සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 22, කොළඹ (LNW): කතානායකවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කිරීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවේ, තමන්ට විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් දින තුනක කාලයක් මිලියන 45කට ආසන්න පිරිවැයක් දැරීම ගැන අතිශයින් කණගාටු වන බවයි.
ඔහු ඒ පිළිබඳ පැවසූ සම්පූර්ණ විස්තරය,
” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට වන නව චෝදනාවක් මා වෙත එල්ලකොට ඇත. කෙසේ නමුත් එල්ලවූ මෙම චෝදනා සියල්ලට පිළිතුරු දීම මාගේ වගකීම වේ.
ප්‍රථමයෙන් මා පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට පිළිතුරු දීමට කැමත්තෙමි. ඕනෑම රටක පොලිස්පතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ලේකම් වැනි තනතුරු සෘජුවම එම රටේ ජාතික ආරක්ෂාව සමග බැඳී පවතී. මෙකී තනතුරුවල භාවිතාව හා වගකීමේ භාරදූර ස්වරූපය ගැන ශ්‍රී ලංකාවේ අපට පූර්වාදර්ශ පවතී.
මීට ආසන්නතම සිදුවීම වන 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ඔබට අමතක විය නොහැක. මේ සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ජාතික ආරක්ෂාවේ වගකීම් නිසි ලෙස දැරීම සම්බන්ධයෙන් වූ අධිකරණ තීන්දුවට ද ඔබේ අවධානය මා යොමු කරමි. එය කියවා බැලීමට මා සියලු දෙනාට ආරාධනා කරන අතර, එමගින් සිද්ධියක් ඇතිවීමට ප්‍රථම තීරණ ගැනීම, එම තීරණ ක්‍රියාත්මක කිරීම, වගකීම හා රාජකාරිය නියම ආකාරයෙන් සිදු නොකිරීම බරපතළ ප්‍රතිවිපාක ගෙන දීමට හේතුවී ඇති බව අනාවරණය කොට ඇත. කරුණු මෙසේ පෙළගැසී ඇති අවස්ථාවක පොලිස්පතිවරයා පත්කිරීම ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන ප්‍රධාන සාධකයක් වන බව ඔබ මා හා එකඟවනු ඇත.
ව්‍යවස්ථාදායක සභාව යනු එය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථයෙන්ම තීරණ ගැනීමේ ආයතනයකි. ජනධිපතිවරයා සතුව තිබූ තීරණ ගැනීමේ අධිකාරී බලය වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා ව්‍යවස්ථාදායක සභාව වැනි උත්තරීතර සාමූහික ආයතනයක් වෙත පවරා ඇත. එවැනි ආයතනයක්, මෙවැනි අවස්ථාවක අතීරණාත්මකව සහ මතයක් නොමැතිව කටයුතු කිරීම ජාතික ආරක්ෂාව හිතාමතාම අනතුරේ හෙළීමක් යැයි මාගේ හැඟීමයි.
කෙසේ නමුත් මේ සම්බන්ධව මා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ යම් යම් කොටස් උපුටා දක්වමින් ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ හා මාධ්‍ය වාර්තා පළවූ බැවින්, එම දුර්මත දුරු කිරීම සඳහා එම ලිපිය සම්පූර්ණ වශයෙන් මා සභාගත කරමි.
දෙවනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත් කෙටුම්පතට අදාළව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නිර්දේශවලට පටහැනිව සම්මත කළේය යන චෝදනාවට අදාළව, මා ජනතාවගෙන් හා මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනුයේ 2024 ජනවාරි මස 24 දින සවස 5.20 සිට 6.45 දක්වා වූ පාර්ලිමේන්තු සජීවී විකාශයේ පටිගත කළ දර්ශන පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා නරඹන ලෙසයි.
මා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට අදහස් හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් ආකාරයත් ඔවුන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙමින් ඡන්දයකට යෑමට අවස්ථාව දුන් ආකාරයත් එහි පැහැදිලිව ඇත. තවද විපක්ෂය විසින් යම් වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනි බව කී අවස්ථාවේ ඊටද අවධානය යොමුකළ ආකාරයත්, ආණ්ඩු පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිතීපතිවරයාගේ අනුමැතිය සභාවට යොමු කිරීමත්, අදාළ සංශෝධන පිළිබඳ ගැටලුවක් ඇත්නම් වහාම නිතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැඳී සිටි කුටිය පෙන්වමින් අවශ්‍යනම් ඔවුන් හා සාකච්ඡා කිරීමටත් මා ප්‍රකාශ කළ ආකාරය එම දර්ශනවල පටිගතව ඇත. අනතුරුව පනත තුන්වන වර කියවා සම්මත කළ පසු නැවත විපක්ෂය විසින් ඡන්දයක් ඉල්ලූ ආකාරයත් පැහැදිලිව විඩියෝ පටවල අන්තර්ගතව ඇත.
මා වැලිගම සංවර්ධන කමිටු සභාපති ධුරය දරන බවට කරන චෝදනාව ද අර්ධ සත්‍යයකි. මා වැලිගම, වැලිපිටිය, මුලටියන හා තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරේම සභාපතිවරයා වන අතර, මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ද සාමාජිකයෙක්මි. සංවර්ධන කමිටු යනු ප්‍රදේශයේ, මාර්ග, වාරිමාර්ග, යටිතල පහසුකම් හා සුභසාධන කාර්යයන් සලසන යාන්ත්‍රණය වේ. මා කුමන තනතුරේ කටයුතු කළ ද, මා හට ඡන්දය දුන් ජනතාව කිසි දිනෙක අමතක කර නැත. ඔවුන්ට ඉටුවිය යුතු යුතුකම් මා සෑම විටම ඉටුකොට ඇති අතර, එය ඡන්දය දිනූ පසු ජනතාවගෙන් ඈත්වන දේශපාලකයන්ට අරුමයක් වුවද, එය මාගේ සමාන්‍ය භාවිතාවයි. එය කිසිසේත් දේශපාලනයක් නොවන බව මා දන්වනු කැමත්තෙමි.
කථානායකවරයා යනු මහජනතාවගෙන් ඈත් කර තැබිය යුතු චරිතයක් යැයි මා නොසිතමි. මා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරනා අවසාන දිනය දක්වාම මෙම සේවය මගෙන් ඉටුවනු ඇත. පසුගිය දුෂ්කර කාලවකවනුවේ වුවද, මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය හා ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් මා හට කළ හැකි වූ සේවය ගැන මා නිහතමානීව සතුටු වෙමි.
මාතර දිස්ත්‍රික් ජනතාවට පමණක් නොව, රටේ ජනතාව හා ශ්‍රී ලංකා ජනරජයේ යහපැවැත්ම වෙනුවෙන් මා හට කළ හැකි උපරිම සේවාවන් මා දැරූ අමාත්‍යාංශ තුළින් හා කථානායකවරයා ලෙස මා ඉටුකොට ඇත.
මාගේ වර්තමාන දේශපාලන භාවිතය මෙසේ පවසන අතරම මාගේ අතීත දේශපාලනයේදී ද මා කටයුතු කළේ කිසිදු වෙනසකින් තොරවයි. මෙරට ජනාධිපති ධුරය හිස්වූ අවස්ථාවේදී ජනාධිපති ධුරය සඳහා මට ආරාධනා ලැබීමයි. එනමුත්, එදා පවා මා කළේ දේශීය වශයෙන් ලැබුණු ඇරයුම් පමණක් නොව විදේශීය වශයෙන් ලද ඇරයුම් ද එකහෙළා ප්‍රතික්ෂේප කරමින් උත්තරීතර වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හදවතට එකඟව මට තිබුණු තදබල අවශ්‍යතාවය සියල්ලන්ටම කාරුණිකව අවධාරණය කිරීමයි.
මාගේ මතය වෙනස් කිරීමට නොහැකි වූ කල ප්‍රචණ්ඩ වූ සමහරුන් මාගේ නිවස වටකොට මාගේ ජීවිතයද අනතුරේ හෙලනා බවට තර්ජනය කිරීමට පවා සාහසික වූහ. ඔවුන් අතරේ ජනප්‍රිය භික්ෂූන් වහන්සේලා මෙන්ම වෙනත් ආගමික නායකයන්ද සිටීම ගැන මා අදද අවංකවම කම්පා වෙමි.
මෙකී තර්ජන මැද මා ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මා වෙත බලය ලබා දීමේ ක්‍රියාවලිය ගැන අදහස් විමසා සිටියේය. රජයේ අතවශ්‍ය කටයුතු ඉටුකිරීමට අග්‍රාමාත්‍යවරයෙක්ද, කැබිනට් මණ්ඩලයක්ද, ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරුණු බලයක් ද, නොමැතිව කටයුතු කිරීමට නොහැකිව, මාසයක් තුළ නව ජනාධිපතිවරයෙක්ද පත් කර ගැනීමට නොහැකි වුවහොත්, සමස්ත රටම නීතියක් නොමැතිව පාලනය කිරීමට නොහැකිව තැන තැන කුඩා කල්ලි කණ්ඩායම් ප්‍රාදේශීය පරිපාලනය අතට ගන්නා තැනට රට පත්විය හැකි අවදානම මා හොඳින් දැන සිටියෙමි.
ජුලි 13 වන දින අවසාන පක්‍ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්දිරය අවට තිබූ අවදානම් තත්ත්වය හා ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව විනාශ කිරීමට ඉතා ආසන්නයට පැමිණිය හෙයින් පක්ෂ නායකයන් එම භූමියෙන් කඩිනමින් ඉවත් වූවත් මා පමණක් මේ ගොඩනැඟිල්ල තුළ අවසන් මොහොත දක්වා රැඳී සිටියෙමි. රටේ ජනතාවගේ වාසනාවට එය වළක්වා මහා විනාශයක් නවත්වා ගැනීමට මා හට හැකිවිණි.
ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම අඳුරු පරිජේදයේදී මාගේ එකම අධිෂ්ඨානය වූයේ අප රටේ ව්‍යවස්ථව හා රාජ්‍යය කෙසේ හෝ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කොට පවත්වාගෙන යෑමයි. ඒ අර්බුදකාරී අවස්ථාවේදී පාර්ලිමේන්තු මහලේකම්තුමා ප්‍රමුඛ කාර්යමණ්ඩලය හා වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දුන් යහයෝගය මට අමතක කළ නොහැක. තව මොහතකින් ගිනි තබා විනාශ කිරීමේ අවදානමක් හමුවේ ගතයුතු ප්‍රධාන පියවර වූයේ සෙංකෝලය ආරක්ෂා කිරීමයි.
එම නිසා අවශ්‍ය වුවහොත් එය ඉක්මනින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලෙන් ඉවත් කිරීමට කටයුතු සූදානම් කර තිබුණි.
වේත්‍රධාරිතුමාගේද, මහ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හා පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල ජීවිත අවදානම ගැනවත් නොසලකා එම අවස්ථාවේ ඔවුන් කටයුතු කළ බව සඳහන් කරනුයේ ඉතාමත් සංවේදීවය. මේ ලෙස රාජ්‍ය අකර්මණ්‍ය කිරීමට තිබූ සැලැස්ම මාගේ නොවෙනස් වන ස්ථාවරය හමුවේ අරාජිකත්වයේ අඳුරු වළාවන් ව්‍යර්ථවී ගිය බවද දන්වනු කැමැත්තෙමි.
එසේ නොවන්නට අද විශ්වාසභංගයක් ගෙන ඒමට ඔබද, ඊට මුහුණ දීමට මමද, ඉදිරිපත් කිරීමට මෙම පාර්ලිමේන්තුවද, මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයද නොතිබීමට ඇති ඉඩ කඩ ගැන අවධාරණය කරමි.
අප පසුකළේ එවන් අවදානම් කාල වකවානුවක් බව මා වැඩිදුරටත් සිහිපත් කරමි.
එසේම රටක, ගිනි තැබීම්, මිනී මැරීම් හා රාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විනාශ කිරීමට දායක වුණු කිසිවෙක් එම රට නැවත ගොඩනැඟීමට කටයුතු කළ බවක් ලෝක ඉතිහාසයේ සඳහන්ව නොමැති බව අප සියලු දෙනාම මතක තබාගත යුතුය.
ඔබ ඒකමතිකව මා කථානායක ධුරයට පත්කළ දින සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් හා හෘද සාක්ෂියට එකඟව කටයුතු කර ඇත්තෙමි. මාගේ දේශපාලන පක්ෂය මෙරටේ ජනතාවයි. මා කථානායකවරයා ලෙස 2/3 ක ජනවරමකින් පත්ව ආ පාර්ලිමේන්තුවේ කාල කළමනාකරණයේදී එතෙක් පැමිණි සම්ප්‍රදාය වන ආණ්ඩු පක්ෂයට 80%ක් සහ විපක්ෂයට 20% ක් යන්න වෙනස් කර , 2020 සිට විපක්ෂයට අමතර 20%ක් – එනම් 40%ක කාලයක් අතිරේකව ලබාදුනිමි. එලෙස තම නියෝජිත ප්‍රතිශතයටත් වඩා කාලය ලබා දුන් වෙනත් පාර්ලිමේන්තුවක් ලොව ඇත්දැයි මම නොදනිමි. ආණ්ඩු පක්ෂයෙන් ආ විරෝධතා පවා මැඬගනිමින් එදා මා ඒ තීරණය ගත්තේ, ශ්‍රී ලංකා ජනරජයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය, ශක්තිමත් ආණ්ඩුවක් ඇති විට ඒ සඳහා විපක්ෂයේ කාර්යභාරයෙන් යහපතක් වනු ඇතැයි යන විශ්වාසයෙනි.
එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩිපුර වෙන් වූ කාලය ඔවුන් අතර සාධාරණ ලෙස බෙදී නොයන බවත් විපක්‍ෂයේම නායකයන් කිහිප දෙනකු රිසි සේ එම කාලය භාවිතා කරන බවට එම මන්ත්‍රීවරුන්ම මාගේ නිල කාමරයට පැමිණ නිතර පැමිණිලි කරයි.
එවැනි අවස්ථාවල එම මන්ත්‍රීවරුන්ට ද විශේෂ කාල අවස්ථාවන් මා විසින් ලබා දුන් බවට සිහිපත් කරමි.
එනමුත්, මගේ කනස්සල්ලට එකම හේතුව, බදු බරින් හා ජීවන බරින් පීඩා විඳින පුරවැසියන්ගේ අභිලාෂ මුදුන් පැමිණවීම සඳහා තෝරාපත් කරගත් නියෝජිතයන් විසින් අතිශය වැදගත් පාර්ලිමේන්තු රැස්වීම් දින තුනකට වැය කරන මිලියන 45 කට ආසන්න පිරිවැය නිකරුණේ මෙම විශ්වාසභංගයට යට කිරීමයි. එය අප වැනි රටකට කොහෙත්ම දැරිය හැක්කක් නොවේ“