නිශ්මං රණසිංහ ,මාර්තු 21, කොළඹ LNW:
පවතින තත්ත්වය යටතේ ඉදිරියේදී ලෝකයම බලපෑම් එල්ල කර ඇති ආකාරයට ඉරානයට ක්‍රීඩා තහනමක් පැනවෙන්නට ඇති ඉඩ ද විශාලය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත වසර ගණනකට පෙර සිටම ඉරානයේ ආගමික රාජ්‍ය පාලනය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති කර තිබෙන පීඩාකාරි පරිසරය තුළ සිඳුවන මරා දැමීම්,අතුරුදහන් කිරීම් සහ සිරගත කිරීම් වැනි කරුණු සළකා බලා ඉරානය තහනම් කරන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතියි.
මේ පැමිණිලි සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලම්පික් කමිටුව නිහඬ රාජ්‍යතාක්ත්‍රික මැදිහත්වීමක් කරමින් ඔවුන් සමඟ ද්වීපාර්ශවිකව කතා කරමින් අවබෝධ කර දෙමින් සිටින බව හැඟෙව්වත් එය ප්‍රමාණවත් නොවන බව ලෝකයේ බොහෝ සංවිධාන පෙන්වා දී ඇත.විශේෂයෙන් ඉරානයෙන් නිර්මාණය වෙමින් පැවති මල්ලව පොර ක්‍රීඩකයෙකු වන 19 හැවිරිදි සාලෙ මොහොමඩිගේ ඝාතකය සම්බන්ධයෙන් එල්ල වූ විවේචන වඩාත් දැඩි විය.මේ වසරේම ජනවාරි මාසයේ දී ආරක්ෂකයන් දෙදෙනෙකු මරා දැමීයැයි චෝදනා කරමින් ඔහුව එල්ලා මරා දැමීම සම්බන්ධයෙන් ඇමිනෙස්ට් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයෙන් කියවෙන්නේ එය අයුක්ති සහගත ඝාතනයක් බවය.එම නඩු විභාගය සාධාරණ නොවන බවත්, ඔහුට තමා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකු පවා ලබා නොදුන් බවත් පවසමින් ඔවුන් ඉරාන රජයට දැඩි චෝදනා එල්ල කළේය.
ලොව පුරා ක්‍රීඩකයින් 200කට අධික පිරිසක් අත්සන් කරන ලද පෙත්සමක් මගින් ඉරාන රජය ක්‍රීඩකයන්ව දඩයම් කිරීම වළක්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් කර ඇති බලපෑම විශේෂ තැනක් ගනියි.ලෝක මල්ලව පොර සංගමයට සාලේ මෙන්ම ඊට පෙර එල්ලා මරා දමන නවීඩ් අෆ්කාරි ගේ මරණයද උපුටා දක්වමින් කරන බලපෑම්වලින් ඉරානයට ජාත්‍යන්තර තරඟ සත්කාරකත්වය ලබා නොදෙන ලෙසත්,ඉරාන කණ්ඩායම්වලට ජාත්‍යන්තර තරඟාවලි සඳහා සහභාගී වීම තාවකාලිකව වැළැක්වීම වැනි පියවරත් යෝජනා වී ඇත.
ලෝක මල්ලව පොර සංගමයද තවමත් දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණව නැතත් සාලේගේ මරා දැමීමෙන් පසුව සාලේ ඇතුළු ඉරාන මල්ලවපෝර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වන බවත්, ක්‍රීඩකයින් දේශපාලන පළිගැනීම්වලින් ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් නිවේදනය කර ඇත. Global Athlete සංවිධානය වෙතින් ඉරානයට එල්ල වන බලපෑම සුළු නැත.ඔවුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පවසන්නේ ඉරාන ජාතික ඔලිම්පික් කමිටුව සහ සියලුම ඉරාන ක්‍රීඩා සම්මේලන වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ද ඉරානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිඳුවන දේ ගැන සිය අසතුට පළ කර ඇති අතර 2000 වසරේ දී සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී කිලෝ ග්‍රෘම් 75 බර පංතියෙන් රන් පදක්කම දිනූ මල්ලව පොර සූර ඇමෙරිකාවේ බ්‍රැන්ඩන් ස්ලේ ෙකළින්ම පවසන්නේ සාලේගේ මරා දැමීම නීති විරෝධි දේශපාලන ඝාතනයක් ලෙස ය.
කිසිදු ජාත්‍යන්තර ක්‍රීඩා වේදිකාවක ඉඩක් නොදිය යුතු බව සහ එයින් ක්‍රීඩාවේ ජීව ගුණය නැසෙන බවට Global Athlete” සහ අනෙකුත් සංවිධානවල ස්ථාවරය මේ මරා දැමීම්,අතුරුදහන් කිරීම් සහ සිරගත කිරීම් එකට තබා කල්පනා කිරීමේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට වුව ද සිය තීරණයේ එක දිගට රැදී සිටීමේ අපහසුතාවයක් ඇති කරන්නේය.සාලේ,අෆ්සාරි මෙන්ම මොහොමඩ් මෙහෙදි කරමිනම් 22 හැවිරිදි වියේ පසු වූ කරාටේ සූරයා එල්ලා මැරීම ද මේ වන විටත් දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.ඍඑු සමඟ අත් අඩංගුවට ගත් ක්‍රීඩා පුහුණුකරු සෙයියඩ් මොහොමඩ් හුසෙයිනි ද අයත් වන්නේ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් එල්ලා මරා දැමීමේ නාම ලේඛණයටමය.
බොහෝ කාලයක් අත් අඩංගුවට ගෙන පාපන්දු ක්‍රීඩක අමීර් නසාර් අසාදානි ට මරණ දඩුවම් ක්‍රියාත්මක කරන්නට කළ උත්සාහය වසර 16 ක් දීර්ඝ සිර දඩුවමකින් කෙළවර විය.එසේම Rock climbing නම් ස්වභාවික උස් තැන්වලට ආධාර ඇසුරෙන් නැඟීමේ ක්‍රීඩාවේ නිරතව සිටි මර්ජාන් ජැන්ජෝ නම් ක්‍රීඩිකාව 2022 දී ඉරාන ආරක්ෂක අංශ මඟින් ඇයගේ නිවසටම පැමිණ අත් අඩංගුවට ගෙන ඇත.එහෙත් ඇයට සිඳු වූ දෙයක් දැන ගන්නට නැති අතර ඇය රාජයේ ආරක්ෂක අංහ විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව අත් අඩංගුවේදී අතුරුදහන්ව ඇති බව පිළිගන්නට සිඳුව ඇත.
එල්නාස් රෙකාබි ද එම ක්‍රීඩාවේම නිරත ක්‍රීඩිකාවකි.ඇය හිජාබය නොමැතිව තරග වැදීම පදනම් කරගෙන නිවාස අඩස්සියේ රඳවා තැබූ අතර පසුව සමාව ගෙන එයින් අත් මිදුණු බවට වාර්තා විය.ආගම දඬුවමක් ලෙස සිය කැමත්තට එරෙහිව යොදා ගන්නට බල කිරීම තුළින් ඉරානය විසින් ඇති කරන මේ පීඩාවේ අලුත්ම තත්ත්වය මේ යුද්ධය අතරම වාර්තා විය.ඒ ඔස්ට්‍රේලියාවේ පැවති පාපන්දු තරගාවලියකට සහභාගි වූ කාන්තා පාපන්දු කණ්ඩායමෙන්ය.ඔවුන් ජාතික ගීය නොගැයීම නිසා ආගමික හිතවාදී මාධ්‍යයන් විසින්ම ඔවුන්ව අපරාධකරුවන් ලෙස සළකන්න පෙළඹවීම් ඇති කරවන වාර්තා පළ කරන්නට ගත්තේය.
මේ තත්ත්වය මත 2026 මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවති ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය අතරතුර ඉරාන ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කිරීම නිසා තර්ජනයට ලක් වූ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු (මොනා හමුදි, ෆාතිමා පසන්දිදේ, සහ්රා ගන්බාරි ඇතුළු පිරිසක්) මේ වන විට ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා ඇත. ඔවුන් නැවත ඉරානයට පැමිණියහොත් සිරගත කිරීමේ හෝ මරණ දඬුවමේ අවදානමක් පවතින බව මානව හිමිකම් සංවිධාන ද පෙන්වා දෙයි.
කෙසේ නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තවමත් රාජ්‍යතාන්ත්‍රික නිහඩ සාකච්ඡාවේම රැඳෙමින් මේ තත්ත්වය වෙනස් කිරීමට බලපෑම් කරන්නේ කිසියම් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සිය රටේ ජීව්තවීම ජීවිතයට හෝ ක්‍රීඩාවට තර්ජනයක් වන මොහොතක වෙනත් රටකට ගොස් දේශපාලන රැකවරණ ලබා තරග කරන්නට ඇති හැකියාව සහ මේ වන විට ඒ සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒ වෙනුවෙන් ආධාර අනුබල දීමට මැදිහත්වන නිසා විය යුතුය.
ඉරානයේම ඉපදුණ මේ වන විට ඒ ආකාරයට සරණාගත කණ්ඩායම් හෝ වෙනත් රටවල් නියෝජනය කරන පිරිස අතර කිමියා අලිසාදේ විශේෂ තැනක් ගනියි.ඇය 2020 දී ටයිකොණ්ඩෝ ඉසව්වෙන් දිනා ගත් ලෝකඩ පදක්කම ඉරාන ක්‍රීඩිකාවක් දිනා ගත් පළමු ඔලිම්පික් පදක්කමය.එහෙත් ඇය ඉන් අනතුරුව එරට පාලනය විසින් කාන්තාවන්ව දේශපාලන මෙවලමක් ලෙස භාවිතා කරන බව පවසමින් ඉරානයෙන් පලා ගොස් සරණාගත ක්‍රීඩිකාවක් ලෙස රැඳුණු අතර ඇය 2024 වන විට බල්ගේරියාවේ රැකවරණය ලබමින් ඇය පැරිස් ඔලිම්පික් උළෙලේදී ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.එය ද බල්ගේරියානු ක්‍රීඩිකාවක ටයිකොන්ඩෝ ක්‍රීඩාව වෙනුවෙන් දිනූ පළමු ඔලිම්පික් පදක්කමය.
කිමියාම පමණක් වුව ඉරානයට වන වටිනා අහිමිවීම් ගැන කතා කරන්නට ප්‍රමාණවත්ය.සයිඩ් මොලායි ලෝක සූර ජූඩෝ ක්‍රීඩකයෙකි.ඔහුට ඉරාන රජය ඊශ්‍රායල ක්‍රීඩකයෙකු සමඟ තරඟ කිරීමෙන් වැළකී සිටින ලෙස බල කළ අතර එය ප්‍රතික්ෂේප කරමින් ඔහු ජර්මනියට පලා ගිය ගොස් පසුව මොංගෝලියාව සහ අසර්බයිජානය නියෝජනය කරමින් පදක්කම් දිනා ගත්තේය.මේ ආකාරයටම ටයිකොණ්ඩෝ ක්‍රීඩිකාවක වන දිනා පුයෝනෙස් ද යුරෝපයට පළා ගොස් සරණාගත ඔලිම්පික් කණ්ඩායමට එක්ව සිටින ක්‍රීඩිකාවකි.හමීඩ් රේසා නම් කරාටේ ක්‍රීඩිකාවද සරණාගත ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කරන්නේය.
මේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ද,ඔවුන්ව නිවැරිව නොදන්නා සමාජයක,පවුල්වල බැදීම්වලින් ඈත්ව කටයුතු කිරිම පහසු නැත.එසේම මේ පළායෑම්වලින් පසුව සිය පවුල්වලට විඳිවන්නට සිඳුවන අඩන්තේට්ටම් සුළු නැත.ඒ වේදනාවන් ද ක්‍රීඩාව සඳහා අවශ්‍යය වන මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට පහසු නැත.කිමියා අලිසාදේ වැනි පදක්කම්ලාභී ක්‍රීඩිකාවකම පවසන්නේ තමන්ට අනන්‍යතාවයක් නොමැති ක්‍රීඩිකාවක් සේ තමන්ව දැනෙන බවය. තමන් වසර ගණනාවක් නියෝජනය කළ රට වෙනුවට වෙනත් ධජයක් යටතේ ක්‍රීඩා කිරීම ක්‍රීඩකයෙකුට විශාල මානසික කම්පනය සහ තමන්ගේ බැඳුණු මුල්වලින් සිදී යාමෙන් පසුව ඇතිවන අතරමං වීමේ මානසික හුදෙකලාවේ වියෝගයය.
ඒ නිසා මේ වන විට ඇමෙරිකාව සමඟ පැටලී සිටින ඉරානයට මේ වසරේම ලෝක පාපන්දු කුසලානයට ද,2028 ඔලිම්පික් තරගාවලියට ද යාමට තිබෙන්නේ ඇමෙරිකාවටය.එහෙත් මේ ක්‍රීඩකයන් ආගමික උවමනාවන් වෙනුවෙන් දඩයම් කිරීමේ ලෝක විරෝධය වගේම සිය රටට ඉරානයට පැමිණීමට ඉඩ නොදෙන බවට ට්‍රම්ප් විසින් ප්‍රකාශ කිරීමද යන කාරණා සළකා බැලීමේදී ඉරානයට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ විශාල තහනමක් වැටෙන්නට ආසන්නව පවතින බවක් සිතිය හැකිය.ඒ ඉරානය තරමටම ඇමෙරිකාවද,ඊශ්‍රායලයද වගකිව යුතු වත්මන් යුද තත්ත්වය නිසාම නොවේය.උම්මත්තක ආගමික හැසිරීම ඉදිරියේ ක්‍රීඩකයාව අසාමාන්‍ය විදිහට පීඩාවට පත් කරමින් මරා දමමින්,අතුරුදහන් කරමින් සහ සිරගත කරමින් කාලයක් තිස්සේ ඉරානය සිඳු කරගෙන යන මර්ධනයේ ස්වභාවයට එරෙහිව ලෝකය තුළ ගොඩ නැඟී තිබෙන විරෝධය විසින් ඇති කරන තහනමක්ය.
නිදහසේ අදහසක් දැරීමට ජීවිතය භූක්ති විදීමට ඇති අයිතිය අහෝසි කරමින් පනවන ආගමික නීති රීතිවලින් බැඳ ජීවිතය සිරකුටියක් බවට පත් කර ඇති ඉරානයේ පාලනයට වත්මන් තරුණ පරපුර තුළ ඇති අකමැත්ත පාලනය කර තිබෙන්නේම මරණ බය ඇති කරය.ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නැවත යටත්වන මොහොතේදි ජීවිතය පවා නැති කර ගනිමින් ගුවන් යානාවල එල්ලුණු මිනිසුන් විසින් කියා පෑවේ මැරෙන එක සැපක් ආගමික වදයෙන් බැට කෑමට වඩා යන පණිවිඩයය.විශේෂයෙන් ක්‍රීඩා කිරීමේදී ජයග්‍රහණය වෙනුවෙන් ලෝක පරිමානයෙන් ඇති නිදහස ද ජයග්‍රහණයේ සාධකයක් යන්න ප්‍රතික්ෂේප කළ නොහැකි එකකි.ඒ නිසා ඉරානයේ ක්‍රීඩාව මේ ආගමික සිර ගෙදරින් නිදහස් විය යුතුමය.එසේම ඉරානයේ හැසිරීම නිවැරදි කිරීමේ සහ ජනතාව ඒ පීඩාවෙන් මුදවා ගැනීමේ උවමනාව ඇතුව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කරන ම්ලේච්ඡ් ප්‍රහාර ද ඉරාන ම්ලේච්ඡත්වය රටේ ප්‍රමාණයෙන් හෝ බලවත්කමේ ප්‍රමාණයෙන් මැන සාධාරණය කරන්නට නොහැකිය.අනෙකාගේ නිදහස ගැන නොසිතා මිනීමරු හැසිරීම්වල යෙදෙන මොකා වුව අංක එකේ ම්ලේච්ඡයෙකි.
ඉරාන වැසියා මේ වන විට දෙයාකාරයකින් මරණය අභියසය.වරෙක ඔහු ඇමෙරිකානු හො ඊශ්‍රායල ප්‍රමාරයකින් මිය යාමේ අවදානමට මුහුණ දෙමින් සිටියි.තවත් වරෙක ඔව්හූ දෙවියන්ගේ නාමයෙන් පිරිසක් තමන්ගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය උදෙසා මවා පෙන්වන සීමාවන්ට එරෙහි සුසුමක් වුව හෙලුවොත් මරා දමනු ඇතැයි බයෙන් ජීවත් වෙති.ක්‍රීඩාව වැනි ජාත්‍යන්තර ප්‍රමිතියකට ක්‍රියාත්මක විය යුතු විෂයකදී ඊට අදාළව කරන ඕනෑම ඉඩකදී මදකට සිය හිජාපය ඉවත් කළ ද ක්‍රීඩිකාවකට මැරෙන්නට විය හැකි වාතාවරණයක ලෝක ක්‍රීඩාවෙන් ඈත්වෙමින් හැගෙමින් තිබෙන දෙවියන්ගේ බලය කුමක්ද?පුරවැසියෙකුට සතුටින් තමන්ගේ නිදහස භූක්ති විදීමට නොදෙන දෙවිවරු සිටිය හැකිද?
මේ සමඟ ඇත්තේ සාලේ ඇති පිරිස මරා දැමීමේ මොහොත සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ඡායාරූපයක්ය.





