*
Wednesday, April 17, 2024
spot_img

Latest Posts

බැංකු කඩා වැටෙන්නද යන්නේ?

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් “බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව” දැනුම් දී තිබෙනවා.

මහ බැංකුව විසින් මීට මහජනතාව වෙත කළ මෙවැනි ඇතැම් දැනුම්දීම් නිවැරදි නොවූ බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ හේතුව මත මහ බැංකුවට මේ වෙලාවේ “කොටියා ආවෝ” ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මේ වෙලාවේ මහ බැංකුව ඇත්ත කිවුවත් මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ නිසා, පැහැදිලි කිරීමක් කරන එක පැත්තක සිටින අප වැනි අයගේ වගකීමක් කියා මම හිතනවා.

වාණිජ බැංකු විසින් කරන්නේ පොලියක් ගෙවා තැන්පතු සේ එකතු කරගන්නා මුදල් වැඩි ඊට වඩා පොලියකට ණය සේ ලබා දී ලාබයක් ලබන එකයි. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතියම මෙය නිසා ලෝකයේ කිසිම බැංකුවක් තැන්පතු සේ එකතු කරගන්නා මුදල් සියල්ල බැංකුවේ ගොඩ ගසා ගෙන ඉන්නේ නැහැ. තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලන අයට ලබා දීමට ප්‍රමාණවත්යැයි ඇස්තමේන්තු කරන මුදලක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ණයට දෙනවා.

සියලුම තැන්පතුකරුවන් එකවර පැමිණ බැංකුවේ තිබෙන තමන්ගේ සල්ලි මුදල් නෝට්ටු වලින් ඉල්ලා සිටියොත් ලෝකයේ ඕනෑම බැංකුවක් කඩා වැටෙනවා. එහෙම ගෙවන්න සල්ලි බැංකුවේ නැහැ. බැංකුවේ විතරක් නෙමෙයි රටෙත් නැහැ. මම පළමුව ඇමරිකාවේ දත්ත පෙන්වන්නම්.

ඇමරිකානුවන් සතු මුළු මුදල් ප්‍රමාණය, එහෙමත් නැත්නම් මුදල් සැපයුම, කොපමණද?

පහත තිබෙන්නේ 2022 පෙබරවාරි අවසානයේ ඇමරිකාවේ M1 මුදල් සැපයුම හා එහි සංරචකයි.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු – ඩොලර් බිලියන 2,141.8යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) – ඩොලර් බිලියන 4,695.3යි.

අනෙකුත් ද්‍රවශීල තැන්පතු (ඉතිරි කිරීමේ ගිණුම් ආදිය) – ඩොලර් බිලියන 13,723.7යි.

එකතුව – ඩොලර් බිලියන 20,560.8යි.

දැන් මේ අනුව රටේ මිනිස්සුන්ගෙන් සල්ලි වලින් 90%ක් පමණම තියෙන්නේ බැංකු වලයි. එහෙමයි කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවේ ගොඩක් අය ගනුදෙනු කරන්නේ කාඩ්පත් වලින් හා වෙනත් විද්‍යුත් ක්‍රම වලින් මිසක් මුදල් නෝට්ටු වලින් නෙමෙයි. ලෝකයේ වෙනත් බොහෝ දියුණු රටවලත් තත්ත්වය එවැන්නක්.

දැන් මෙහි සඳහන් ඩොලර් බිලියන 20,560.8ක් වන මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩොලර් බිලියන 18,419ක්ම තියෙන්නේ බැංකු වල. මිනිස්සු එක පාරටම ඒ සල්ලි ඉල්ලුවොත් දෙන්න සල්ලි බැංකු වල තියෙනවද?

පෙබරවාරි අවසන් වෙද්දී ඇමරිකාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු ප්‍රමාණයම ඩොලර් බිලියන 2,235.5ක් පමණයි. එයින් බිලියන 2,141.8ක්ම මිනිස්සු අතේ. එතකොට බැංකු වල තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 93.7ක් පමණක් බව ගණන් හදා ගන්න පුළුවන්නේ.

බැංකු වල ඩොලර් නෝට්ටු තිබෙන්නේ මෙපමණක් වුවත්, ඔය බැංකු විසින් සංචිත බැංකුවේ ගිණුම් වල දමපු සල්ලි තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙලාවක ඒ සල්ලි මුදල් නෝට්ටු ලෙස ආපසු ගන්න පුළුවන්. එම ප්‍රමාණය ඩොලර් බිලියන 3,804.5ක්. ඒ කියන්නේ තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලුවොත් ඩොලර් බිලියන 3,898.2ක් දක්වා මුදලක් ප්‍රශ්නයක් නැතුව ආපසු ගෙවන්න පුළුවන්.

ඇමරිකාවේ බැංකු වල තිබෙන මුළු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 18,419ක්. ඒ කියන්නේ හදිසියකදී ගෙවන්න පුළුවන් ඔය ප්‍රමාණයෙන් 21%ක් පමණයි. ඊට වඩා ඉල්ලුවොත් බැංකු කඩා වැටෙනවා.

දැන් අපි ලංකාවට එමු. 2021 ජූනි අවසානයේදී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අයිති වූ මුදල් ප්‍රමාණය හා එහි සංරචක පහත තිබෙනවා.

සංසරණයේ ඇති මුදල් නෝට්ටු – රුපියල් බිලියන 711.9යි.

ඉල්ලුම් තැන්පතු (ජංගම ගිණුම්) – රුපියල් බිලියන 581.5යි.

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු – රුපියල් බිලියන 7,842.9යි.

එකතුව – රුපියල් බිලියන 9,136.3යි.

දැන් පේනවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් 92%ක්ම තියෙන්නේ බැංකු වල. සමහර විට ඔය ප්‍රතිශතය මේ වෙද්දී ටිකක් අඩු වෙලා ඇති. නමුත්, 90%කට වඩා අඩු වෙන්න විදිහක් නැහැ. බැංකු වල තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8,424.4ක්. ඔය සල්ලි ඔක්කොම එක වර ගෙවන්න බැංකු වලට පුළුවන්ද?

ඔය දවස වෙද්දී බැංකු සතුව මුදල් ලෙස තිබුණේ රුපියල් බිලියන 238.2ක් පමණයි. තව රුපියල් බිලියන 115.0ක් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. එතකොට එකතුව රුපියල් බිලියන 253.2ක් පමණයි. ඒ කියන්නේ මහජන තැන්පතු ප්‍රමාණයෙන් 3%ක් පමණයි. මේ ප්‍රතිශතය ඇමරිකාවේ 21%ට වඩා ගොඩක් අඩුයි. ඔය වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු එකවර බැංකු වලින් සල්ලි අදින්න ගත්තොත් රටේ බැංකු පද්ධතියම ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ජංගම ගිණුම් වල තියෙන සල්ලි ගනුදෙනු සඳහා වියදම් කරන නමුත් ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි හොල්ලන්නේ නැහැ. ඔය කියන දවස වන විට ජංගම ගිණුම් වල තිබුණු සල්ලි වලින් 43.5%ක් එකවර ඉල්ලුවත් ගෙවන්න ප්‍රමාණවත් සල්ලි ලංකාවේ බැංකු සතුව තිබුණා. ඒ නිසා, මිනිස්සු ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ආපසු නොගන්නා තුරු බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවදානමක් නැහැ.

පවතින ඉහළ උද්ධමනය හමුවේ බැංකු විසින් තැන්පතුකරුවන්ට ප්‍රමාණවත් තරම් ඉහළ පොලියක් ගෙවන්නේ නැහැ. මේ තත්ත්වය තුළ මිනිස්සු තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු වල තිබෙන සල්ලි ඇදලා රත්තරන් වැනි දේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. පුළුවන් අය ඩොලර් ගන්නවා. තව අය ඉඩම් වාහන වගේ දේවල් ගන්නවා. මේ තත්ත්වය තුළ බැංකු වලින් එළියට යන තරමට ඇතුළට සල්ලි එන්නේ නැහැ. ඊයේ (මාර්තු 23) වන විට බැංකු පද්ධතිය ඇතුළේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 585.95ක්. හැබැයි මහ බැංකුව විසින් 7.5% පොලියට ණය දීලා ඔය හිඟය පුරවනවා. අවදානම් පැත්තකින් තිබ්බොත්, මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා ඔය වැඩේ දිගටම වුනත් කරන්න පුළුවන්.

ඔය ප්‍රශ්නය ස්ථිරසාර ලෙස විසඳා බැංකු පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කරන්න අවශ්‍යනම් මහ බැංකුව විසින් කළ යුත්තේ පොලී අනුපාතික වැඩි කරන එකයි. එතකොට මිනිස්සු බැංකු වලින් සල්ලි අදින එක නවතිනවා.

පෙනෙන විදිහට යම් කතාවක් පැතිරී තිබෙන්නේ මහජන බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳවයි. රොයිටර් වාර්තා කර තිබෙන විදිහට සංවර්ධන බැඳුම්කරයක් වෙනුවෙන් මහ බැංකුව විසින් මහජන බැංකුවට ගෙවිය යුතු වූ මුදලක් නියම වෙලාවට ගෙවලා නැහැ. එම මුදල නොලැබුණු නිසා මහජන බැංකුව විසින් තවත් වාණිජ බැංකු දෙකකට ගෙවිය යුතු වූ මුදල් ගෙවන්න බැරි වෙලා. ඔය වගේ පරක්කු වන එක ගෙවීමක් ක්ෂණිකව බැංකු පද්ධතියේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

හැබැයි මතක තියා ගන්න මේ හිරවීම් සියල්ල සිදුවන්නේ ඩොලර් ගනුදෙනු හා අදාළවයි. ඒ හේතුව නිසා බැංකු පද්ධතියේ අස්ථාවරත්වයක් ඇති වුනත්, මහජනතාවගේ රුපියල් තැන්පතු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාණිජ බැංකු සතුව ප්‍රමාණවත් රුපියල් ප්‍රමාණයක් නැත්තේ එම රුපියල් වැඩි පොලියකට රජයට ණයට දීලා නිසා. හරියටම කිවුවොත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා නිසා. බැංකු අතේ රුපියල් වලින් සල්ලි නැතත් මේ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. ඒ නිසා, ඕනෑ වෙලාවක ඒ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියලා මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ගන්න පුළුවන්.

තවත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ බැංකු වල තිබෙන රුපියල් තැන්පතු වලට කිසිම අවදානමක් නැහැ. හැබැයි හැමෝම බය වෙලා සල්ලි අදින්න ගත්තොත්නම් විශාල ප්‍රශ්නයක් වෙයි. එය කෙසේවත් නොකළ යුතු දෙයක්. මම හිතන්නේ ලංකාවට දැනට තියෙන ප්‍රශ්න ටික හොඳටම ඇති!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan