව මෙවැනි අනීතික දේ සඳහා අවසර ලබා නොදෙන ලෙසත් ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ “සිවිල් ක්‍රියාකාරිකයකු” විසින් යැයි පැවසුණත් ශ්‍රී ලංකාවේ එවැන්නන් නොමැති බවත් මෙහි සිටින්නේ කාගේ හෝ වුවමනාවක් අනුව රාජ්‍ය නොවන සංවිධානයකින් හෝ දේශපාලන පක්ෂයකින් හෝ ව්‍යාපාරිකයකුගෙන් හෝ වෙනත් තැනැත්තෙකුගෙන් මුදල් ලබාගෙන ඒ මුදල් ගනුදෙනුවට අනුව පැමිණිලි කරමින් මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙමින් නටන පිරිසක් බවත් දිවංගත මහාචාර්ය නලින් ද සිල්වා මහතා නිවැරදිව පැවසූ ආකාරයට මොවුන් සිවිල් ක්‍රියාකාරිකයින් නොව “සිවල් ක්‍රියාකාරිකයින්” බවත් පැවසූ නීතීඥවරයා ඔවුන් කපටි තක්කඩින් බවත් සඳහන් කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන්ට තරයේ අවවාද කළ අතර මෙම විමර්ශනය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසත් නියම කළේය.

ඒ අනුව විමර්ශනය කඩිනමින් අවසන් කරන බවට නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පොරොන්දු වූයේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan