නොරොච්චෝල විදුලි බලාගාරයට බාල ගල් අගුරු යෙදවීම නිසා නිශ්චිත මෙගාවොට් ප්‍රමාණය නිපදවන්න අපොහොසත් වී ඇති බව විපක්ෂය පෙන්වා දුන් බවත් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා නිපදවූයේ අඩු මෙගාවොට් ප්‍රමාණයක් බවත් 21 වැනිදාව මෙගවොට් 181ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කර ඇති බවත් මේ නිසා ඉන්ධන බලාගාර හරහා විදුලිය උත්පාදනය කිරීමට සිදුවන බවත් මේ නිසා විදුලි මිලත් බිලත් වැඩි වී ඒ බර විදුලි පාරිභෝගිකයන් මතට පැටවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
මේ නිසා පාරිසරික සහ සෞඛ්‍ය ගැටලුවක්ද සිදුවන බවත් ගර්භනි මව්වරුන්ගේ සිට කුඩා දරුවන් දක්වා අවදානමට ලක්වූවන්ගේ සෞඛ්‍යට බලපැම් සිදුවන බවත් එසේම බොයිලේරුවේ අලු තැන්පත්වන මෝටරයද වරින් වර ක්‍රියා විරහිත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බාල ගල් අගුරු නිසා යන්ත්‍රවලටත් හානි
බාල ගල් අගුරු නිසා ගල් අගුරු ඇඹරුම් යන්ත්‍රවලට ද හානි සිදුවන බවත් ඊට අමතරව බොයිලේරුවේ උපකරණවලට හානි සිදු වුවත් රජයට මේ ගල් අගුරු බාල නොවන නමුත් මේ ගල් අගුරු සියල්ල තත්ත්වයෙන් බාල බවත් විකල්ප ආණ්ඩුව සහ විපක්ෂය ලෙස මෙහි දූෂිත ක්‍රියාවක් හරහා බලශක්ති ක්ෂේත්‍රයේ අවදානමක් මතුව තිබෙන බවත් මේ සඳහා රජයත් ජනාධිපතිවරයාත් කැබිනට්ටුවත් වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
බාල ගල් අගුරු නිසා විදුලි බිලත් වැඩි වේ
බාල ගල් අගුරු යෙදවීම නිසා වැඩිපුර ඉන්ධන උත්පාදන විදුලිය යොදා ගැනීම නිසා වැඩිවන පිරිවැය ජනතාව මතට යොමු කරන්නේ මැදපෙරදිග යුද්ධය පෙරටු කර ගෙන බවත් මේ නිසා ලක්ෂ 220 ජනතාවට කියන්න ඇත්තේ මේ විදුලි බිල වැඩි වන්නේ මැදපෙරදිග යුද්ධය නිසා නොව බාල ගල් අගුරු නිසා බවත් මේ කරුණු පටලවා නොගන්නා ලෙස ජනතාවට දන්වන බවත් රජයේ මේ කතාවලට දැන්වත් නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
බාල ගල් අගුරුවල වගකීම රජය දැරිය යුතුයි
අද වන විට බලශක්ති ඇමතිවරයා නොරොච්චෝල බලාගාරයේ නිරීක්ෂණයට යන බවත් පසුගිය කාලයේම විපක්ෂය මේ ගැන කිව්වත් අද ඇමතිවරයා මේ නිරීක්ෂණ චාරිකාවක යන බවත් ඇමතිවරයා ගියා කියා බාල ගල් අගුරු ගැටලුවට විසදුම් නොලැබෙන බවත් මේ ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පැහැදිලි කිරිමක් මෙන්ම සත්‍ය තොරතුරු හෙළිදරව් කිිරීමට අපොහොසත් වී ඇති බවත් මේ බාල ගල් අගුරු ගෙන්වීමේ වගකීම රජය දැරිය යුතු බවත් මෙහි පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැතිව අදාළ සමාගමෙන් අය කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන් බලශක්ති සුරක්ෂිතභාවයම ගැටලුවක්
එක් පැත්තකින් ගල් අගුරු ක්ෂේත්‍රයෙන් රටේ බලශක්ති සුරක්ෂිතභාවය ගැන ගැටලුවක් මතු වන විට දින කිහිපයක් තුළ පිටපිටම ඉන්දන මිල ඉහළ දැමීම නිසා ජනතාව තවත් අසරණ වී ඇති බවත් මේ මිල වැඩි කිරීමේ සූත්‍රය ගැන ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීම බවත් මේ බදු ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
තෙල් මිල ඉහළ දැමීම නිසා ජනතාව අසරණ වෙලා
තෙල් මිල ඉහළ දැමීම නිසා සෑම ක්ෂේත්‍රයක්ම ජන සමාජයම දැවැන්ත ව්‍යවසනයකට පීඩනයකට අසහනයකට ලක්ව ඇති බවත් මේ නිසා මේ ගැන මිල සූත්‍රය ගැනත් බදු ගැනත් විනිවිදභාවයෙන් යුක්තව ජනතාව දැනුවත් කිරිම රජයේ වගකීම බවත් මේ මිලවැඩි කිරීම නිසා ආර්ථිකයම කඩා වැටෙන බවත් මේ නිසා දුප්පත්කම වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වරායේ ගොඩබාන මිලටම තෙල් ලබා දෙන්න
පසුගිය ජනාධිපතිවරණ සමයේ කියු ආකාරයට වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම දැන් සිදු කළ යුතු බවත් වැට් අධිභාර බද්ද රේගු ආනයන බදු ආදිය ඉවත් කර වරායේ ගොඩබාන මිලටම තෙල් ලබා දීම රජයේ සහ ජනාධිපතිවරයාගේ වගකීම බවත් 92 පෙට්‍රල්වලට රු. 115ක් 95 පෙට්‍රල්වල 143ක් සහ ඩීසල්වලට රු 91ක් බදු ගහන බැවින් මේවා ඉවත් කර මහා භාණ්ඩාගාරයේ ඉතිරි ගිය මුදල්වලින් අසීමිත ලෙස බදු පනවා එකතු කර ගත් මුදල්වලින් ජනතාවට සහන ලබා දිිය යුතු බවත් දැන් ජනතාව අමාරු අවස්ථාවක සිටින නිසා ජනතාව වෙනුවෙන් මේ බදු බර අඩු කර ජනතාවට සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය තෙල් මිල සූත්‍රය උල්ලංඝනය කරලා
රජය තෙල් මිල වැඩි කිරීමේ දී තෙල් මිල සූත්‍රය උල්ලංඝනය කර ඇති බවත් තෙල් මත ඇති බදු ගැනවත් ජනතාව දැනුවත් නැති බවත් මේ ගැන ජනතාව දැනුවත් කර ජනතාව මත ඇති බදු බර ඉවත් කළ යුතු බවත් ජනතාවට සහන දිය යුතු බවත් ජනතාවට සහන පැකේජයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



