ඉරානය පදිරිද ? ට්‍රම්ප් අත තවත් ට්‍රම්ප්ස් ඉතිරිද ?

ඇමරිකාව හා ඊශ්‍ර්‍රායලය ඉරානයට පහර දීම බොහෝ කලක සිට තිබුණු සැළැසුමක් බව අපට පෙනෙනවා. ඉරානයේ සිටි කාසිම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා කුර්දි සටන්කරුවන්ගේ පවා ආදරය දිනාගත් කෙනෙක්.

ඔහුගේ අභිලාෂය වුණේ මුළු මැද පෙරදිග කලාපයේ සුන්නි, ෂියා වැනි ඉස්ලාම් ආගමෙන් බිඳී ගිය සියළු ආගමික කොටස් එකතු කරළා මුස්ලිම් කියන ජාතික අන්‍යයතාවයට ගෙනෙන්න. ඒ තුළින් මැද පෙරදිග ඉරාන ආරක්‍ෂක යාන්ත්‍රණය ගොඬනැගීමේ දිගු කාලීන සැළසුමක් ඔහු සතුව තිබුණා.

ඇමරිකන් සහය ලැබූ ISIS (Islamic State of Iraq and Syria) සන්නද්ධ පිරිස් අසාද්ගේ සිරියාවෙන් පලවා හැරීමට සුලෙයිමානී ජෙනරාල්වරයා වරක් කුර්දි සටන්කාමීන්ද තම හමුදාවට එකතු කරගත්තා. මැද පෙරදිග කලාපයේ බොහෝ පාලකයන් බ්‍රිතාන්‍ය සම්භවයක් තිබෙන හා ඇමරිකන් රූකඩයන් වීම සුලෙයිමානී හමුදා නායකයාට සිය ඉලක්කය සපුරා ගැනීමට සරු බිමක් නිර්මාණය කරළා තිබුණා.

මේ මහා අනතුරේ ඉව වැටුන ඇමරිකානු CIA – මොසාඩ් ඔත්තු සේවාවේ ඉලක්කයට 2020 ජනවාරි 03 වෙනිදා කාසෙම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා ගොදුරු වුණා. ජෙනරල්වරයා ඝාතනය කළත් ඉරානයේ සිටි ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මුස්ලිම් ඒකාබද්ධ රාජ්‍ය වැඩ පිළිවෙල දිගටම ක්‍රියාත්මක කළා.

සාම සාකච්ඡා මේසයේ සිටියදීත්, රාමසාන් උපවාස සමයේ නොසිතූ මොහොතක ඔහුගේ ඝාතනය ඉක්මන් වන්නේ මේ නිසා. අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයත් සමග ඉරානයේ ආගමික රාජ්‍යය බිඳ වැටේවි යැයි ට්‍රම්ප් – නෙතනියාහු ජෝඩුවගේ තක්සේරුව වුණා.

යුද්ධය මාස ගණනක් තිස්සේ ඇඳී ගියොත් ඇමරිකානු කොටස් වෙළෙඳපොල කඩා වැටෙනවා. ට්‍රම්ප් බොහෝවිට ආක්‍රමණයන් හා පහරදීම් සඳහා සිකුරාදා දිනයන් යොදා ගන්නේ ඒ නිසා. දින තුන හතරකින් සියල්ල අවසන් කළාම සඳුදා වනවිට කොටස් වෙළෙඳපොලට බලපෑමක් වෙන්නේ නෑ.

නමුත් කෙහෙල් ගහට කෙටූ කොට්ටෝරුවා සේ ඉරාන ප්‍රහාරයෙන් ගැලවෙන්න බැරි ලෙස ට්‍රම්ප් පැටලුනා. මාර්තු 21 වෙනිදා වනවිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඉතා සීඝ්‍රයෙන් ඇමරිකානු කොටස්වෙළෙඳපොළ පහළ වැටුණා.

ඇමරිකන් කොටස් වෙළෙඳපොළේ අද ආධිපත්‍ය දරන්නේ ට්‍රම්ප්ගේ කොන්සවිටිව් පක්‍ෂයේ සකර්බර්,එලෝන් මස්ක් වැනි ජාවාරම්කාර ධනපතියෝ. එමනිසා කොටස් වෙළෙඳපොළ කඩා වැටීමේදී ට්‍රම්ප්ට ඔවුන්ගෙන් විශාල බලපෑමක් එල්ල වෙනවා. ඉරාන යුද්ධය විවේචනය කරමින් “එක්සත් ජනපද ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්තානයේ” ජෝ කෙන්ට් අධ්‍යක්ෂකවරයා ධූරයෙන් ඉල්ලා අස්වුණේ මේ ව්‍යාපාරිකයන්ගේ බලපෑම නිසා.

දින 30 කට ඉරාන තෙල් ප්‍රවාහනයට ට්‍රම්ප් අවසර දෙන්නේත්, ගෑස් හා තෙල් නිධීවලට පහර නොදෙන ලෙස නෙතනියාහුට තරවටු කරන්නේත් මේනිසා. ට්‍රම්ප් ඇමරිකන් ජාවාරම්කාර ධනපති පංතියට වග වෙනවා. කමළා හැරීස්ලා නියෝජනය කරන්නේ පාරම්පරික මහා ධනකුවේරයන් නිසා ඉරානයට පහරදීම මාස ගණනක් වුවත් ඇදගෙන යනවා.

ආධ්‍යාත්මික නායකයාගේ ඝාතනයත් සමග ඉරාන පාලන තන්ත්‍රය බිඳ වැටේවි කියලා තිබූ නිගමනය වැරදී නොසිතූවිරූ ලෙස ඉරානය එක්සත් වුණා. ගුවන් හෝ මිසයිල් ප්‍රහාර වලින් පමණක් ඉරාන ආගමික පාලන තන්ත්‍රය වෙනස් කරන්න බැරි බව ඔවුන් තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩියි. පාලනයේ වෙනසක් කරන්නනම් ගොඩබිම් යුද්ධයක් කරන්නම වෙනවා.

ඒත් ඉරාකයේ වගේ යුද ටැංකි ගේන්න බැහැ. සොල්දාදුවන් පැරිෂුට් වලින් තමයි බාන්න වෙන්නේ. ඒක ඇමරිකන් සොල්දාදුවන්ට මරණීය අනතුරක්. යුද්ධයෙන් තුවාල ලබන සොල්දාදුවන් දැනටමත් ජර්මනියට රැගෙන යන්නේ ඇමරිකන් යුද විරෝධී ජනතා මතය තවත් උත්සන්න වෙන නිසා. මේවන විට ඇමරිකන් යුදවාදී ජනතා මතය 20% ගණනකට අඩුවෙලා.

නමුත් යුද්ධය අත් හැරලා පසු බසින්නත් බැහැ. එහෙම වුණොත් ට්‍රම්ප්ගේ, නෙතනියාහුගේත් බෙල්ල ගහලා යනවා. එසේනම් ඔවුන්ගේ යුද උපක්‍රම වහාම වෙනස් කළ යුතුයි. එමනිසා ඔවුන් දැන් උත්සාහ කරමින් සිටිනේ කෙක්කෙන් බැරිවුණ දේ කොක්කෙන් කරන්න. මොකක්ද ඒ නව උපක්‍රමය.

හොඳ හා නරක හැම විටම පවතින්නේ එකට. ඉරානයේ භූගෝලීය පිහිටීමත් මේ කියමන සත්‍යයක් කියලා ඔප්පු කරනවා. ඉරානයේ විශාල කඳු පද්ධතියක් පිහිටා තිබෙන නිසා යුද්ධයකදී සතුරු හමුදාවකට ගොඩබිම් ආක්‍රමණයක් කිරීම ඉතාම දුෂ්කරයි.

එවගේම කඳුයට උමං තුළ විශාල අවි ගබඩාවන් සහ අවි නිෂ්පාදනයන් සතුරු ඉලක්කයන්ට අසුනොවී පවත්වාගෙන යෑමේ වාසනාවක් ඉරානයට තියෙනවා. කඳු පිහිටීම නිසාම ඉරානයට තිබෙන අවාසිය තමයි ජලය නොමැතිවීම. ඒ නිසා බොහෝ පිරිපහදු මධ්‍යස්ථාන හරහා තමයි ජලය ලබා ගන්නේ. නැතිනම් පිරිපහඳු කළ මුහුදු ජලය.

මේවන විට ඇමරිකා – ඊශ්‍රායල් ප්‍රහාර ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන විනාස කිරීම ආරම්බ කරළා. මේ තුළින් ඉරාන ජනතාව සා පිපාසාවෙන් දිගු කාලීන මරණයකට ලක් කරළා තිබෙනවා. පානීය ජලය නැති වී මිනිසුන් ඉබේම මැරී වැටෙද්දී ඉරාන රාජ්‍යයට විරෝධයක් ගොඬනැගීම මේ කෲර ප්‍රහාරයේ අරමුණ කියන එක ඉතා පැහැඳිළියි.

මෙයින් ඉරාන හමුදාවත් අඩපන වෙනවා. මේ ලෙස කෑම බීම ජලය පවා නොමැතිව ඉරාන ජනතාවගේ වෛරයට පාත්‍රවෙන ඉරාන රාජ්‍යය දෙවනුව සිවිල් යුද්ධයකට මැදි කිරීම තමයි ට්‍රම්ප්ගේ මීළඟ යුද උපාය වෙලා තියෙන්නේ.ඒ සඳහා ඔවුන් තෝරා ගන්නා හමුදාවන්ගෙන් එකක් තමයි ඉරාක කුර්දි හමුදාව. කුර්දිවරුන් ඉරානය, ඉරාකය, සිරියාව, තුර්කිය යන රටවල විසිරිලා ඉන්නේ.

කුර්දි හමුදාව කඳු, හෙල්, කාන්තාර සටන් සඳහාම පුරුදු පුහුණු වෙච්ච හමුදාවක්. ඇමරිකාව ඉරාක කුර්දිවරුන්ට “කැරට් අල” පොරොන්දුවක් දීලා තිබෙනවා මැද පෙරදිග කුර්දි ස්වාධීන රාජ්‍යයක් ගොඬනගා දෙනවා කියලා. ඉරාක කුර්දි කණ්ඩායම් ඇමරිකාව ගහන ගහන පදේට නටන්නේ කුර්දි රාජ්‍ය ලබා ගැනීමේ සිහිනය නිසා. ඒක බාලගිරි දෝෂය වගේ.

සිරියාව පරාජයට පත්වී අසාද්ට රුසියාවට පැනයන්නට සිදුවුණා. අසාද් පරාජය වුණේ ට්‍රම්ප්ගේ ඉල්ලීමට කුර්දි හමුදාවන් සිරියානු හමුදාවට පහර දීමට එකතු වුණ නිසා. නමුත් ස්වාධීන කුර්දි රාජ්‍ය ලැබුණේ නැහැ.

කුර්දි හමුදාව ඉස්ලාමීය හමුදාවක් වුණත් මේ දක්වා ඊශ්‍රායලයට පහර දෙන්න හෝ පලස්තීනය බේරා ගන්න ඉදිරිපත් වෙලා නැහැ. මේක කුර්දි හමුදාවන්ගේ ඇමරිකාව පිළිබඳ තිබෙන විශ්වාසය මනාව පෙන්වන හොඳ උදාහරණයක්.

ඇමරිකාවේ උපායවී තිබෙන්නේ මේ වෙලාවේ කුර්දි හමුදාවක් ඉරානයට යැවීමෙන් ඉරානය තුළ සිටින කුර්දිවරුන්ගේ සහය ඔවුන්ට ලබා ගන්න. කෝටි 09 ක් පමණ වන ඉරාන ජනගහනයෙන් 5% ක විතර සංඛ්‍යාවක් කුර්දිවරු ඉන්නවා. මේ ජනතාව ඉරානය තුළ කුර්දිස්තානයක් සෑදීම වෙනුවෙන් පෙරුම්පුරමින් ඉන්නේ.

කුර්දිවරුන් ඉරානය, සිරියාව, තුර්කිය හා ඉරාකයේ සිටින සන්නද්ධ කණ්ඩායම්. උතුරේ සිටි සටන්කාමී සන්නද්ධ කණ්ඩායම වගේ ස්වාධීන කුර්දි රාජ්‍යයක් ලබා ගැනීම මේ සියල්ලනගේ අරමුණ වුවත් ඒ සඳහා වූ එක් මතයක් ඔවුන් අතර නැහැ.

ට්‍රම්ගේ සැළැස්මේ ආරම්බය ලෙස තමයි පළමු ප්‍රහාරයට කුර්දි හමුදාව යැවීමට කැස කවන්නේ. මේ බව දන්නා ඉරාන හමුදාව ඉරාක කුර්දීන්ට පහරදීම ආරම්බ කරළා. ඉරානයේ යුද ශක්තිය ඉදිරියේ කුර්දිවරුන් තවම වැට උඩ ඉන්නේ. ඉරානය පරාජයවන ළකුණු පහළ වුණොත් ඔවුන් අනිවාර්යෙන්ම පළමුව ඉරානයට ඇතුල් වෙනවා.

ඉරාක කුර්දිවරුන් දැනට ප්‍රකාශ කර තිබෙන්නේ අපි ඉරාන දේශසීමාව අසලට යන්නේ අපගේ කුර්දිස්තානයේ ආරක්ෂාවට කියලා. ඉරාකය ෂියා මුස්ලිම් බහුතර රටක්. එමනිසා කුර්දි හමුදාවන් ඉරානයට පහර දුන්නොත් ඉරාකයේ සිටින ෂියා මුස්ලිම්වරුන් හා කුර්දිවරුන් අතර ගැටුමක් නිර්මාණය වෙන්නත් පුළුවන්.

ඉරානය තුළදී කුර්දි හමුදාව හා ඉරානය ගැටෙන විට ඉරානයේ සිටින තම ජාතීන් බේරා ගැනීමේ මුවාවෙන් මැදිහත්වීමක් කරන බවට අසර්බයිජාන් රාජ්‍යය ට්‍රම්ප් එකඟ කරවා ගෙන තිබෙන්නේ. අසර්බයිජාන “ඇසේරි” ජාතිකයන් බහුතරයක් ජීවත්වෙන්නේ ඉරානයේ. ඒක කොපමනද කිවොත් ඉරාන ජනගහනයෙන් 16% ක විතර ප්‍රතිශතයක්. නමුත් සිය මව්බිම වූ අසර්බයිජානය තුළ මොවුන් සිටින්නේ මිලියන 10 ක වගේ ප්‍රමාණයක්.

අසර්බයිජානයත් ඉරානයේ දේශසීමා රාජ්‍යයක්. ඔවුනටත් ඉන්නවා ඉතාම දියුණු ගොඩබිම් හමුදාවක්. මෙයට අවුරුදු දෙක තුනකට පෙර ආර්මේනියාවත් එක්ක යුද්ධ කරළා ඒ රට යටත් කර ගත්තා. අසර්බයිජානය තෙල් හා ගෑස් සම්පත්වලින් පිරුණු රටක්. යුද්ධයේදී අර්මේනියාවෙන් අල්ලා ගත් ප්‍රදේශත් තෙල් සම්පතින් අනූනයි.

මේ ගෑස් හා තෙල් යුරෝපයට නළ මාර්ගයෙන් ගෙනියන්නේ ඉරානය හා තුර්කිය හරහා. ඒනිසා අර්මේනියාවට සිදුවෙලා තිබෙනවා ඉරානයත් එක්ක හැම තිස්සේම සමාදානයෙන් කාලය ගෙවන්න. මේ පීඩනය දඩමීමා කරගනිමින් තමයි ඉරානයට එරෙහිව අසර්බයිජාන් හමුදාව උසි ගැන්වීමට ඇමරිකානු CIA ඔත්තු සේවාවන්ට හැකිවුණේ.

ඇමරිකන් ජනාධිපතිවරයාගේ ගණන් බැලීම වී තිබෙන්නේ ඇසේරි ජනතාවගේත් සහයෝගය මත ඉතා පහසුවෙන් අසර්බයිජාන් හමුදාවන්ට ඉරානයේ කොටසක් අල්ලා ගැනීමට හැකිවේවි කියලා. එසේ අල්ලා ගැනීමෙන් පසු ඔවුන්ට කිසිම බාධාවකින් තොරව යුරෝපයට තෙල්- ගෑස් බිස්නස් එක කරගෙන යන්න පුළුවන් බව පෙන්වා දී තිබෙනවා.

තමන් NATO ව එක්ක ඉතා මිත්‍රශීලීව වැඩ කරන අතර තුර්කිය NATO වේ සාමාජික රටක් නිසා ඔවුන් ගෙන් බාධාවක් එල්ල නොවන බව අසර්බයිජානයේද පිළිගැනීම වී තිබෙනවා.

ඉරානයේ තවත් මායිම් රටක් වූ පකිස්තානයේ තිබෙන බලුකිස්තානයේ “බලෝචි” ජාතිකයන්ද මාන බලමින් ඉන්නේ තමන්ගේම කියලා ස්වාධීන රාජ්‍යයක් හදා ගන්න. ඉරානයේත් 2% ක පමන බලෝචි ජනතාවක් දේශ සීමා මායිමේ ඉන්නවා අපේ කොටුව, පිටකොටුව වෙන්වුණා වගේ. බලෝචි ජාතික ජන කොටස බොහොම දුගී නිසා ඇමරිකානු CIA එකට ඔවුන් මිලදී ගැනීම බඩේ බත් වගේ ස්ථිරයි. පකිස්තානය අද සමීප සම්බන්ධතා පවත්වාගෙන යන්නේ ඇමරිකාවත් එක්ක නිසා එය තවත් පහසු වෙලා තිබෙණවා.

පකිස්ථානයේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සිදුවන්නේ හා ඒවාට පැමිණි චීන ඉංජිනේරුවන් නැවතී සිටින්නේද බලුකිස්තානයේ. මේ ව්‍යාපෘතිවලට හා ඉංජිනේරුවන්ට ඇමරිකානු CIA මෙහෙයවීමෙන් බලෝචි ජාතිකයන් ආයුද සන්නද්ධ කරළා අදටත් ප්‍රහාර එල්ල කරනවා.

ඇමරිකානු බළල් අතක්වන බලුකිස්තානයට ඉරානයේ කොටසක්ද එක් කරමින් ඇමරිකානු CIA විසින් බලෝචි රාජ්‍යයක් නිර්මාණය කිරීම ට්‍රම්ප් ගේ නව යුද සැළස්ම වී තිබෙනවා. මෙය චීනය හා ගැටුමකදී භූගෝලීය වටිනාකමක් ඇමරිකාවට ලැබෙනවා. මෙහෙම බැලුවාම ට්‍රම්ප් ගේ සිවිල් යුද හොද්දට ඕන තරම් රම්පෙ කරපිංචා ඉරානය වටේම තිබෙනවා.

ඉරානය මේවගේ අභ්‍යන්තර සිවිල් යුද්ධයකට තල්ලු කළාම ඉරාන හමුදාවේ ප්‍රහාර වලින් ඊශ්‍රායලය, මැදපෙරදිග බේරා ගන්නත් පුළුවන්. අනෙක් අතට ඉරාන ජනගහනයෙන් 61% ක් පමණ වූ පර්සියන් ජාතික නැගිටීමක් ඇතිකරවන්නත් පහසු වෙනවා. දැනටමත් සමහරුන් පවසන්නේ “අපි ඉරානයේ ඒ වුනාට පර්සියන්” කියලා.

මේ පර්සියන් ජාතිකත්වය තව වගාදිගා කරළා පර්සියන් “ජාතික අභිමානය” වස්ති කරවීම CIA – මොසාඩ් එකට මහ කජ්ජක් නෙමේ. මේවා ලංකාවේදී අපත් අත්දුටුවා. ට්‍රම්ප් – නෙතනියාහුගේ මේ නව යුද උපක්‍රමය සාර්තක වුණොත් ඉරානය කැබළි වලට කැඩිලා වෙන්වෙලා යන එක වළක්වන්න බැහැ.

නමුත් තීරණාත්මක තීන්දුව කුර්දීන් සතුයි. කුර්දි හමුදාවක් පළමුව ඉරානයට ඇතුල්වීමට එකඟවුණොත් ඒ පසුපස ඇමරිකන් ගොඩබිම් හමුදාවක් යැවීම ට්‍රම්ප්ට කරන්න පුළුවන්. ඉරාන යුද්ධය නොසිතූ ලෙස ඇදී යද්දී ආගමික යුද්ධයක් බවට පරිවර්තනය කිරීමට ට්‍රම්ප් ගැසූ ට්‍රම්ප් එක උපන්ගෙයිම මරණයට පත්වුණා. එමනිසා තමයි ඉරානය සිවිල් යුද්ධයක පටලවන්න දෙවනුව සැළසුම් කළේ.

ආගමික යුද්ධය මරණයට පත්වීමට පාදක වූ බොහෝ සාධක තිබෙනවා. එයින් එකක් තමයි ආගමික යුද්ධයක් බවට ප්‍රකාශ කළොත් ඇමරිකන් හමුදාවේ චිත්ත ධෛර්ය බිඳ වැටේවි කියන ඇමරිකන් පූජකයන්ගෙන් නැගුණු චෝදනාව. එවගේම ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංඝණයවීමක් මේ තුළින් සිදුවන බවට මතුවුණු තර්කය. ඇමරිකානු ජනතාවගෙන් මතුවුණු බලවත්ම විරෝධය තමයි ට්‍රම්ප් යුද්ධ කරන්නේ මැදපෙරදිග යුදෙව් රාජ්‍යයේ ආරක්‍ෂාව හා එහි පැවැත්ම වෙනුවෙන් කියලා.

නමුත් යුදෙව්වන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ ක්‍රිස්ත්‍රියානි හෝ ඉස්ලාම් දහම ආරක්‍ෂා කරන්න. නෙතනියාහුට අවශ්‍ය ක්‍රිස්ත්‍රියානි හා ඉස්ලාම් ආගම් දෙකම අවසාන කරමින් මුළු මැදපෙරදිග කලාපයේ යුදෙව් රාජ්‍යයක් ගොඬනගා ගන්න. එමනිසා ආගම කියන කඩතුරාවෙන් මේ යතාර්තය වහන්න එපා කියලා ඇමරිකන් ජනතා විරෝධයක් මතුවුණා.

මේ පරස්පරය මතවාදීමය වශයෙන් ජය ගන්න ට්‍රම්ප්ට බැරිවුණා. නමුත් වතුර යට සැඟ වූ රබර් බෝලයක් වගේ එකී උත්සාහය තවමත් තිබෙණවා. එබැවින් ට්‍රම්ප්ගේ යුද ආගමික ට්‍රම්ප් එක අවසන් වුණා කියලා අප හිතන්න හොඳ නෑ.මතවාදී ප්‍රචාරනය අතින් ඇමරිකාව සිටින්නේ ලෝකයේ පළමුවෙනි ස්තානයේ.

ඇතැම්විට මුජ්තාබා කමේනි ඉරාන නව ආධ්‍යාත්මික නායකයා ඇමරිකාව අටවන මේ සිවිල් යුද්ධයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. එහෙම වුණොත් ට්‍රම්ප්ට නොහැකිවුණු ආගමික යුද්ධය ඉරාන නව ආධ්‍යාත්මික නායකයා ආරම්භ කරාවි. එවැනි විභවයක් නව නායකයාට තිබෙනවා කියලා පෙනෙනවා.

ඝාතනයට ලක්වූ හිටපු ආධ්‍යාත්මික නායකයාත්, හමුදා ජෙනරාල්වරයාත් සැළැසුම් කළේ මැද පෙරදිග මුස්ලිම් ජාතිය ගොඬනගන්න. අසර්බයිජානයේ, ඉරාකයේ, ඉරානයේ සහ ගල්ෆ් කලාපයේ රටවල සිටින සියළුම මුස්ලිම්වරුන් එකතු කරළා ක්‍රිස්තියානියට හා යුදෙව් ආගමට විරුද්ධ “කුරුස යුද්ධයක්” ආරම්බ කරන්න.

ඒ වෙනුවෙන් සුන්නි, ෂියා බේදය අත් හැරලා අපි ඔක්කොම “ඉමාම්ගේ සොල්දාදුවෝ” කියලා මුස්ලිම් ආගම ලෙසින් අවදි කරවා ගන්න. ඉමාම් කියන්නේ ඉස්ලාමීය නායකයෙක්. සුන්නිවරුන්ට අනුව ප්‍රධාන වශයෙන් යාඥා මෙහෙයවන තැනැත්තෙක්. නමුත් ෂියාවරුන්ට ඔහු ක්‍රිස්තියානුවන්ට ශුද්ධ වූ පාප්මෙන් දෙවියන් විසින් පත් කරන ලද ශුද්ධ වූ අධ්‍යාත්මික මග පෙන්වන්නෙක්.

ඉරානය සිවිල් යුද්ධයකට මැදි කරළා කොටස් කීපයකට වෙන්කරන ඇමරිකානු කුමන්ත්‍රණය පරාජය කරන්න නම් මුජ්තාබා කමේනි නව ආධ්‍යාත්මික නායකයා මුලින් සැපරිය යුතු පූර්ව කොන්දේසි කීපයක් තිබෙණවා. ඔහුට හැකිවේවිද ඉරාන ජාතික හැගීම, ඉරාන ජාතිකත්වය ගොඩනැගීමේ සටනට මුළ පුරන්න. ඒක අද තීන්දු වෙන්නේ ලස්සන වදන් වලින් නෙමේ. පරමාණුක අවි (Nuclear Weapons) කොතරම් ප්‍රමානයක් ඉරානය සතුව තිබෙනවාද කියන සාධකය මත පමණයි.

ඝාතනය කළ අයතුල්ලා අලි කමේනි ආධ්‍යාත්මික නායකයා පරමාණුක අවි නිෂ්පාදනයට එරෙහි වුණේ එය මුළු මහත් පරිසරයම විනාස මුඛයට ගෙනියන අවියක් බැවින් සිය දහමට පටහැණි නිසා. නමුත් අයතුල්ලා අලි කමේනිට මරණය කැන්දන් ආවේ දියුණූ වූවායැයි කියන ලෝකයේ මිසයිල් ප්‍රහාරයක්.

භෞතිකවාදීන් වන අප පිළිගන්නේ භෞතිකය විසින් මිනිසා නිර්මාණය කරන්නා වූ සත්‍යය. ඒකයි මා මුලදී කීවේ ඉරාන නව ආධ්‍යාත්මික නායකයාට මේ සටන ජය ගැනීමේ විභවයක් තිබෙනවා කියලා. ඉරානය පරමාණුක අවි බලවතෙක් වූ විගස ඇමරිකන් විරෝධී සියලුම මුස්ලිම් ජනතාව තම රාජ්‍යයන්ට බල කරනවා ඉරානය හා එකතුවෙන්න කියලා.

මිසයිල තුඩේ ඇමරිකාව දක්වා වුවත් පරමාණු බෝමබ ගෙනයාහැකි අන්තර් මහද්වීපික මිසයිල තිබෙනා බව ඉරාන ජනතාව, එවගේම මැද පෙරදිග කලාපයේ මුස්ලිම් ජනතාව තේරුම් ගන්නවා දැන් ක්‍රිස්තියානී ඇමරිකාවෙන් හෝ සීයොන්වාදී ඊශ්‍රායලයෙන් තමන්ගේ ආගම ආරක්‍ෂා කරන්න රටක් තිබෙනවා කියලා. එමනිසා ඉරානය දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමට ඔවුන් ඉදිරිපත් වෙනවා. බලයකින් බලයක් උපද්දවන්න පුළුවන් කියන්නේ ඒකයි.

මුජ්තාබා කමේනි ඉරාන නව ආධ්‍යාත්මික නායකයා ධූරයේ වැඩ බාරගනිමින් “අපි පරමාණුක ශක්තිය පිළිබඳ වූ සියළුම ජාත්‍යන්තර ගිවිසුම් වලින් ඉවත් වෙනවා” යි ප්‍රකාශ කළා. යුද්ධය නතර කිරීමට ඉරාන ජනාධිපතිවරයා යෝජනා 03 ක් ඉදිරිපත් කළා. එහි එක් යෝජනාවක් වූවේ “ඉරානය ස්වාධින රාජ්‍යයක් ලෙස පිළිගත යුතුයි” යි කියලා.

එයින් ප්‍රකාශ වන්නේ ඔවුන්ට අවශ්‍ය, උවමනා පරමාණුක අවිද ඇතුළත් ඕනෑම දෙයක් ඉරානය තුළ නිෂ්පාදනය කිරීමේ අයිතිය ලෝකය පිළිගත යුතුය යන්නයි. ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ (SNSC) නව ලේකම් ධූරයට පත්වුණේ බ්‍රිගේඩියර් ජෙනරාල් හොසේන් දෙහ්ගන්ය. ඔහු ඉතිහාසයේ ඉතා බිහිසුනු මෙහෙයුම්වලට නායකත්වය සැපයූ කෙනෙක් ලෙස ප්‍රකට වී තිබෙණවා.

ඇමරිකන් අධිරාජ්‍යවාදයේ ආධිපත්‍ය ලොව පුරා බිඳ වැටීම හමුවේ, උන්ගේ නග්න මිලේච්ඡත්වය අද එළිපිටම ප්‍රදර්ශනය වෙනවා. යන යකා කොරහත් බිඳගෙන යන්නේ කියන්නාක් මෙන් කඩා වැටෙන ඇමරිකාව න්‍යෂ්ඨික අවි තරගයකයට මුළු ලෝකයම ඇද දමනවා.

“අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යි කීවාට න්‍යෂ්ඨික අවි ඇත්තෝ එසේ නොවෙති.

~ ඥානසිරි කොත්තිගොඩ